සිංහල NRSV
|
| 1 |
| හෙසකියා රජ ඒ අසා දුකින් තම ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි පොරවාගෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු විය. |
| 2 |
| තවද, ඔහු රජ ගෙදර ප්‍රධානියා වන එලියාකිම්ට ද ෂෙබ්නා ලේකම්ට ද පූජකයන්ගේ මූලිකයන්ට ද ගෝණි රෙදි හඳවා ආමොස්ගේ පුත් යෙසායා දිවැසිවරයා ළඟට යැවී ය. |
| 3 |
| ඔව්හු ඔහුට කතා කොට, “හෙසකියා මෙසේ කියන්නේ ය: ‘අද දවස දුක ද තරවටුව ද අපහාසය ද ඇති දවසකි. මන්ද, ළදරුවන් බිහි වන්නට ළං ව සිටින නමුත්, ප්‍රසූත කරන්නට ශක්තිය නැත. |
| 4 |
| ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන්නට අසිරියාවේ රජු එවූ ඔහුගේ සේවක වන රබ්-ෂාකේගේ සියලු වචන සමහර විට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අසා, ඒ ඇසූ වචනවලට උන් වහන්සේ දඬුවම් කරන සේක. එබැවින් තව ම ඉතිරි ව සිටින්නන් උදෙසා යාච්ඤා ඔප්පු කරන්න’ කියා පවසන්නැ”යි කී හ. |
| 5 |
| මෙසේ කියා හෙසකියා රජුගේ මෙහෙකරුවෝ යෙසායා ළඟට පැමිණිය හ. |
| 6 |
| යෙසායා ඔවුන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඔබට ඇසුණු අසිරියාවේ රජුගේ සේවකයන් විසින් මට අපහාස කොට කියන ලද වචනවලට බිය නොවන්න. |
| 7 |
| ඔහු ආරංචියක් අසා තමාගේ දේශයට හැරී යන ලෙස මම ඔහුගේ සිතට අදහසක් දමා, ඔහුගේ දේශයේ දී ඔහු කඩුවෙන් මැරී වැටෙන්නට සලස්වන්නෙමි’යි කියා ඔබේ ස්වාමියාට දන්වන්නැ”යි කී ය. |
| 8 |
| අසිරියාවේ රජු ලාකීෂ්හි සිට පිටත් ව ගිය බව රබ්-ෂාකේ අසා, ඔහු හැරී ගිය විට, රජු ලිබ්නාට විරුද්ධ ව යුද්ධ කරන බව දැනගත්තේ ය. |
| 9 |
| “කුෂ්හි රජු වන තිර්හාකා රජ ඔබට විරුද්ධ ව යුද්ධ කරන්නට එන්නේ යැ”යි ඔහුට සැළ විය. එවිට ඔහු හෙසකියා ළඟට නැවත දූතයන් එවා, |
| 10 |
| “ඔබ ජුදාහි රජු වන හෙසකියාට මෙසේ කියන්න: අසිරියාවේ රජු අතට ජෙරුසලම අසු නොවන්නේ ය කියා ඔබ විශ්වාස කරන ඔබේ දෙවියන් වහන්සේට නොරැවටෙන්න. |
| 11 |
| මෙන්න, අසිරියාවේ රජවරුන් සියලු දේශවලට කළ දේ එනම්, ඒවා විනාශ කරදැමූ බව ඔබ අසා තිබේ. එසේ නම්, ඔබ ගැළවෙනු ඇද් ද? |
| 12 |
| මාගේ පියවරුන් නැති කළ ගෝශාන් ද හාරාන් ද රෙශෙප් ද තෙලෙස්සාර්හි සිටි ඒදෙන් ජාතිකයන් ද යන ජාතීන්ගේ දෙවිවරු ඔවුන් ගළවා ගත්තෝ ද? |
| 13 |
| හමාත්හි රජ ද අර්පාද්හි රජ ද සෙපර්වයිම් නුවරත්, හේනාහිත්, ඉව්වාහිත් රජ ද කොතැන දැ”යි ඇසී ය. |
| 14 |
| හෙසකියා පණිවුඩකාරයන් අතින් ලියුම ගෙන කියවා, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගොස්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි එය විදහා පා, |
| 15 |
| උන් වහන්සේ ඉදිරියෙහි යාච්ඤා කරමින්, “කෙරුබ්වරුන් අතර වැඩ වසන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ, පොළොවේ සියලු රාජ්‍යයන් කෙරෙහි ඔබ ම, ඔබ පමණක් ම, දෙවියන් වහන්සේ ය; ඔබ අහසත්, පොළොවත් මැවූ සේක. |
| 16 |
| සමිඳාණන් වහන්ස, ඔබේ කන යොමු කොට ඇසුව මැනව; සමිඳාණන් වහන්ස, ඔබේ ඇස් ඇර බැලුව මැනව; ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන පිණිස සෙනකෙරිබ් කියා එවූ වචන ඇසුව මැනව; |
| 17 |
| සමිඳාණන් වහන්ස, අසිරියාවේ රජවරුන් ජාතීන් ද ඔවුන්ගේ දේශ ද පාළු කොට, |
| 18 |
| ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි හෙළුවා සැබෑ ය. මන්ද, ඒවා දෙවිවරුන් නොව මනුෂ්‍යයන්ගේ හස්ත කර්මාන්ත වන ලී සහ ගල් ය. ඒ නිසා ඔව්හු ඒවා විනාශ කළහ. |
| 19 |
| එබැවින් අපේ දෙවියන් වහන්ස, ඔබ ම, ඔබ පමණක් ම, ස්වාමීන් වන දෙවියන් වහන්සේ බව පොළොවේ සියලු රාජ්‍ය දැනගන්න පිණිස ඔහුගේ අතින් අප ගැළෙව්ව මැනව”යි කී ය. |
| 20 |
| එවිට ආමොස්ගේ පුත් යෙසායා හෙසකියාට මෙසේ කියා යැවී ය: “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: අසිරියාවේ රජු වන සෙනකෙරිබ් ගැන ඔබ මට කළ යාච්ඤාව මම ඇසීමි. |
| 21 |
| ඔහු ගැන සමිඳාණන් වහන්සේ කියන පණිවුඩය මේ ය: සියොන් පුරඟන නුඹ සුළු කොට සලකන්නී ය; නුඹට කවටකම් කරන්නී ය; ජෙරුසලම්හි දුව හිස වන වනා, නුඹට උසුළු-විසුළු කරන්නී ය. |
| 22 |
| නුඹ නින්දා කෙළේත්, අපහාස කෙළේත් කවරෙකුට ද? නුඹ මොරගැසුවේත්, නුඹ රවා බැලුවේත් කවරෙකුට විරුද්ධ ව ද? ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැන් වහන්සේට විරුද්ධ ව ය. |
| 23 |
| නුඹේ දූතයන් ලවා නුඹ සමිඳාණන් වහන්සේට නින්දා කරවා කතා කොට, මාගේ රථ සමූහය හා සමඟ මම කඳු මුදුනට එනම්, ලෙබනොන්හි ඈත ප්‍රදේශවලට නැඟුණෙමි. එහි උස් වූ කිහිරි ගස් ද අනර්ඝ දේවදාර ගස් ද කපාදමා, එහි දුරස්තර නිවාසවලටත්, උයනක් වැනි එහි වනයටත් ඇතුළු වන්නෙමි. |
| 24 |
| මම ළිං හාරා අන්‍ය දේශවල වතුර බීවෙමි, මම මිසරයේ සියලු ගංගා පිට ඇවිද ඒවා හින්දවන්නෙමි යි කීවෙහි ය. |
| 25 |
| “මම බොහෝ කාලයක සිට එය අභිප්‍රාය කර පෙර සිට ම එය නියම කළ බව නුඹ ඇසුවේ නැද් ද? දැන් නුඹ පවුරු ඇති නගර නාස්ති කොට, ජරාවාස ගොඩවල් කරන හැටියට එය ඉෂ්ට කෙළෙමි. |
| 26 |
| එබැවින් ඒවායේ වැසියෝ බෙලහීන ව සිටියහ. ඔව්හු කැළඹී වියවුලට පත් වූ හ. ඔව්හු කෙතේ තෘණ ද අමු පල ද පියසි උඩ තණ කොළ ද වැඩෙන්න පළමුවෙන් වියළුණු ගොයම් ද මෙන් වූ හ. |
| 27 |
| “එහෙත්, මම නුඹේ හිඳීම ද නුඹේ යාම ඊම ද මට විරුද්ධ ව තිබෙන නුඹේ කැරලිකාරකම ද දනිමි. |
| 28 |
| මට විරුද්ධ ව තිබෙන නුඹේ කැරලිකාරකම නිසා ද නුඹේ අහංකාරය මාගේ කන්වලට පැමිණි නිසා ද නුඹේ නාසයේ මාගේ වළල්ලත්, නුඹේ කටේ මාගේ කටකලියාවත් දමා නුඹ ආ මාර්ගයෙන් නුඹ හරවා යවන්නෙමි. |
| 29 |
| “මෙය නුඹට ලකුණක් වන්නේ ය. එනම්, මේ අවුරුද්දේ ඉබේ ම හටගන්න ධාන්‍ය සහ දෙ වන අවුරුද්දේ එයින් හටගන්න ඒවාත් නුඹලා කනු ඇත. තුන් වන අවුරුද්දේ නුඹලා අස්වැන්න වපුරා කපාගන්න. මිදි වතුත් වවා ඒවායේ පල කන්න. |
| 30 |
| ජුදා වංශයෙන් ගැළවී ඉතිරි කුඩා පිරිස නැවත ගසක් මෙන් යටට මුල් ඇද ඉහළින් පල දරනු ඇත. |
| 31 |
| මන්ද, ඉතිරි කුඩා පිරිස ජෙරුසලමෙන් ද මිදුණු පිරිස සියොන් කන්දෙන් ද නික්මෙනු ඇත. සමිඳාණන් වහන්සේ මෙය කිරීමට අධිෂ්ඨාන කළ සේක. |
| 32 |
| “එබැවින් සමිඳාණන් වහන්සේ අසිරියාවේ රජු ගැන මෙසේ කියන සේක: ‘අසිරියාවේ රජ මේ නගරයට ඇතුළුවන්නේ වත්, ඊගහක් ඊට විදින්නේ වත්, ඉදිරි පිටට පලිහක් රැගෙන එන්නේ වත්, ඊට විරුද්ධ ව ගොඩැල්ලක් නඟන්නේ වත්, නැත. |
| 33 |
| ඔහු මේ නුවර තුළට නෑවිත් තමා ආ මඟින් හැරී යන්නේ ය. සමිඳාණන් වහන්සේ වන මම මෙසේ වදාරමි. |
| 34 |
| මක්නිසා ද, මා නිසාත්, මාගේ මෙහෙකරු වූ දාවිත් නිසාත් මේ නුවර ගළවන්න මම එය රැකගන්නෙමි.’ “ |
| 35 |
| ඒ රාත්‍රියේ සමිඳාණන් වහන්සේගේ දූතයා පිටත් ව ගොස් අසිරියන්වරුන්ගේ කඳවුරෙහි එක්ලක්ෂ අසූපන්දහසකට පහර දුන්නේ ය. මිනිසුන් අලුයම නැඟිට බලන විට, ඒ සියල්ලෝ මැරී සිටියහ. |
| 36 |
| එවිට අසිරියාවේ රජු වන සෙනකෙරිබ් පිටත් ව ගොස් නිනිවෙහි වාසය කෙළේ ය. |
| 37 |
| තවද, ඔහු තමාගේ දෙවි නිස්රොක්ගේ ගෘහයෙහි නමස්කාර කරද්දී ඔහුගේ පුත්‍රයන් වන අද්‍රම්මෙලෙක් ද ෂරෙශෙර් ද ඔහු කඩුවෙන් මරා අරාරාත් දේශයට පලා ගියහ. ඔහුගේ පුත් ඒසර්-හද්දොන් ඔහු වෙනුවට රජ විය. |
|
| සටහන් සුරකින්න |
https://beblia.bible:81/BibleAudio/sinhalanrsv/2kings/019.mp3
25
19