|
| 1 |
|
| එවිට තේමානීය එලිපස් පිළිතුරු දෙමින් මෙසේ කී ය: |
|
| 2 |
|
| “මා ඔබට වචනයක් කීවොත්, එය ඔබට කරදරයක් වේ ද? අනේ! මා තවත් දුරට නිහඬ ව සිටින්නේ කෙසේ ද? |
|
| 3 |
|
| ඔබ, බොහෝ අයට දිරිය දුන් හැටිත්, දුබල අයට සවිය දුන් හැටිත් සිතා බලන්න. |
|
| 4 |
|
| පැකිළෙන අය ඔවා බසින් තිර කොට වැනෙන, සැලෙන දෙදණ සවි කළ හැටි සිතා බලන්න. |
|
| 5 |
|
| එහෙත්, දැන් ඔබ විපතට පත් වී ඇත; ඔබට ඉවසිල්ලක් නැත. විපත ඔබ වෙත පැමිණ ඇත; ඔබ කැළඹී ඇත. |
|
| 6 |
|
| ඔබේ ආගමෙන් ඔබට සැනසුමක් නැද් ද? දැහැමි ජීවිතයෙන් ඔබට බලාපොරොත්තුවක් නැද් ද? |
|
| 7 |
|
| නිදොස් කෙනෙකු විපතට පත් වූ බව ඔබ අසා ඇද් ද? දැහැමි අය විනාශයට පත් වූ දවසක් ඔබට මතක ඇද් ද? |
|
| 8 |
|
| මා දැක ඇති ලෙස නම්, අදමිටුකම සී සාමින් අයුක්තිය වපුරන අය, ඒවා ම නෙළා ගනිති. |
|
| 9 |
|
| දෙවිඳුන්ගේ එක හුස්මෙන් පවිටු දනෝ වැනසී යති. එතුමන්ගේ උදහස් මාරුතයෙන් ඔව්හු සැම ම පහ වී යති. |
|
| 10 |
|
| සිංහයාගේ ගර්ජනය ද රුදුරු සිංහ රජුගේ ගෙරවීම ද පහ වී ඇත; සිංහ පෝතකයාගේ දත් ඇදී බිඳී ඇත. |
|
| 11 |
|
| සිහ රද ගොදුරක් නොලැබ මිය යයි. සිහදෙනගේ පෝතකයෝ හිස් ලූ ලූ අත විසිර දුවති. |
|
| 12 |
|
| මට එක් කරුණක් රහසින් හෙළි වී ඇත; එහි සියුම් නාදය මා සවනෙහි රැව් දෙයි. |
|
| 13 |
|
| මිනිසා රෑ යාමයෙහි බර නින්දට පත් ව, ස්වප්න දකින විට, ගැඹුරු සිතුවිලි උදා වන විට, |
|
| 14 |
|
| මා සිරුරෙහි ඇටකටු සැලෙන්නට විය. භීතිය හා කැළඹීම ද මට ඇති විය. |
|
| 15 |
|
| මඳ පවනක් මා මුහුණට වැදිණි. එයින් මා සිරුරෙහි හිරිගඩු පිපිණි. |
|
| 16 |
|
| යමෙක් අවුත් මා ළඟ නැවතුණේ ය. එහෙත්, ඔහුගේ මුහුණුවර මට හඳුනාගත නොහැකි විය. ඒ රූපය මා අබිමුව විය; අවට නිහඬතාව බිඳ දමමින් මෙවන් හඬක් ඉන් නිකුත් විය. |
|
| 17 |
|
| දෙවිඳුන් අබිමුව කිසිවෙකුට තමා නිදොස් යැයි සිතිය හැකි ද? සිය මැවුම්කරු අබිමුව පිවිතුරු කෙනෙක් සිටිත් ද? |
|
| 18 |
|
| එතුමාණෝ සිය මෙහෙකරුවන් කෙරේ වත් විශ්වාසය නොතබන සේක; දේව දූතයන් හට වුව ද දොස් නඟන සේක. |
|
| 19 |
|
| එසේ නම්, පොළොවේ දූවිල්ලෙහි තනන ලද මැටි ගෙවල වසන අය ගැන කියනුම කවරේ ද? ඔව්හු කාවුන් මෙන් පොඩි කරනු ලබති. |
|
| 20 |
|
| උදය සිට සවස වන තුරු ඔව්හු වැනසී යති; කිසිවෙකුගෙන් සැලකිලි නොලැබ ඔව්හු සදහට ම වැනසී යති. |
|
| 21 |
|
| ඔවුන් සතු සියලු දේ පැහැරගෙන ඇත. කිසි දා ප්රඥාව වත් නොලබා ඔව්හු මියයති. |
|
|
|
|