|
| 1 |
|
| “මිහි මත මිනිස් ජීවිතය සටනක් නොවන්නේ ද? එය දවසේ කුලියට වැඩ කරන කුලීකරුවෙකුගේ දිවිය මෙන් නොවේ ද? |
|
| 2 |
|
| තුරු සෙවණෙහි විවේකය සොයන වහලෙකු මෙන් ද වැටුප ගෙවන තුරු බලා හිඳින කුලීකරුවෙකු මෙන් ද |
|
| 3 |
|
| මසින් මසට පාළු සිතින් කල්යැවීමට මට නියම ව ඇත; රැයින් රැය මම දුකින් දුකට පත්වන්නෙමි. |
|
| 4 |
|
| මම නින්දට යන කල, ‘රැය ගෙවී කොයි වේලේ නැඟිටිම් දැ’යි කියා ගනිමි. පහන් වන තුරු ඒ මේ අත පෙරළෙමින් සිටින්නෙමි. |
|
| 5 |
|
| මා සිරුරෙහි සෑම තැන ම පණුවෝ ඇත; මාගේ ඇඟ හැම තැන හොරිවලින් වැසී ඇත; මාගේ වණවලින් සැරව ගලා යනු ඇත. |
|
| 6 |
|
| බලාපොරොත්තු රහිත ව මම දවස් යවමි; ඒවා නූල් කටින නඩාව මෙන් යුහුව දුව යයි. |
|
| 7 |
|
| “දෙවි සමිඳුනි, මාගේ දිවිය සුළං රොදක් පමණක් බව සිහි කරන්න; වාසනාව මින් මතු මා නොදකිනු ඇත. |
|
| 8 |
|
| දැන් ඔබ මා දකින දෙනෙත් යළි කිසි දා මා නොදකිනු ඇත; ඔබේ දෙනෙත් මා සොයතත්, මින්පසු මා දක්නට නැත. |
|
| 9 |
|
| නැති වී නොපෙනී යන වලාකුළක් විලසින් පාතාලයට බැස යන මිනිසා ආපසු නැඟී නොඑයි. |
|
| 10 |
|
| සිය නිවෙසට ඔහු හැරී නොඑයි; ගෙදර උදවිය තවත් ඔහු නොදකිති. |
|
| 11 |
|
| “මට නම්, කට වසාගෙන ඉන්න බැරි ය; දැඩි සිත් තැවුළින් මම කතා කරමි. මා හද තුළ ඇවිලෙන සෝගින්නෙන් විලාප කියමි. |
|
| 12 |
|
| ඇයි මා වටකර මුර කරගෙන ඉන්නේ? මම දිය රකුසෙක් ද? මහ මුහුදේ නාගයෙක් ද? |
|
| 13 |
|
| ‘මාගේ ඇඳෙහි මම සහනය ලබමි. මාගේ යහනෙහි සෝදුක නැති කරගනිමි’යි මම සිතන්නෙමි. |
|
| 14 |
|
| එවිට, ඔබ ස්වප්නවලින් මා බිය ගන්වන සේක; දර්ශනවලින් මා තැති ගන්වන සේක. |
|
| 15 |
|
| මෙසේ ජීවත් වීමට වැඩියෙන් ගෙල මිරිකා මරණු ලැබීම මට හොඳ ය; මෙවන් දුක් රාශියට වඩා මරණය යෙහෙකි. |
|
| 16 |
|
| මට කිසි පැතුමක් නැත; මට ජීවිතය තිත්ත වී ඇත; මට හුදකලා ව ඉන්නට ඉඩ දුන මැනව. මාගේ දිවිය සුළං රොදක් පමණකි. |
|
| 17 |
|
|
ඔබ මිනිසා ගැන මෙතරම් ඉහළින් සලකන්නටත්, ඔහු වෙත ඔබ සිත යොමුකරන්නටත්,
|
|
| 18 |
|
| උදයෙන් උදය, මොහොතින් මොහොත ඔහු සෝදිසි කරන්නටත් මිනිසා කවරෙක් ද? |
|
| 19 |
|
| මොහොතකට වත් ඔබ මා කෙරෙන් ඔබේ බැල්ම ඉවතට නොගන්න සේක් ද? කෙළ පිඬ ගිලින තෙක් වත්, ඔබ මට ඉන්නට ඉඩ නොදෙන සේක් ද? |
|
| 20 |
|
| මුරකාරයාණෙනි, මාගේ පවින් ඔබට වරදක් වී ද? ඔබේ දුන්නට මා ඉලක්කයක් කර ගත්තේ මන් ද? ඔබ හට මා එතරම් බරක් වී ද? |
|
| 21 |
|
| ඔබ මාගේ වරදට කමා වී, මාගේ අයුතුකම පහනොකරන්නේ මන් ද? යුහුව මා දූවිල්ලට හැරෙනු ඇත. ඔබ මා සෙව්වත් මා දක්නට නැත.” |
|
|
|
|