|
| 1 |
|
| දෙවියන් වහන්සේ ජාකොබ්ට කතා කොට, “නැඟිට, බෙතෙල් කරා ගොස්, එහි පදිංචි වන්න, නුඹේ සොහොයුරු ඒසව්ගෙන් නුඹ පලායද්දී නුඹට දර්ශනය වූ දෙවියන් වහන්සේට පූජාසනයක් එහි සාදන්නැ”යි වදාළ සේක. |
|
| 2 |
|
| එවිට ජාකොබ් තම පවුලේ වැසියන් හා තමා සමඟ සිටි සියල්ලන් අමතා, “ඔබ ළඟ ඇති විදේශීය දේවතා රූප ඉවත් කොට, පවිත්ර වීමේ වත්පිළිවෙත් කර, ඔබේ ඇඳුම් මාරු කරගන්න. |
|
| 3 |
|
| එවිට අපි නැඟිට බෙතෙල් කරා යමු, මාගේ ආපදාවේ දවසේ දී මට ඇහුම්කන් දුන්, මා ගිය ගිය තැන මා සමඟ වැඩ සිටි දෙවියන් වහන්සේට මම එහි දී පූජාසනයක් සාදන්නෙමි”යි කීවේ ය. |
|
| 4 |
|
| ඔවුන් ද, තමන් ළඟ තිබූ සියලු ම විදේශීය දේවතා රූප හා ඔවුන් පැළඳ හුන් කර්ණාභරණ ද ජාකොබ්ට දුන් විට ඔහු ෂෙකෙම් නම් ස්ථානය අසල තිබූ ආලෝන ගස යට ඒවා සැඟවී ය. |
|
| 5 |
|
| ඔව්හු යන්න ගියෝ ය. එහෙත් ඔවුන් අවට තිබූ නගරවල වැසියන් බියෙන් තැතිගත් බැවින් කිසිවෙක් ජාකොබ්ගේ පුත්රයන් ලුහුබැඳ නොගියෝ ය. |
|
| 6 |
|
| මෙසේ ජාකොබ් ද ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද කානාන් දේශයේ ලූස් හෙවත් බෙතෙල් නම් ස්ථානයට පැමිණියෝ ය. |
|
| 7 |
|
| එහි දී ඔහු පූජාසනයක් තනා, එම ස්ථානයට එල්-බෙතෙල් යන නම තැබී ය. මන්ද, ඔහු සිය සොහොයුරා වෙතින් පලායන විට, එහි දී දෙවියන් වහන්සේ ඔහුට දර්ශනය වූ බැවිනි. |
|
| 8 |
|
| තවද, රෙබෙකාගේ කිරි මව වූ දෙබොරා මළ බැවින්, ඇය බෙතෙල් නම් ස්ථානයට පහළින් ආලෝන ගස යට භූමදාන කරනු ලැබුවා ය. එබැවින් ඊට අල්ලොන්-බාකුත් යන නම දෙන ලද්දේය. |
|
| 9 |
|
| ජාකොබ් මෙසොපොතේමියාවෙන් මෙසේ හැරී එන විට දෙවියන් වහන්සේ නැවතත් ඔහුට දර්ශනය වී ආශීර්වාද කළ සේක. |
|
| 10 |
|
| උන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹේ නම ජාකොබ් ය. එහෙත් මින්පසු නුඹේ නම ජාකොබ් යයි හඳුන්වනු නොලැබ, නුඹේ නම ඉශ්රායෙල් වන්නේ ය”යි වදාළ නිසා ඔහුට ඉශ්රායෙල් යන නම තබන ලදී. |
|
| 11 |
|
| තවදුරටත් දෙවියන් වහන්සේ ඔහු අමතමින්, “මම සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ සමෘද්ධ වී, වර්ධනය වන්න. නුඹෙන් ජාතියක් හා ජාතීන් සමුදායක් බිහි වන්නෝ ය. නුඹට දාව රජවරු පවා උපදින්නෝ ය. |
|
| 12 |
|
| මම ආබ්රහම්ට සහ ඊසාක්ට දුන් දේශය නුඹට දෙන්නෙමි; නුඹෙන් පසුව නුඹේ පෙළපතට එය දෙන්නෙමි”යි වදාරා |
|
| 13 |
|
| උන් වහන්සේ ඔහු සමඟ කතා කළ ස්ථානයේ දී, ඔහු වෙතින් ඉවත් ව ගිය සේක. |
|
| 14 |
|
| ඉන්පසු ජාකොබ් උන් වහන්සේ සමඟ කතා කළ ස්ථානයෙහි සිහිවටනයක්, එනම්, ගලින් කළ සිහිවටනයක් ඉදිකොට, එය මත පානීය පූජාව ඔප්පු කොට තෙල් ද වත් කෙළේ ය. |
|
| 15 |
|
| තවද, දෙවියන් වහන්සේ තමා සමඟ කතා කළ ස්ථානයට ඔහු බෙතෙල් යන නම තැබී ය. |
|
| 16 |
|
| ඔව්හු බෙතෙල් සිට නික්ම ගියහ. එහෙත් ඔවුන් එප්රාත් නම් ස්ථානයට පැමිණෙන්නට මඳක් දුර තිබිය දී, රාකෙල්ට ප්රසව වේදනා ඇති වී, එය උග්ර විය. |
|
| 17 |
|
| මෙලෙස ඈ උග්ර ලෙස ප්රසව වේදනා විඳින විට, වින්නඹු මාතාව ඈට කතා කොට, “බිය නොවන්න, ඔබට ලැබෙන්නේ තවත් පුත්රයෙක් ය”යි කීවා ය. |
|
| 18 |
|
| එහෙත්, රාකෙල් මළා ය. ඈ පණ අදින විට ඔහුට බෙන්-ඕනි යන නම තැබූ නමුත් ඔහුගේ පියා ඔහුට බෙන්ජමින් කියා නම් කෙළේ ය. |
|
| 19 |
|
| මෙසේ රාකෙල් මළ පසු, එප්රාත් හෙවත් බෙත්ලෙහෙමට යන මාර්ගයෙහි ඈ භූමදාන කරනු ලැබුවා ය. |
|
| 20 |
|
| ජාකොබ් ද ඇගේ සොහොන පිට සිහිවටනයක් ඉදි කෙළේ ය. අද දක්වා ම රාකෙල්ගේ සොහොන මත සිහිවටනය ඇත. |
|
| 21 |
|
| ඉශ්රායෙල් ගමන් කොට, මිග්දාල්-එදෙර් නම් ස්ථානයට එහා, තම කඳවුර පිහිටුවාගත්තේ ය. |
|
| 22 |
|
| තවද, ඉශ්රායෙල් ඒ රටේ පදිංචි ව සිටිය දී රූබන් ගොස්, තම පියාගේ අනියම් බිරිඳ වන බිල්හා සමඟ සැතපුණේ ය. ඉශ්රායෙල්ට ද එපවත් සැළ විය. ජාකොබ්ට පුත්රයෝ දොළොස්දෙනෙක් සිටියහ. |
|
| 23 |
|
| ලෙයාගේ පුත්රයෝ නම්, ජාකොබ්ගේ කුලුඳුලා වන රූබන්, සිමියොන්, ලෙවී, ජුදා, ඉස්සාකර් සහ සාබුලොන් ය. |
|
| 24 |
|
| රාකෙල්ගේ පුත්රයෝ නම් ජෝසෙප් සහ බෙන්ජමින් ය. |
|
| 25 |
|
| රාකෙල්ගේ සේවිකාව වන බිල්හාගේ පුත්රයෝ නම් දාන් සහ නප්තලී ය. |
|
| 26 |
|
| ලෙයාගේ සේවිකාව වන ශිල්පාගේ පුත්රයෝ නම් ගාද් සහ ආෂෙර් ය. මෙසොපොතේමියාවේ දී ජාකොබ්ට දාව උපන් ඔහුගේ පුත්රයෝ මොවුහු ය. |
|
| 27 |
|
| ජාකොබ් ද ආබ්රහම් සහ ඊසාක් තාවකාලික ව පදිංචි වූ ආලෝන අරඹ හෙවත් කිරියත්-අර්බා හෙවත් හෙබ්රොන් නම් ස්ථානයේ ඊසාක් වෙත පැමිණියේ ය. |
|
| 28 |
|
| ඊසාක්ගේ වයස අවුරුදු එකසිය අසූවක් වූයෙන් |
|
| 29 |
|
| ඔහු දිගායු වළඳා පූර්ණ මහලු වයසේ දී මියගොස් තම මුතුන්මිත්තන් හා එක්විය. ඔහුගේ පුත්රයන් වූ ඒසව් සහ ජාකොබ් ඔහු භූමදාන කළහ. |
|
|
|
|