|
| 1 |
|
| සිදු වූ සියල්ල මොර්දෙකයි දැනගත් විට ඔහු ශෝකයෙන් සිය වස්ත්‍ර ඉරාගෙන, ඇඟේ අලු තවරාගෙන, ගෝණි රෙදි හැඳගෙන, ඉමහත් දුකින් හඬා වැලපෙමින් නගරය මැදින් ගියේ ය. |
|
| 2 |
|
| මෙසේ ඔහු රජ වාසල ඉදිරිපිටට ම පැමිණියේ ය. ගෝණි රෙදි හැඳගෙන කිසිවෙකුට රජ වාසලට පිවිසීමට අවසර නොතිබිණි. |
|
| 3 |
|
| රාජාඥාව ප්‍රකාශ කරනු ලැබූ සියලු රටවල ජුදෙව්වරුන් අතරේ මහා වැලපීම ද නිරාහාර ව සිටීම ද හැඬීම ද විලාප කීම ද ඇති විය. බොහෝ දෙනෙක් ගෝණි රෙදි හැඳගෙන අලු පිට වැතිර සිටියහ. |
|
| 4 |
|
| එවිට එස්තර්ගේ මෙහෙකාරියෝ ද නපුංසකයෝ ද අවුත් එපවත් ඈට දැන්වූ හ. එකල බිසව ශෝකයෙන් ඇලළී ගියා ය. ඈ මොර්දෙකයිට ගෝණි රෙදි ඉවත ලා ඇඳගැනීමට ඇඳුම් යැවූවා ය. එහෙත්, ඔහු ඒවා පිළිගත්තේ නැත. |
|
| 5 |
|
| එවිට එස්තර්, ඈට මෙහෙකරන පිණිස රජු විසින් පත් කරන ලද නපුංසකයන්ගෙන් එක් කෙනෙකු වන හාතාක් කැඳවා, කාරණාව කුමක් ද කියාත්, ඔහු මේ ආකාරයෙන් ක්‍රියා කරන්නේ මන්ද කියාත් ගොස් මොර්දෙකයිගෙන් දැනගන්නට අණ කළා ය. |
|
| 6 |
|
| හාතාක් ද අගනුවර රජ වාසල ඉදිරිපිට තිබුණු වීදියේ සිටි මොර්දෙකයි ළඟට ගියේ ය. |
|
| 7 |
|
| එවිට මොර්දෙකයි තමාට සිදු වූ සියල්ලත්, ජුදෙව්වරුන් නැති කරන පිණිස හාමාන් රාජ භාණ්ඩාගාරයට ගෙවන්නට පොරොන්දු වූ මුළු මුදල් ගණනත් ඔහුට දැන්වී ය. |
|
| 8 |
|
| තවද, ඔවුන් විනාශ කරන්නට සූසාහි දී දුන් නියෝග පත්‍රයේ පිටපත එස්තර්ට පෙන්වා දන්වන පිණිස ඔහුට දී, ඈ රජු ළඟට ගොස් ඔහුට කන්නලව් කර ඇගේ සෙනඟ උදෙසා ඔහුගෙන් කරුණාව ඉල්ලන පිණිස ඈට අණ කරන බව ද ඔහුට කීයේ ය. |
|
| 9 |
|
| හාතාක් අවුත් මොර්දෙකයි කී දේ එස්තර්ට දැන්වී ය. |
|
| 10 |
|
| එකල එස්තර් හාතාක්ට කතා කොට, මොර්දෙකයි වෙත ගෙන යන පිණිස පණිවුඩයක් දෙමින් මෙසේ කීවා ය: |
|
| 11 |
|
| “කැඳවනු නොලැබ ඇතුළු මළුවේ රජු වෙත පැමිණෙන ස්ත්‍රී-පුරුෂ කවරෙක් හෝ වේවා නීතිය අනුව මරණයට පත් කළ යුතු බව රජුගේ සියලු සේවකයෝ ද රජුගේ සියලු ප්‍රදේශවල සෙනඟ ද දනිති. ඒ නීතිය බල නොපාන්නේ, යමෙකු දෙසට රජු රන් ජයකොන්තය දිගු කළොත් ඒ අයට පමණකි. එහෙත්, රජු වෙත පැමිණෙන්නට කැඳවීමක් දැනට තිස් දවසකින් මට ලැබී නැත.” |
|
| 12 |
|
| එස්තර්ගේ මේ පණිවුඩය මොර්දෙකයිට දන්වන ලදී. |
|
| 13 |
|
| එවිට මොර්දෙකයි එස්තර්ට පිළිතුරු යවමින්, “ඔබ රජ ගෙදර සිටින නිසා සියලු ජුදෙව්වරුන් අතරෙන් ඔබ පමණක් ගැළවෙන්නෙහි ය කියා නොසිතන්න. |
|
| 14 |
|
| මන්ද, මේ අවස්ථාවේ දී ඔබ නිශ්ශබ්ද ව ම සිටියොත් වෙනතකින් ජුදෙව්වරුන්ට නිදහසත් ගැළවීමත් පැමිණෙනු ඇත. එහෙත්, ඔබ සහ ඔබේ පිය වංශය නැති වනු ඇත. ඔබ රාජ්‍යයට පැමුණුණේ මෙවැනි අවස්ථාවක් නිසා ම නොවේ ද කියා දන්නේ කවුරු දැ”යි කියන්නට අණ කෙළේ ය. |
|
| 15 |
|
| එවිට එස්තර් මොර්දෙකයිට උත්තර යවමින්, |
|
| 16 |
|
| “ගොස් සූසාහි සිටින සියලු ජුදෙව්වරුන් රැස් කරවා, මා උදෙසා ඔවුන් සමඟ දවස් තුනක් රෑ දවල් නොකා නොබී නිරාහාර ව සිටින්න. මාගේ සේවිකාවෝත්, මමත්, එසේ ම නිරාහාර ව සිටින්නෙමු. එවිට නීති විරෝධි වුවත් මම රජු ළඟට යන්නෙමි. මා මැරුණොත් මැරුණාවේ” කියා කියන්නට කීවා ය. |
|
| 17 |
|
| එවිට මොර්දෙකයි ගොස් තමාට එස්තර් අණ කළ ලෙස සියල්ල කෙළේ ය. |
|
|
|
|