|
| 1 |
|
| ප්රාකාරයේ කැඩුම්බිඳුම් කිසිවක් ඉතුරු නොවන ලෙස මා විසින් එය ගොඩනංවන ලද බව සන්බලට්ට ද ටෝබියාට ද අරාබීය ගෙෂෙම්ට ද අපේ සෙසු සතුරන්ට ද සැළ විය. එහෙත්, ඒ කාලය වන තුරු ම මා දොරටුවල දොරවල් සවි කර නොතිබුණේ ය. |
|
| 2 |
|
| එවිට සන්බලට් ද ගෙෂෙම් ද, “එන්න, ඕනෝහි සමභූමියේ ගම්වලින් එකක අපි සම්මුඛ වෙමු”යි මට ආරාධනා කර එවුවෝ ය. එහෙත්, මෙය ඔවුන් මට අනතුරු කරන්නට යෙදූ උපායකි. |
|
| 3 |
|
| මම ඔවුන් ළඟට පණිවුඩකාරයන් යවමින්, “මම වැදගත් වැඩක යෙදී සිටිමි. ඒ නිසා එන්නට නොහැකි ය. ඔබ වෙත පැමිණෙන පිණිස මා මේ වැඩ අත්හැරියොත් වැඩය නවතිනු ඇතැ”යි කියා යැව්වෙමි. |
|
| 4 |
|
| ඔව්හු මේ අයුරින් සතර වරක් ආරාධනා කර එවූ හ. මමත් ඒ අයුරින් ම ඔවුන්ට පිළිතුරු යැව්වෙමි. |
|
| 5 |
|
| එවිට සන්බලට් තෙම ඒ අයුරින් ම සිය සේවකයා අත විවෘත ලිපියක් පස් වන වරට මා වෙත එවුවේ ය. |
|
| 6 |
|
| එහි මෙසේ ලියා තිබුණේ ය: “ඔබත්, ජුදෙව්වරුනුත් කැරලිගසන්නට සිතන බව මේ ජාතීන් අතරෙහි සැළ වී තිබේ. ගෂ්මු තෙමේ ද එය අනුමත කරයි. ඔබ පවුර ගොඩනඟන්නේ ඒ නිසා බවත්, මෙයාකාරයෙන් ඔබ ඔවුන්ගේ රජ වන්නට සිතන බවත් ඒ වාර්තාවෙන් පෙනේ. |
|
| 7 |
|
| තවද, ජුදාහි රජෙක් සිටි යි කියමින් ඔබ ගැන ම ජෙරුසලමෙහි නිවේදනයක් කරනු පිණිස දිවැසිවරුන්ට නියම කර ඇත. ඉතින් මේ ගැන රජ්ජුරුවන්ට සත්තකින් ම ආරංචි වනු ඇත. ඒ නිසා එන්න, අපි එක් ව මන්ත්රණය කරගනිමු.” |
|
| 8 |
|
| මීට පිළිතුරක් වශයෙන් මම පණිවුඩයක් යවමින්, “ඔබ කියන ඔය කිසිවක් සිදු වී නැත. ඔබ ඒවා සිතින් මවාගෙන ඇතැ”යි කීමි. |
|
| 9 |
|
| අපි අපේ වැඩ අතපසු කර, ඒ හේතුවෙන් ඒ වැඩය කිසි කලක නිම කරනු නොලැබේ ය යන බලාපොරොත්තුවෙන් ඔව්හු සියල්ලෝ ම අප බිය ගන්වන්නට උත්සාහ කළෝ ය. එහෙත්, “දෙවියන් වහන්ස, දැන් මාගේ අත් ශක්තිමත් කළ මැනව.” |
|
| 10 |
|
| ඉක්බිති මම මෙහෙතාබල්ගේ පුත් දෙලායාගේ පුත්රයා වන ෂෙමායාගේ ගෙදරට ගියෙමි. එසේ ගියේ ඔහුට මා වෙත එන්නට නොහැකි වූ බැවිනි. එවිට ඔහු මා අමතා, “අපි එක් ව දෙවියන් වහන්සේගේ මාලිගාව ඇතුළට ගොස් ශුද්ධස්ථානයේ දොරවල් වසාගෙන සිටිමු. මන්ද, ඔවුන් ඔබ මරන්නට එනු ඇත. ඔබ මරන්නට ඔව්හු අද රාත්රියේ ම එති”යි කීවේ ය. |
|
| 11 |
|
| මම ද උත්තර දෙමින්, “මා වැනි කෙනෙකු පලා යන්නට සුදුසු ද? මා වැනි කවරෙක් ජීවිතය ගළවාගන්න පිණිස දේව මාලිගාවට ඇතුළු වේ ද? මම ඇතුළු නොවන්නෙමි”යි කීවෙමි. |
|
| 12 |
|
| ඒ ගැන මා සිතා බැලූ විට, දෙවියන් වහන්සේ ඔහු නොඑවූ බවත්, ටෝබියා ද සන්බලට් ද ඔහුට අල්ලස් දුන් නිසා ඔහු මා ගැන ඒ අනාගත වචනය කී බවත් මට වැටහිණි. |
|
| 13 |
|
| ඔවුන් ඔහුට අල්ලස් දුන්නේ, මා භය වී, කී ලෙස කර පව්කරන පිණිසත් එවිට මට නරක නමක් ලැබී, මට අපහාස වන පිණිසත් ය. |
|
| 14 |
|
| “මාගේ දෙවියන් වහන්ස, ටෝබියා ද සන්බලට් ද කළ මේ ක්රියා නිසා, ඔවුන් සහ දිවැසිවරිය වන නෝවදියා ද මා බිය ගන්වන්නට උත්සාහ කළ අනෙක් දිවැසිවරුන් ද අමතක නොකරන්න.” |
|
| 15 |
|
| පණස් දෙදවසකින් එලුල් මාසයේ විසිපස් වන දා පවුරේ වැඩ නිම කරන ලදී. |
|
| 16 |
|
| අපේ සියලු සතුරන් ඒ බව ඇසූ විට ද අප අවට සිටි සියලු ජාතීන් එය දුටු විට ද එය විස්මයජනක යැයි සිතා, මේ වැඩය ඉටු වුණේ අපේ දෙවියන් වහන්සේගේ උපකාරයෙන් බව ඔව්හු තේරුම්ගත්හ. |
|
| 17 |
|
| තවද, ඒ දවස්වල දී ජුදාහි නායකයෝ ලියුම් බොහොමයක් ටෝබියාට යැව්වෝ ය. ටෝබියාගෙන් ද ඔවුන්ට ලියුම් ලැබුණේ ය. |
|
| 18 |
|
| කුමක් නිසා ද ඔහු ආරාගේ පුත් ෂෙකනියාගේ බෑණා නිසාත්, ඔහුගේ පුත් ජෝහානාන් බෙරෙකියාගේ පුත් මෙෂුල්ලාම්ගේ දුව පාවාගෙන සිටි නිසාත්, ජුදාහි බොහෝ දෙනෙක් ඔහු සමඟ දිවුරුමකින් බැඳී සිටියෝ ය. |
|
| 19 |
|
| තවද, ඔහුගේ හොඳ ක්රියා ගැන ඔව්හු මා ඉදිරියෙහි දී කීවෝ ය. මාගේ වචනය ද ඔහුට දැන්නුවෝ ය. ටෝබියා ද මා බිය ගන්වන පිණිස ලියුම් එවුවේ ය. |
|
|
|
|