|
| 1 |
|
| සමිඳුනි, ඔබ වරදට දඬුවම් දෙන දෙවි කෙනෙකි; ඔබේ උදහස පෙන්නුව මැනව. |
|
| 2 |
|
| ලෝකයේ විනිසකරුවාණෙනි, නැඟිටිනු මැනව; අහංකාර අය හට නියම විපාකය දුන මැනව. |
|
| 3 |
|
| සමිඳුනි, දුදනෝ කොපමණ කල් ජයශ්රීයෙන් උදන් අනන්නෝ ද? තව කොපමණ කල් ජය ගොස කරන්නෝ ද? |
|
| 4 |
|
| අපරාධකාරයෝ තව කොපමණ කල් අහංකාර වන්නෝ ද? ඔව්හු තමන්ගේ අපරාධ ගැන තව කොපමණ කල් වහසි බස් දොඩන්නෝ ද? |
|
| 5 |
|
| සමිඳුනි, ඔව්හු ඔබේ ජනතාව මැඬලන්නෝ ය, ඔබ තෝරාගත් සෙනඟට පීඩා කරන්නෝ ය. |
|
| 6 |
|
| ඔව්හු වැන්දඹුවන් ද අනාථයන් ද නසාදමන්නෝ ය; අප රටේ වසන විදේශීන් මරාදමන්නෝ ය. |
|
| 7 |
|
| “සමිඳුන් හට අප පෙනෙන්නේ නැත; ජාකොබ්ගේ දෙවිඳාණෝ අප ගැන නොසලකන සේකැ”යි ඔව්හු කියන්නෝ ය. |
|
| 8 |
|
| මෝඩයෙනි, තියුණු නැණනුවණ ලබාගැන්මට ඉගෙනගන්න: ආඥානයෙනි, ඔබ කවර දා නැණවත්හු වන්නහු ද? |
|
| 9 |
|
| අපේ කන් මැවූ දෙවිඳුන්ට නෑසෙන්නේ ද? අපට ඇස් දුන් දෙවිඳුන්ට නොපෙනෙන්නේ ද? |
|
| 10 |
|
| විජාතීන්ට දඬුවම් දෙන දෙවිඳාණෝ දඬුවම් නොදෙන සේක් ද? මිනිසාට නැණනුවණ දෙන සමිඳාණෝ මිනිස් සිතුවිලි නොදන්න සේක් ද? |
|
| 11 |
|
|
මිනිසුන්ගේ සිතුවිලි කවරේ ද කියාත්, ඒවා කොපමණ නිරර්ථක ද කියාත් සමිඳාණෝ දන්න සේක.
|
|
| 12 |
|
| සමිඳුනි, ඔබ උවදෙස් දුන් මිනිසා භාග්‍යවන්ත ය; ඔබේ අණපණත් ඔබ ඉගැන්වූ තැනැත්තා භාග්‍යවන්ත ය. |
|
| 13 |
|
| ඔහුගේ විපත්ති දිනවලට පසු ඔහුට ඔබ නිදහස දෙන සේක; එසේ වන්නේ, දුදනන් හට වළක් කණින තුරු ය. |
|
| 14 |
|
| සමිඳාණෝ සිය සෙනඟ ඉවත නොලන සේක; තෝරාගත් සිය සෙනඟ අත් නොහරින සේක. |
|
| 15 |
|
| අධිකරණයෙන් සාධාරණ ලෙස නැවත තීන්දුව එන්නේ ය; එවිට දැහැමි සිත් ඇති සියල්ලෝ එය අනුගමනය කරන්නෝ ය. |
|
| 16 |
|
| දුදනන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද? නපුර කරන්නන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද? |
|
| 17 |
|
| සමිඳාණෝ මට පිහිට නො වූ සේක් නම්, මළවුන්ගේ ලෝකයට විගස යෑමට මට සිදු වන්නට තිබිණි. |
|
| 18 |
|
| “මාගේ පාද ලිස්සන්නේ ය”යි මා කී කල සමිඳුනි, එවිට ඔබේ තිර පෙම මාගේ ආධාරය වූයේ ය. |
|
| 19 |
|
| මා තුළ කරදර හා කණස්සල්ල බහුල වූ කල්හි ඔබ මාගේ සැනසිල්ල වූ සේක; ඔබ මාගේ සිත ප්‍රීතිමත් කළ සේක. |
|
| 20 |
|
| යුක්තිය අයුක්තිය කරවන විනිසකරුවන් සමඟ ඔබේ සබැඳියාවක් නැත. ඔව්හු අයුතු නීතියෙන් නපුරට මඟ පාදන්නෝ ය. |
|
| 21 |
|
| ඔව්හු දැහැමියාගේ ජීවිතයට විරුද්ධ ව කුමන්ත්‍රණය කරන්නෝ ය; නිදොස් තැනැත්තා රහසිගත ව වරදට පත් කරන්නෝ ය. |
|
| 22 |
|
| එහෙත් සමිඳාණෝ, මා උදෙසා බලකොටුවක් වන සේක; මාගේ දෙවිඳාණෝ මට රැකවරණ පර්වතය වන සේක. |
|
| 23 |
|
| එතුමාණෝ ඔවුන්ගේ අදමිටුකමට දඬුවම් කරන සේක. ඔවුන්ගේ නපුරුකම නිසා ඔවුන් නසා වනසාලන සේක. අපේ දෙවි සමිඳාණෝ ඔවුන් විනාශ කරන සේක. |
|
|
|
|