|
| 1 |
|
| ජෝවාෂ් සත් අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමෙහි සතළිස් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම ශිබියා ය. ඈ බෙයර්-ෂෙබාහි ස්ත්රියකි. |
|
| 2 |
|
| ජෙහෝයාදා පූජකයාගේ කාලයේ මුළුල්ලෙහි ජෝවාෂ් සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. |
|
| 3 |
|
| ජෙහෝයාදා ඔහුට භාර්යාවන් දෙදෙනෙකු පාවා දුන්නේ ය. ඔහුට දාව පුත්රයෝත්, දූවරුත් උපන්නෝ ය. |
|
| 4 |
|
| ඉන්පසු ජෝවාෂ් සමිඳාණන් වහන්සේගේ මාලිගාව ප්රකෘතිමත් කරන්න සිතට ගෙන, |
|
| 5 |
|
| පූජකයන් ද ලෙවීවරුන් ද රැස් කරගෙන ඔවුන්ට කතා කොට, “ඔබ හැම ජුදාහි නගරවලට ගොස් අවුරුද්දෙන් අවුරුද්ද ඔබේ දෙවියන් වහන්සේගේ මාලිගාව අලුත්වැඩියා කරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් මුදල් එකතු කරන්න. ඒ කාරණය ගැන ඉක්මන්වන්නැ”යි කීවේ ය. එහෙත්, ලෙවීවරු ඉක්මන් නො වූ හ. |
|
| 6 |
|
| එවිට රජ තෙම ප්රධානියා වන ජෙහෝයාදා කැඳවා, “සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් ද ඉශ්රායෙල් සභාව ද විසින් සම්මුඛ මණ්ඩපය උදෙසා නියම කරන ලද බදු මිල ලෙවීවරුන් විසින් ජුදා දේශයෙන් සහ ජෙරුසලමෙන් එකතු කර ගෙනෙනු ලබන හැටියට ඔබ වග බලා නොගත්තේ මන්දැ”යි ඇසී ය. |
|
| 7 |
|
| මන්ද දුෂ්ට වූ අතලියා සහ ඇගේ පුත්රයන් දෙවියන් වහන්සේගේ මාලිගාව කඩා, උන් වහන්සේගේ මාලිගාවේ කැප වූ සියලු දේවල් බාල් දේවතාවන් උදෙසා පාවිච්චියට ගෙන ගොස් තිබුණු හෙයිනි. |
|
| 8 |
|
| තවද, පෙට්ටියක් සාදා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරකඩ පිටතින් තබන ලෙස රජ අණ කෙළේ ය. |
|
| 9 |
|
| එවිට දෙවියන් වහන්සේගේ මෙහෙකරුවා වූ මෝසෙස් පාළුකරයේ දී ඉශ්රායෙල්වරුන්ට නියම කළ බද්ද සමිඳාණන් වහන්සේ උදෙසා ගෙනෙන්න කියා ජුදාහි සහ ජෙරුසලමෙහි ප්රසිද්ධ කරන ලද්දේ ය. |
|
| 10 |
|
| එවිට සියලු අධිපතීහු ද මුළු සෙනඟ ද සන්තෝෂ ව, බදු ගෙවා නිම වන තුරු මුදල් ගෙනවුත් පෙට්ටියේ දැම්මෝ ය. |
|
| 11 |
|
| මෙයාකාරයෙන් ඒ පෙට්ටිය ලෙවීවරුන් ලවා රාජ භාණ්ඩාගාරයට ගෙන්වන විටත්, බොහෝ මුදල් තිබෙන බව දකින විටත්, රජුගේ ලේකම් ද උත්තම පූජකයාගේ සේවකයා ද අවුත් පෙට්ටිය හිස්කර, එය නැවත ගෙන ගොස් පළමු තිබුණු තැන තැබූ හ. ඔව්හු දවසින් දවස මෙසේ කොට බොහෝ මුදල් එකතු කළෝ ය. |
|
| 12 |
|
| රජ සහ ජෙහෝයාදා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙයේ කටයුතු කරවන්නට ඒවා දුන්නෝ ය. ඔව්හු උන් වහන්සේගේ මාලිගාව අලුත්වැඩියා කරන පිණිස ගල්වඩුවන් ද වඩුවන් ද උන් වහන්සේගේ මාලිගාව හරිගැස්සීමට යකඩ සහ ලෝකඩ වැඩ කරන්නන් ද කුලියට ගත්හ. |
|
| 13 |
|
| කම්කරුවෝ වීර්යයෙන් වැඩ කළෝ ය. මෙසේ ඔවුන් විසින් ඒ වැඩ සම්පූර්ණ කරන ලදී. ඔව්හු දෙවියන් වහන්සේගේ මාලිගාව නිසි ලෙස පිහිටුවා එය සවි කළෝ ය. |
|
| 14 |
|
| වැඩ නිම කළ පසු ඔව්හු ඉතිරි මුදල රජු සහ ජෙහෝයාදා ඉදිරිපිටට ගෙනාවෝ ය. එයින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට භාණ්ඩ එනම්, මෙහෙයටත්, පූජා ඔප්පු කිරීමටත් බඩු ද හැඳි ද රන් රිදී භාජන ද සාදන ලද්දේ ය. ජෙහෝයාදාගේ මුළු කාලයේ දී සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දවන යාග පූජා නිතර ම ඔප්පු කරන ලද්දේ ය. |
|
| 15 |
|
| එහෙත්, ජෙහෝයාදා මහලු ව දීර්ඝ ආයු වළඳා මළේ ය. මැරෙන කල ඔහුට වයස අවුරුදු එකසිය තිහකි. |
|
| 16 |
|
| ඔහු ඉශ්රායෙල්හි ද දෙවියන් වහන්සේ සහ උන් වහන්සේගේ මාලිගාව උදෙසා ද යහපත කළ බැවින් දාවිත්ගේ නුවර රජවරුන් අතරේ තැන්පත් කරනු ලැබී ය. |
|
| 17 |
|
| ජෙහෝයාදා මියගිය පසු ජුදාහි අධිපතීහු අවුත් රජුට ආචාර කළහ. එවිට රජ ඔවුන්ට සවන් දුන්නේ ය. |
|
| 18 |
|
| ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව අත්හැර දමා අෂේරා කප් කණුවලටත්, පිළිමවලටත් සේවය කළෝ ය. ඔවුන්ගේ මේ වරද නිසා ජුදා දේශය ද ජෙරුසලම ද පිට දේව උදහස පැමිණියේ ය. |
|
| 19 |
|
| එහෙත්, ඔවුන් සමිඳාණන් වහන්සේ වෙත හරවන පිණිස උන් වහන්සේ දිවැසිවරුන් ඔවුන් අතරට එවූ සේක. ඒ දිවැසිවරුන් ඔවුන්ට අවවාද කළ නමුත්, ඔව්හු ඇහුම්කන් නුදුන්හ. |
|
| 20 |
|
| දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ජෙහෝයාදා පූජකයාගේ පුත් ශෙකරියා පිට පැමිණියේ ය. ඔහු සෙනඟට ඉහළින් නැඟිට සිට ඔවුන්ට කතා කොට, “දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹලා සමිඳාණන් වහන්සේගේ ආඥා කඩ කරන්නේ මන් ද? නුඹලාට යහපතක් නොවන්නේ ය. නුඹලා සමිඳාණන් වහන්සේ අත්හැරිය නිසා උන් වහන්සේත් නුඹලා අත්හැරිය සේකැ’ ”යි කීවේ ය. |
|
| 21 |
|
| ඔව්හු රජුගේ ආඥාව පිට ඔහුට විරුද්ධ ව කුමන්ත්රණ කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මළුවේ දී ඔහුට ගල් ගැසුවෝ ය. |
|
| 22 |
|
| මෙසේ ජෝවාෂ් රජ ශෙකරියාගේ පිය වූ ජෙහෝයාදා තමාට පෙන් වූ කරුණාව සිහි නොකොට ඔහුගේ පුත්රයා මැරී ය. ඔහු මැරෙද්දී කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙය බලා ප්රතිවිපාක දෙන සේක්වා”යි කීවේ ය. |
|
| 23 |
|
| ඊළඟ අවුරුද්දෙහි සිරියන්වරුන්ගේ සේනාව ජෝවාෂ්ට විරුද්ධ ව පැමිණියේ ය. ඔව්හු ජුදා දේශයටත්, ජෙරුසලමටත් පැමිණ, සෙනඟ අතරෙන් සෙනඟගේ සියලු අධිපතීන් නැතිකර දමා, ඔවුන්ගෙන් ගත් මුළු කොල්ලය දමස්කයේ රජුට යැවූ හ. |
|
| 24 |
|
| සිරියන්වරුන්ගේ සේනාව ගණනින් ස්වල්ප දෙනෙකු ව පැමිණි නමුත්, ජුදාවරුන් තම පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත්හළ නිසා, සමිඳාණන් වහන්සේ ඉතා විශාල සේනාවක් ඔවුන් අතට පාවා දුන් සේක. මෙසේ ඔව්හු ජෝවාෂ්ට සුදුසු ලෙස දඬුවම් දුන්හ. |
|
| 25 |
|
| ඔහු බොහෝ තුවාළ වී සිටිද්දී ඔවුන් ඔහු අත්හැර ඔහු වෙතින් ගිය පසු, ඔහුගේ සේවකයෝ පූජක වූ ජෙහෝයාදාගේ පුත්රයන්ගේ මරණය ගැන ඔහුට විරුද්ධ ව කුමන්ත්රණ කොට ඔහුගේ ඇඳේ දී ඔහු මැරුවෝ ය. මෙසේ ඔහු මියගියේ ය. ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත් කළ නමුත්, රජවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත් නොකළෝ ය. |
|
| 26 |
|
| ඔහුට විරුද්ධ ව කුමන්ත්රණ කළ අය නම්, අම්මොනිය ස්ත්රියක වන ෂිමෙයාත්ගේ පුත් සාබාද් සහ මෝවබිය ස්ත්රියක වන ෂිම්රීත්ගේ පුත් ජෙහෝශාබාද් ය. |
|
| 27 |
|
| ඔහුගේ පුත්රයන් ගැන ද, ඔහු පිට තබන ලද විශාල වගකීම සහ දෙවියන් වහන්සේගේ මාලිගාව දෙවනුව ගොඩනැඟීම ගැන ද රාජාවලී අටුවා පොතෙහි ලියා තිබේ. ඔහුගේ පුත් අමශියා ඔහු වෙනුවට රජ විය. |
|
|
|
|