|
| 1 |
|
| ආසාප්ගේ ගීතයකි. අහෝ ඉශ්රායෙල්වරුනි! නිර්මල සිත් ඇත්තන් හට දෙවිඳාණෝ කොපමණ යහපත් ද? |
|
| 2 |
|
| මා මොහොතකින් ලිස්සා යන්න තිබිණි. මාගේ පය ලිස්සන්නට විය. |
|
| 3 |
|
| එසේ වූයේ, දුදනන්ගේ අභිවෘද්ධිය මා දැක ඔවුන්ගේ පාරට්ටු නිසා මා ඔවුන්ට ඊර්ෂ්‍යා කළ විට ය. |
|
| 4 |
|
| ඔවුන් හට දුක් ගැහැට නැත්තේ ය. ඔවුන්ගේ කය නිදුක් නිරෝගී ව ඇත්තේ ය. |
|
| 5 |
|
| අන් අයට මෙන් ඔවුන්ට කම්කටොලු කිසිත් නැත්තේ ය. අන් අය මෙන් ඔව්හු තාඩන පීඩන නොලබන්නෝ ය. |
|
| 6 |
|
| එබැවින්, ඔව්හු අහංකාරකම ගෙල පළඳනාවක් මෙන් ද බලහත්කාරය වස්ත්‍රයක් මෙන් ද පැළඳ සිටින්නෝ ය. |
|
| 7 |
|
| ඔවුන්ගේ නෙත් අහංකාරයෙන් ඉදිමී ඇත්තේ ය. ඔවුන්ගේ සිත් නිෂ්ඵල සිතුවිලිවලින් පිරී ඇත්තේ ය. |
|
| 8 |
|
| ඔව්හු අන් අයට සිනාසෙන්නෝ ය; නපුරු දේ ගැන කතා කරන්නෝ ය; අහංකාරයෙන් ඉදිමී අන් අයට පීඩා කිරීමට සිතන්නෝ ය. |
|
| 9 |
|
| ඔව්හු සුරලොව දෙවිඳුන්ට විරුද්ධ ව නපුර කතා කරන්නෝ ය. ඔව්හු නරලොව මිනිසුන්ට අහංකාර ලෙස අණ දෙන්නෝ ය. |
|
| 10 |
|
| එබැවින්, දේව සෙනඟ පවා ඔවුන් වෙත හැරෙන්නෝ ය. ඔවුන් කියන සෑම දෙයක් ම මහා ආශාවෙන් විශ්වාස කරන්නෝ ය. |
|
| 11 |
|
| ඔව්හු කතා කොට, “දෙවිඳාණෝ කෙසේ දන්න සේක් ද? මහෝත්තමයාණන්ට දැනුමක් ඇත්තේ දැ”යි විමසන්නෝ ය. |
|
| 12 |
|
| දුදනන් දෙස බලන්න; ඔවුන්ට විපුල සම්පත් ඇත. ඒවා තවතවත් ඔව්හු වැඩි කරගන්නෝ ය. |
|
| 13 |
|
| මා සිත නිර්මල ව තබාගත්තේත්, පවින් මා දුරු ව සිටියේත් නිකරුණේ ය. |
|
| 14 |
|
| දෙවිඳුනි, ඔබ මට දවස පුරා පීඩා විඳීමට සැලැසූ සේක; ඔබ මට උදයක් උදයක් පාසා දඬුවම් කළ සේක; |
|
| 15 |
|
| “මම මෙසේ කතා කරන්නෙමි”යි ඔවුන් මෙන් කියන්නට මට තිබුණේ ය. එසේ කෙළෙම් නම්, ඔබේ ජනතාවට ද්‍රෝහියෙකු වන්නට මට ඉඩ තිබිණි. |
|
| 16 |
|
| මම මේ ගැටළුව තේරුම්ගන්නට තැත් කෙළෙමි. එහෙත්, මට එය ඉතා දුෂ්කර විය. |
|
| 17 |
|
| ශුද්ධස්ථානයට ඇතුළු වන තෙක් එය මට දුෂ්කර ගැටළුවක් විය. එහි ඇතුළු වූ පසු දුදනන්ගේ අවසන් ඉරණම මම තේරුම්ගතිමි. |
|
| 18 |
|
| ඇත්තට ම ඔබ ඔවුන් විනාශයට පත් කරන සේක. පාතාල ලෝකයට ඔවුන් හෙළාදමන සේක. |
|
| 19 |
|
| ඔව්හු සැණෙකින් වැනසී යන්නෝ ය. තැතිගෙන අන්ත විනාශයට ම වැටී යන්නෝ ය. |
|
| 20 |
|
| ඔව්හු, අවදි වූ විට අමතක වී යන සිහිනයක් බඳු ය. අහෝ සමිඳුනි! ඔබ පිබිදෙන කල ඔව්හු මායා මෙන් මැකී යන්නෝ ය. |
|
| 21 |
|
| මාගේ සිත කලකිරුණේ ය; මට වේදනා දැනෙන්නට විය. |
|
| 22 |
|
| එවිට මම වැටහීමක් නැති මෝඩයෙකු මෙන් වූයෙමි. ඔබ අබිමුව තිරිසනෙකු බවට පත් වුණෙමි. |
|
| 23 |
|
| එහෙත්, නිරතුරු මම ඔබ සමඟ සිටියෙමි. ඔබ මා දකුණතින් අල්ලාගත් සේක. |
|
| 24 |
|
| ඔබේ උවදෙසින් ඔබ මට මඟපෙන්වන සේක. පසු ව ඔබ මට ගරු සම්මාන දී මා පිළිගන්න සේක. |
|
| 25 |
|
| ඔබ හැර සුරලොව මට සිටින්නේ කවරෙක් ද? ඔබ ඇති විට නරලොව කිසිවෙකුට මම ලොල් නොකරමි. |
|
| 26 |
|
| මාගේ ගත සිත කෙමෙන් වැහැරෙයි; එහෙත්, දෙවිඳාණෝ මාගේ ශක්තිය ද උරුමය ද වන සේක. |
|
| 27 |
|
| ඔබ අත්හැර දමන්නෝ සැබැවින් ම වැනසී යන්නෝ ය; ඔබට ද්‍රෝහි වූවන් ඔබ වනසන සේක. |
|
| 28 |
|
| මාගේ පරමානන්දය දෙවිඳුන් හට සමීප ව සිටීම ය. ඔබේ ක්‍රියා සියල්ල ප්‍රකාශ කරන පිණිස මම මහෝත්තම දෙවි ස්වාමීන් සරණ කොටගතිමි. |
|
|
|
|