සිංහල NRSV
|
| 1 |
| පරමෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වසන තැනැත්තේ, සව් බලැති දෙවිඳුන්ගේ සරණෙහි සුරැකි වන්නේ ය. |
| 2 |
| ඔහු සමිඳුන්ට මෙසේ පවසයි: “එතුමාණෝ මාගේ රැකවරණය ය; මාගේ බලකොටුව ය; මාගේ දෙවිඳාණෝ ය. මම එතුමන් කෙරෙහි මාගේ විශ්වාසය තබන්නෙමි.” |
| 3 |
| එතුමාණෝ, කපටින්ගේ මලපත්වලින් ද බියකරු ලෙඩරෝගවලින් ද අප රැකගන්න සේක. |
| 4 |
| සිය පියාපත්වලින් ඔබ ආවරණය කරන සේක; ඒවා ඔබේ රැකවරණ වන්නේ ය. එතුමන්ගේ විශ්වාසවන්තකම ඔබට රැකවරණය ද පලිහ ද වන්නේ ය. |
| 5 |
| රෑ කාලයේ ඇති වන බියට වත්, දවාලේ ඊ පහරින් වන උවදුරට වත් ඔබ බිය නොවන්නෙහි ය. |
| 6 |
| අඳුරේ සැරිසරන වසංගතයට වත්, මද්දහනේ වනසාලන පීඩාවට වත්, ඔබ බිය නොවන්නෙහි ය. |
| 7 |
| දහසක් ඔබේ වම් පසින් ද දස දහසක් ඔබේ දකුණු පසින් ද වැටෙන්නෝ ය. එහෙත්, පීඩාවක් ඔබට නම් ඇති නොවන්නේ ය. |
| 8 |
| ඔබේ ම දෙනෙතින් මේ සියල්ල ඔබ දකින්නෙහි ය. දුදනන්ට වන දඬුවම ඔබ නරඹන්නෙහි ය. |
| 9 |
| ඔබ, සමිඳාණන් තුළ ඔබේ රැකවරණය තැබුවෙහි ය. පරමෝත්තමයාණන් ඔබේ වාසභවනය කරගත්තෙහි ය. |
| 10 |
| එවිට ඔබට කිසි උවදුරක් නොවන්නේ ය; ඔබේ නිවෙසට කිසියම් වසංගතයක් ළං නොවන්නේ ය. |
| 11 |
| ඔබ ගන්න සෑම පියවරක දී ඔබ රක්නා පිණිස, එතුමාණෝ සිය දූතයන්ට අණ දෙන සේක. |
| 12 |
| ඔබ දෙපා, ගල්වල නොහැප්පෙන පිණිස, ඔව්හු සිය’තින් ඔබ උසුලාගන්නෝ ය. |
| 13 |
| ඔබ, සිංහයෙකු වුවත්, සර්පයෙකු වුවත් පාගන්නෙහි ය; ඔබ කේශර සිංහයෙකු වුවත්, මකරෙකු වුවත් පාගා දමන්නෙහි ය. |
| 14 |
| සමිඳාණෝ මෙසේ වදාරන සේක: “ඔහු මට ප්‍රේම කරන්නේ නම්, මම ඔහුට විමුක්තිය දෙන්නෙමි. ඔහු මාගේ නාමය පිළිගන්නේ නම්, මම ඔහු රැකගන්නෙමි. |
| 15 |
| ඔහු මට අයැදින්නේ නම්, මම පිළිතුරු දෙන්නෙමි. දුකේ දී ඔහු සමඟ සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි. |
| 16 |
| දිගායු දී ඔහු සතුටු කරන්නෙමි. මාගේ ගැළවීම මම ඔහුට සපුරා දක්වන්නෙමි.” |
| සටහන් සුරකින්න |
https://beblia.bible:81/BibleAudio/sinhalanrsv/psalms/091.mp3
150
91