|
| 1 |
|
| ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ජෙරුසලමේ තම මාලිගාවට සුව සේ හැරී ගියේ ය. |
|
| 2 |
|
| එහෙත්, හනානීගේ පුත් ජේහු නම් දිවැසිවරයා ජෙහෝෂාපාට්ගේ පෙරමඟට පිටත් ව ගොස්, ඔහුට කතා කොට, “දුෂ්ටයාට උපකාර කිරීමත්, සමිඳාණන් වහන්සේට වෛර වන්නන්ට ප්‍රේම කිරීමත් ඔබට යුතු ද? මේ කාරණය නිසා ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස පැමිණ තිබේ. |
|
| 3 |
|
| එසේ වුවත්, ඔබ දේශයෙන් අෂේරා කප් කණු පහකර දැමීම ද දෙවියන් වහන්සේ සෙවීමට ඔබේ සිත යොමු කිරීම ද යන යහපත් ක්‍රියා කර ඇත්තේ ය”යි කීවේ ය. |
|
| 4 |
|
| ජෙහෝෂාපාට් ජෙරුසලමෙහි කලක් වාසය කොට, බෙයර්-ෂෙබා පටන් එප්‍රායිම් කඳු රට දක්වා සෙනඟ අතරට ගොස්, ඔවුන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත ඔවුන් නැවත හරවා ගත්තේ ය. |
|
| 5 |
|
| ඔහු ජුදා දේශයේ සියලු බලකොටු නගරවල, නගරයක් නගරයක් පාසා විනිශ්චයකාරයන් සිටුවා කතා කොට, |
|
| 6 |
|
| “ඔබ හැම කරන්නේ කුමක් ද කියා වග බලාගන්න. මන්ද, ඔබ විනිශ්චය කරන්නේ, මනුෂ්‍යයා උදෙසා නොව, සමිඳාණන් වහන්සේ උදෙසා ය. විනිශ්චයයේ දී උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. |
|
| 7 |
|
| එබැවින් සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව ප්‍රවේසමින් ක්‍රියා කරන්න. මන්ද, අපේ දෙවි සමිඳාණන් වහන්සේ වංචාවක් වත්, අයුක්තියක් වත්, අල්ලස් ගැනීමක් වත් නොකරන කෙනෙකු වන බැවිනි”යි විනිශ්චයකාරයන්ට කීවේ ය. |
|
| 8 |
|
| තවද, ජෙහෝෂාපාට් සමිඳාණන් වහන්සේ වෙනුවෙන් විනිශ්චය කිරීමටත්, නඩු හබ විසඳීමටත් ලෙවීවරුන්ගෙන් ද පූජකයන්ගෙන් ද ඉශ්රායෙල් පිය වංශවල ප්‍රධානීන්ගෙන් ද සමහර අය ජෙරුසලමට පත් කෙළේ ය. ඔව්හු ජෙරුසලමට හැරී ආවෝ ය. |
|
| 9 |
|
| ඔහු ඔවුන්ට අණ කොට, “සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව විශ්වාසවන්තකමින් ද මුළු සිතින් ද මෙසේ කරන්න. |
|
| 10 |
|
| තමන්ගේ නගරවල වාසය කරන ඔබේ සහෝදරයන්ගේ ලේ වැගිරවීම ගැන වත්, ව්‍යවස්ථාව සහ ආඥාව ගැන වත්, පණත් හා විනිශ්චයයන් ගැන වත් ඔබ වෙත පැමිණෙන සියලු පැමිණිලිවල දී ඔවුන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව වරදකාරයන් නොවන පිණිසත්, ඔබ සහ ඔබේ සහෝදරයන්ට විරුද්ධ ව උදහස නොපැමිණෙන පිණිසත් ඔවුන්ට අවවාද කරන්න. ඔබ වරදකාරයන් නොවන පිණිස මෙසේ කරන්න. |
|
| 11 |
|
| මෙන්න, සමිඳාණන් වහන්සේගේ සියලු කටයුතු ගැන උත්තම පූජක වන අමරියා ද, රජුගේ සියලු කටයුතු ගැන ජුදා වංශයේ අධිපතියා වන ඉෂ්මායෙල්ගේ පුත් සෙබදියා ද ඔබ හැමගේ ප්‍රධානියෝ ය. ලෙවීවරු ද ඔබ ඉදිරියෙහි නිලධාරීහු වෙති. ධෛර්යවත් ව ක්‍රියා කරන්න. උපදෙස් පිළිපදින්න. සමිඳාණන් වහන්සේ ඔබට යහපත සලසන සේක් වා!”යි කීවේ ය. |
|
|
|
|