|
| 1 |
|
| සලමොන් යාච්ඤා කර නිම කළ විට අහසින් ගිනි බැස අවුත් දවන යාග පූජාව ද යාගයන් ද දවාදැමී ය. සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරයෙන් මාලිගාව පිරී ගියේ ය. |
|
| 2 |
|
| සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරයෙන් උන් වහන්සේගේ මාලිගාව පිරී තිබුණු නිසා පූජකයන්ට ඒ මාලිගාවට ඇතුල් වන්න බැරි විය. |
|
| 3 |
|
| සියලු ඉශ්රායෙල්වරු ගිනි බසිනවාත් සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරය මාලිගාව පිට තිබෙනවාත් දැක, ගල් ඇල්ලූ බිමට තමන්ගේ හිස් නමා නමස්කාර කොට, “උන් වහන්සේ යහපත් ය; උන් වහන්සේගේ කරුණාව සදහට පවත්නේ ය”යි කියමින් සමිඳාණන් වහන්සේට ස්තුති කළෝ ය. |
|
| 4 |
|
| ඉන්පසු ව රජ ද මුළු සෙනඟ ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජා ඔප්පු කළහ. |
|
| 5 |
|
| සලමොන් රජ ගවයන් විසිදෙදහසක් ද බැටළුවන් එක්ලක්ෂ විසිදහසක් ද ඔප්පු කෙළේ ය. මෙසේ රජ ද මුළු සෙනඟ ද දෙවියන් වහන්සේගේ මාලිගාව කැප කළහ. |
|
| 6 |
|
| පූජකයෝ ද තම තමන්ගේ තනතුරුවල යෙදී සිටියහ. ලෙවීවරුත් සමිඳාණන් වහන්සේගේ තූර්ය භාණ්ඩ රැගෙන සිටියෝ ය. ඔව්හු දාවිත් රචිත ගී ගයමින්, “සමිඳාණන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය”යි කියමින් උන් වහන්සේට ප්‍රශංසා කළහ. උන් වහන්සේට ස්තුති කිරීමට දාවිත් විසින් ඒවා රචනා කරනු ලැබ තිබිණි. පූජකයෝ ද ඔවුන් ඉදිරිපිටින් සිටගෙන නළා පිම්බෝ ය; සියලු ඉශ්රායෙල්වරු ද නැඟිට සිටියහ. |
|
| 7 |
|
| තවද, සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට තිබුණු මිදුලේ මැදභාගය විශුද්ධ කෙළේ ය. මන්ද, ඔහු දවන යාග පූජා ද සහභාගිකමේ පූජාවල තෙල ද එහි ඔප්පු කළ බැවිනි. එසේ කෙළේ, සලමොන් සෑදූ ලෝකඩ පූජාසනය දවන යාග පූජාව ද ආහාර පූජාව ද තෙල ද තැබීමට ප්‍රමාණවත් නොවූ නිසා ය. |
|
| 8 |
|
| මෙසේ ඒ කාලයේ දී සලමොන් ද ඔහු සමඟ සියලු ඉශ්රායෙල්වරු ද හමාත්ට ඇතුළු වන තැන පටන් මිසරයේ ඔය දක්වා සිට පැමිණි ඉතා විශාල සමූහයක් ද මංගල්‍යය පැවැත්වූ හ. |
|
| 9 |
|
| අට වන දා ඔව්හු මංගල්‍ය රැස්වීමක් පැවැත්වූ හ. මන්ද, ඔවුන් සත් දවසක් පූජාසනය කැප කිරීම ද සත් දවසක් මංගල්‍යය ද පැවැත්වූ බැවිනි. |
|
| 10 |
|
| සත් වන මාසයේ විසිතුන් වන දා ඔහු සෙනඟ තම තමන්ගේ කූඩාරම්වලට යන්නට හැරියේ ය. ඔව්හු ද සමිඳාණන් වහන්සේ දාවිත්ටත්, සලමොන්ටත්, තමන්ගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ටත් කළ යහපත ගැන ප්‍රීති සන්තෝෂ වෙමින් යන්න ගියෝ ය. |
|
| 11 |
|
| මෙසේ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රජ මැදුර ද සාදා නිම කෙළේ ය. උන් වහන්සේගේ මාලිගාවෙහිත්, තමාගේ ම රජ මැදුරෙහිත් කරන්න අදහස් කළ සියල්ල සලමොන් ඉෂ්ට කෙළේ ය. |
|
| 12 |
|
| එවිට සමිඳාණන් වහන්සේ රාත්‍රියේ සලමොන්ට දර්ශනය වී මෙසේ වදාළ සේක: “මම නුඹේ යාච්ඤාව අසා මේ ස්ථානය මට පූජාසනයක් කොට තෝරාගතිමි. |
|
| 13 |
|
| වැසි නොවසින ලෙස මම අහස වසාලන්නෙම් නම්, නොහොත් රට පාළු කිරීමට පළඟැටියන්ට අණ කරන්නෙම් නම්, නොහොත් මාගේ සෙනඟ අතරට වසංගතය එවන්නෙම් නම්, |
|
| 14 |
|
| මාගේ නාමය දරන මාගේ සෙනඟ බැගෑපත් වී, යාච්ඤා කර, මා සොයා තමන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්, මම ස්වර්ගයේ සිට එය අසා, ඔවුන්ගේ පව් කමා කොට ඔවුන්ගේ දේශයට සෙත සලසන්නෙමි. |
|
| 15 |
|
| දැන් ද මින් ඉදිරියට ද මේ ස්ථානයේ දී කරන යාච්ඤාවට මාගේ ඇස් ඇර, මාගේ කන් යොමු කරනු ලැබේ. |
|
| 16 |
|
| දැන් ද ඉදිරියට ද මාගේ නාමය මේ මාලිගාවෙහි සදහට ම තිබෙන පිණිස මෙය තෝරාගෙන විශුද්ධ කෙළෙමි. මාගේ නෙත් ද මාගේ සිත ද නිතර ම මෙතැනට යොමු වී තිබෙන්නේ ය. |
|
| 17 |
|
| ඉතින්, නුඹේ පිය දාවිත් හැසුරුණ පරිදි නුඹ මා ඉදිරියෙහි හැසිරෙමින්, මා විසින් නුඹට අණ කරන ලද සියල්ල කරමින්, මාගේ පණත් ද විනිශ්චයයන් ද පිළිපදින්නෙහි නම්, |
|
| 18 |
|
| ඉශ්රායෙල්හි ආණ්ඩුකාරයෙකු වීමට නුඹෙන් කෙනෙක් නැති ව නොයන්නේ ය කියා මා නුඹේ පිය දාවිත්ට පොරොන්දු වූ ලෙස නුඹේ රාජ්‍යයේ සිංහාසනය ස්ථිර කරන්නෙමි. |
|
| 19 |
|
| එහෙත්, නුඹලා මා වෙතින් ඉවත් ව ගොස්, මා නුඹලා ඉදිරියෙහි තබා තිබෙන මාගේ පණත් ද ආඥා ද අත්හැර ගොස්, වෙන දෙවිවරුන්ට වැඳුම්පිදුම් කර ඔවුන්ට නමස්කාර කරන්නහු නම්, |
|
| 20 |
|
| මා ඔවුන්ට දී තිබෙන මාගේ දේශයෙන් මම ඔවුන් සහමුලින් ම පහකරන්නෙමි. මාගේ නාමයට මා විශුද්ධ කළ මේ මාලිගාව මාගේ ඇස් හමුයෙන් පහකර දමන්නෙමි. එය සියලු ජාතීන් අතරේ විහිළුවක් ද උපහාසයක් ද නටබුන් ගොඩක් ද වනු ඇත. |
|
| 21 |
|
| “මේ මාලිගාව ළඟින් යන සියල්ලෝ විස්මයට පත් ව, ‘සමිඳාණන් වහන්සේ මේ දේශයටත්, මේ මාලිගාවටත් කුමක් නිසා මෙසේ කළ සේක් දැ’යි අසන්නෝ ය. |
|
| 22 |
|
| එවිට මනුෂ්‍යයන් කතා කොට, ‘ඔවුන් මිසර දේශයෙන් ගෙන ආ ඔවුන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත්හැර, අන් දෙවිවරුන්ට ඇළුම් ව, ඔවුන්ට නමස්කාර කොට වැඳුම්පිදුම් කළ නිසා, උන් වහන්සේ මේ සියලු විපත්ති ඔවුන් පිට පැමිණෙවූ සේකැ’යි කියනු ඇත.” |
|
|
|
|