|
| 1 |
|
| තවද, උන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ ද ආරොන් ද නාදාබ් ද අබිහු ද ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන්ගෙන් හැත්තෑදෙනෙකු ද සමිඳාණන් වහන්සේ වන මා වෙත කන්දට නැග, දුරින් සිට නමස්කාර කරන්න. |
|
| 2 |
|
| මෝසෙස් පමණක් මට ළං විය යුතු ය. සෙස්සෝ ළං නොවිය යුත්තාහ. සෙනඟ ද කන්දට නොනැංග යුතු ය”යි වදාළ සේක. |
|
| 3 |
|
| මෝසෙස් ද ඇවිත් සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග සෙනඟට දැන්වී ය. සියලු සෙනඟ ද එක හඬින් උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේගේ ආඥා සියල්ල ම අපි ඉටු කරන්නෙමු”යි කී හ. |
|
| 4 |
|
| ඉන්පසු ඔහු උන් වහන්සේගේ ආඥා සියල්ල ම ලියා තැබී ය. පසු දින අලුයම ඔහු නැඟිට, කන්ද පාමුල පූජාසනයක් ද ඉශ්රායෙල් ගෝත්‍ර දොළොස අනුව ශිලාස්තම්භ දොළහක් ද ඉදි කෙළේ ය. |
|
| 5 |
|
| පසුව ඔහු ඉශ්රායෙල් ජනයා අතරෙන් තරුණයන් යැවී ය. ඔව්හු දවන යාග පූජා හා ගවයන් මරා, සහභාගිකමේ පූජා ද සමිඳාණන් වහන්සේට ඔප්පු කළහ. |
|
| 6 |
|
| මෝසෙස් සතුන්ගේ ලෙයින් දෙකෙන් කොටසක් ගෙන එය බඳුන්වල දැමී ය, ලෙයින් අඩක් පූජාසනය මත ඉස්සේ ය. |
|
| 7 |
|
| පසුව ඔහු ගිවිසුම් පොත රැගෙන සෙනඟට ඇසෙන ලෙස එය කියවී ය. ඔව්හු ද පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙමු”යි කී හ. |
|
| 8 |
|
| එවිට මෝසෙස් ලේ රැගෙන, සෙනඟ මත ඉසිමින්, “මෙය වනාහි සමිඳාණන් වහන්සේ මෙකී සියලු ආඥා ඔබට දෙමින්, ඔබ සමඟ කළ ගිවිසුම ස්ථිර කරන ලේ ය”යි පැවසී ය. |
|
| 9 |
|
| මෝසෙස්, ආරොන්, නාදාබ් සහ අබිහු ද ඉශ්රායෙල්වරුන් අතර මූලිකයන්ගෙන් හැත්තෑදෙනෙක් ද කන්දට නැඟ, |
|
| 10 |
|
| ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ දර්ශනය කළහ. උන් වහන්සේගේ සිරි පා යට නිල් අහස් තලයේ කාන්තිය බඳු නීල මාණික්‍යමය පදික වේදිකාවක් වැනි දෙයක් විය. |
|
| 11 |
|
| එහෙත්, උන් වහන්සේ ඉශ්රායෙල් ජනයා අතර මේ නායකයන්ට අනතුරක් නොකළ සේක. ඔව්හු උන් වහන්සේ දුටු පසු ආහාර පාන අනුභව කළහ. |
|
| 12 |
|
| සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “කන්දට නැඟ මා වෙත පැමිණ මෙහි නැවතී සිටින්න. නුඹ සෙනඟට උගන්වන පිණිස මා ලියූ ආඥා හා අණපනත් අඩංගු ගල් පුවරු මම නුඹට දෙමි”යි වදාළ සේක. |
|
| 13 |
|
| මෝසෙස් නැඟිට තම සේවක ජෝෂුවා සමඟ ශුද්ධ කන්දට නැංගේ ය. |
|
| 14 |
|
| තවද, ඔහු ප්‍රජා මූලිකයන් අමතමින්, “අප යළි ඔබ වෙත පැමිණෙන තෙක් මෙහි බලා සිටින්න. මෙන්න, ආරොන් ද හූර් ද ඔබ සමඟ සිටිති. විසඳීමට ප්‍රශ්නයක් යමෙකුට ඇත්නම් ඔහු ඔවුන් වෙත යා යුතු ය”යි කීවේ ය. |
|
| 15 |
|
| මෝසෙස් ඉන්පසු කන්දට නැංගේ ය. වලාකුළ කන්ද වසාගත්තේ ය. |
|
| 16 |
|
| සීනයි කන්ද මත සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය රැඳී පැවතිණි. වලාකුළ ද දින හයක් එය වසාගති. හත් වන දින උන් වහන්සේ වලාකුළ මැදින් මෝසෙස්ට හඬගැසූ සේක. |
|
| 17 |
|
| ඉශ්රායෙල් ජනයාගේ ඇස් හමුවෙහි සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය ඇවිලෙමින් නඟින ගිනි ජාලාවක් මෙන් දිස් විය. |
|
| 18 |
|
| මෝසෙස් ද වලාකුළ මැදට ගොස් කන්දට නැංගේ ය. ඔහු දවල් හතළිහක් හා රාත්‍රි හතළිහක් කන්දෙහි සිටියේ ය. |
|
|
|
|