|
| 1 |
|
| දාවිත් මරණ පිණිස ගෙය රැක සිටීමට සාවුල් මිනිසුන් යැවූ පසු දාවිත් ලියූ ගීතයකි. අහෝ මාගේ දෙවිඳුනි! මාගේ සතුරන්ගෙන් මා මුදාගත මැනව; මට පහර දෙන අයගෙන් මා රැකගත මැනව. |
|
| 2 |
|
| නපුර කරන්නන්ගෙන් මා මුදාගත මැනව; මිනී මරුවන්ගෙන් මා ගළවාගත මැනව. |
|
| 3 |
|
| මාගේ ජීවිතය නැසීමට මාන බලා සිටින්නන් හා මට සතුරු ව සැරසී සිටින්නන් දෙස බැලුව මැනව. මා අත පාපයක් හා වරදක් නොවූවත්, |
|
| 4 |
|
| මා අපරාධයක් නොකළත්, ඔව්හු මට චෝදනා කොට සටනට සැරසෙන්නෝ ය. සමිඳුනි, මාගේ සහායට පිබිද, මා දෙස බැලුව මැනව! |
|
| 5 |
|
| සමිඳුනි, සව් බලැති දෙවිඳුනි, ඉශ්රායෙල් දෙවිඳුනි, සියලු විජාතීන් හට දඬුවම් දීමට නැඟී සිටින සේක් වා! දුෂ්ට ද්‍රෝහින් කිසිවෙකුට වත් දයාව නොදක්වන සේක් වා! |
|
| 6 |
|
| ඔව්හු සවස් කාලය වන තෙක් බලා සිටින්නෝ ය; ඉන්පසු ගොරවන සුනඛයන් මෙන් නුවර සැරිසරන්නෝ ය. |
|
| 7 |
|
| ඔව්හු බෙරිහන් දෙමින් තියුණු කඩුපත් වැනි කටුක වචන කියති; “ඒවා ඇසෙන කිසිවෙක් නැතැ”යි ඔව්හු සිතති. |
|
| 8 |
|
| එහෙත් සමිඳුනි, ඔබ ඔවුන් ගැන සිනාසෙන සේක; ඔබ සියලු විජාතීන් සමච්චලයට පාත්‍ර කරන සේක. |
|
| 9 |
|
| මාගේ සවිය වන ඔබ මම පසසමි. මන්ද, දෙවිඳාණෝ මාගේ බලකොටුව වන සේක. |
|
| 10 |
|
| මට ප්‍රේම කරන දෙවිඳාණෝ වඩින සේක; මාගේ සතුරන්ගේ පරාජය මට දැකගන්නට සලසන සේක. |
|
| 11 |
|
| අහෝ දෙවිඳුනි! මා සෙනඟ නොපැකිළෙන පිණිස සතුරන් නොනැසුව මැනව; ඔබේ බලයෙන් ඔවුන් සලිත කොට පහතට හෙළුව මැනව. සමිඳාණෝ අපේ පලිහ වන සේක. |
|
| 12 |
|
| ඔවුන්ගේ මුවින් පිට වන පාපී බස් හා තොල්වලින් පවසන පුරසාරම් නිසා ඔව්හු වරදට අසු වෙත් වා! උඩඟුවෙන් වැනසෙත් වා! |
|
| 13 |
|
| ඔබ කෝපාග්නියෙන් ඔවුන් වනසත් වා! සහමුලින් ම ඔවුන් වනසත් වා! එවිට ඉශ්රායෙල් දේශයේ සිට පොළොවේ සීමාන්තය දක්වා දෙවිඳුන් පාලනය කරන බව ඔව්හු දැනගන්නෝ ය. |
|
| 14 |
|
| ඔව්හු සවස් කාලය වන තෙක් බලා සිටින්නෝ ය; ඉන්පසු ගොරවන සුනඛයන් මෙන් නුවර සැරිසරන්නෝ ය; |
|
| 15 |
|
| ඔව්හු ගොදුරු සොය සොයා සැරිසරන්නෝ ය; ඔව්හු සෑහීමට පත් නොවුවොත් ගොරවන්නෝ ය. |
|
| 16 |
|
| ඔබේ බල මහිමය ගැන මම ගී ගයන්නෙමි; ඔබේ තිර පෙම ගැන හැම උදය ම මම හඬ නඟා ගයන්නෙමි. මන්ද, ඔබ මාගේ බලකොටුව වූ සේක; මාගේ විපතේ දී ඔබ මාගේ සරණය වූ සේක. |
|
| 17 |
|
| මාගේ සවිය වන ඔබ මම පසසමි; මන්ද, දෙවිඳාණෝ මාගේ බලකොටුව වන සේක. ඔබ මට ප්‍රේම කරන සේක. |
|
|
|
|