|
| 1 |
|
| එකල පොළෝ තලය මත ජන සංඛ්‍යාව බහුල විය; ජනතාවට දූවරු උපන්නාහ. |
|
| 2 |
|
| මිනිස්-දූවරුන් සුරූපී බව දුටු දිව්‍ය-පුත්‍රයෝ, තම තමන් රිසි වූවන් සරණ පාවාගත්හ. |
|
| 3 |
|
| එවිට සමිඳාණන් වහන්සේ, “මිනිසා මැරෙන සුලු බැවින් මාගේ ජීවන හුස්ම ඔහු තුළ සදහට ම පැවතීමට ඉඩ නොතබමි; මින් මතු ඔහුගේ ජීවිත කාලය අවුරුදු එකසිය විස්සකට වැඩි නොවන්නේ ය”යි වදාළ සේක. |
|
| 4 |
|
| ඒ කාලයේ දීත්, ඉන්පසු වත්, මිහි පිට යෝධයෝ සිටියහ. මොවුහු මිනිස්-දූවරුන් හා දිව්‍ය-පුත්‍රයන්ගෙන් උපන් අය වෙත්; මොවුහු දූරාතීතයේ සිටි, සුප්‍රකට, ශ්‍රේෂ්ඨ වීරයෝ ය. |
|
| 5 |
|
| මිහි පිට මිනිසාගේ දැඩි දුෂ්ටකම හා මිනිසා නිතර ම නපුරු සිතුවිල්ලෙන් කල් යවන බව සමිඳාණන් වහන්සේ දුටු විට |
|
| 6 |
|
| මිහි පිට මිනිසා මැවීම ගැන උන් වහන්සේ ශෝක වූ සේක; උන් වහන්සේගේ හදවත සොවින් පෙළුණි. |
|
| 7 |
|
| එබැවින් උන් වහන්සේ, “මා විසින් මවන ලද මිනිසා මම මිහි පිටින් වනසාලමි; ඔහු සමඟ ගවමහිෂයන් ද උරගයන් ද අහසේ පක්ෂීන් ද වනසාලමි; ඔවුන් මැවීම ගැන මම තැවෙමි”යි වදාළ සේක. |
|
| 8 |
|
| එහෙත් උන් වහන්සේ අබිමුවෙහි නෝවා කරුණාව ලැබී ය. |
|
| 9 |
|
| නෝවා පිළිබඳ පුවත මෙසේ ය; ඔහු සත්ගුණවත් මිනිසෙකි. ඔහුගේ පරම්පරාවේ නිදොස් මිනිසා ඔහු විය. ඔහු දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසුරුණේ ය. |
|
| 10 |
|
| තවද, ඔහුට ෂෙම්, හාම්, ජපෙත් කියා පුත්තු තිදෙනෙක් උපන්හ. |
|
| 11 |
|
| එහෙත්, ලෝවැසි සෙසු හැම දෙන ම දෙවියන් වහන්සේ අබිමුවෙහි දූෂ්‍ය වී සිටියහ; ඔව්හු සැහැසිකමින් පිරී සිටියහ. |
|
| 12 |
|
| දෙවියන් වහන්සේ ලෝකය දෙස බලා එය දූෂ්‍ය වී ඇති බව දුටු සේක. මිහි පිට මිනිසාගේ කල්ක්‍රියා දරුණු ලෙස දූෂ්‍ය වී තිබුණේ ය. |
|
| 13 |
|
| තවද, දෙවියන් වහන්සේ නෝවාට කතා කොට මෙසේ වදාළ සේක: “සියලු මිනිසුන් වනසාලීමට මා තීරණය කර ඇත. මන්ද මිනිසා නිසා පොළෝ තලය ම සැහැසිකමින් පිරී තිබේ. එබැවින් මම ඔවුන් සමඟ පොළෝ තලය විනාශ කරදමමි. |
|
| 14 |
|
| නුඹ සඳහා ගෝපෙර් නම් ලීයෙන් නැවක් සාදාගන්න; එහි කාමර තනා, නැව ඇතුළත හා පිටත කීල් තාර ගාන්න. |
|
| 15 |
|
| නැවේ සැලැස්ම මෙසේ විය යුතු ය. එහි දිග මීටර් එකසිය තිස්තුනකි; පළල මීටර් විසිදෙකකි; උස මීටර් දහතුනකි. |
|
| 16 |
|
| නැවට උඩින් පියස්සක් තනා, ඒ ආවරණය හා බිත්ති අතර සෙන්ටිමීටර් හතළිස්හතරක පරතරයක් තැබිය යුතු ය. පළමු වන, දෙ වන, තෙ වන වශයෙන් තට්ටු තුනක් ඇති ව නැව සාදා එහි එක පැත්තක දොර තබන්න. |
|
| 17 |
|
| අහස යට සියලු සත්ත්වයන් වනසාලන පිණිස මම පොළෝ තලය මත ජලගැල්මක් පමුණුවන්නෙමි. එවිට පොළොව පිට ඇති සියලු දේ වැනසී යන්නේ ය. |
|
| 18 |
|
| එහෙත්, නුඹ සමඟ මම මගේ ගිවිසුම පිහිටුවන්නෙමි. නුඹ ද නුඹ සමඟ නුඹේ පුතුන් ද නුඹේ භාර්යාව ද නුඹේ පුතුන්ගේ භාර්යාවන් ද නැවට ඇතුළු විය යුතු ය. |
|
| 19 |
|
| පණ පිටින් රැකගනු පිණිස එක එක වර්ගයේ, සියලු සතුන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් දෙදෙනෙකු බැගින් නුඹ සමඟ නැව තුළට රැගෙන යා යුතු ය. |
|
| 20 |
|
| නොමැරී බේරාගනු පිණිස සෑම වර්ගයක ම පක්ෂීන්ගෙන් ද සිවුපාවුන්ගෙන් ද උරගයන්ගෙන් ද දෙදෙනා බැගින් නුඹ සමඟ නැවට ඇතුළු විය යුතු ය. |
|
| 21 |
|
| කෑම පිණිස විවිධ ආහාර රැස් කරගෙන යන්න; ඒවා නුඹට ද ඔවුන්ට ද ආහාර පිණිස විය යුතු ය.” |
|
| 22 |
|
| මෙසේ දෙවියන් වහන්සේ අණ කළ සියල්ල නෝවා නොපිරිහෙළා ඉටු කෙළේ ය. |
|
|
|
|