|
| 1 |
|
| සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: |
|
| 2 |
|
| “පළමු වන මාසයේ පළමු වන දින දී මණ්ඩපයේ සම්මුඛ මණ්ඩපය සාදා, |
|
| 3 |
|
| එහි ගිවිසුම් කරඬුව තබා තිරයකින් වැසිය යුතු ය. |
|
| 4 |
|
| මේසය ගෙනැවිත්, එය මත පිළිවෙළට තැබිය යුතු දේවල් එය මත තබා, පහන් රුක ද ගෙනැවිත්, එහි පහන් දැල්විය යුතු ය. |
|
| 5 |
|
| දුම් දවන රන් පූජාසනය ද ගිවිසුම් කරඬුව ඉදිරිපිට තබා කූඩාරම් දොරටුවට කඩතුරාව දැමිය යුතු ය. |
|
| 6 |
|
| ඉන්පසු සම්මුඛ මණ්ඩපයේ දොරටුව ඉදිරිපිට දවන යාග පූජාසනය තැබිය යුතු වේ. |
|
| 7 |
|
| සම්මුඛ මණ්ඩපයත්, පූජාසනයත් අතර වතුර භාජනය තබා ඊට වතුර පිරවිය යුතු ය. |
|
| 8 |
|
| වටේට මළුව ද සකස් කොට මළුවේ දොරකඩ කඩතුරාව එල්ලිය යුතු ය. |
|
| 9 |
|
| “ඉන්පසු ආලේප තෛලය ගෙන මණ්ඩපයත්, එහි ඇති සියල්ලත් ආලේප කොට, එයත්, එහි උපකරණ සියල්ලත් කැප කළ යුතු ය. මෙලෙස එය ශුද්ධ එකක් වනු ඇත. |
|
| 10 |
|
| දවන යාග පූජාසනය ද එහි සියලු උපකරණ ද තෙලින් ආලේප කොට, පූජාසනය කැප කළ යුතු වේ. මෙලෙස එම පූජාසනය අතිශුද්ධ එකක් වනු ඇත. |
|
| 11 |
|
| වතුර භාජනයත්, එහි අඩියත් ආලේප කොට එය කැප කළ යුතු වේ. |
|
| 12 |
|
| “ඉන්පසු ආරොන් ද ඔහුගේ පුත්‍රයන් ද සම්මුඛ මණ්ඩපයේ දොරකඩට ගෙනැවිත් ඔවුන්ට ස්නානය කරන්ට සැලැස්විය යුතු ය. |
|
| 13 |
|
| පසුව ආරොන් පූජක නිලයේ මා හට සේවා කරනු පිණිස ඔහුට ශුද්ධ වස්ත්‍ර හඳවා, ආලේප කොට, කැප කළ යුතු වේ. |
|
| 14 |
|
| මෙසේ කළ පසු ඔහුගේ පුත්‍රයන් ගෙනැවිත් ඔවුන්ට කබා හඳවා |
|
| 15 |
|
| ඔවුන්ගේ පියා ආලේප කළ ලෙස, ඔවුන් ද මා හට පූජක නිලයේ සේවා කරනු පිණිස ආලේප කළ යුතු ය. මෙසේ කිරීමෙන් ඔවුන්ගේ සෑම පරපුරක් තුළ ම ඔවුන් හට සදාතන පූජකවරය දෙනු ඇත.” |
|
| 16 |
|
| සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ ප්‍රකාරයට ම මෝසෙස් සියල්ල ඉටු කෙළේ ය. |
|
| 17 |
|
| මෙලෙස ඔවුන් මිසර දේශයෙන් නික්ම පැමිණි දෙ වන අවුරුද්දේ පළමු වන මාසයේ පළමු වන දවසේ දී මණ්ඩපය ඉදි කරන ලදී. |
|
| 18 |
|
| මෝසෙස් ද මණ්ඩපය ඉදි කොට, එහි තවු සවි කර, ලෑලි ගසා, හරස් ලී දමා, එහි කුලුණු කෙළින් කෙළේ ය. |
|
| 19 |
|
| සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ ලෙස ඔහු මණ්ඩපය මතුපිටින් කූඩාරම අතුරා ඊට උඩින් කූඩාරම් ආවරණය තැබී ය. |
|
| 20 |
|
| පසුව ඔහු දස පනතේ ගල් පුවරු කරඬුවට දමා ගිවිසුම් කරඬුවට පොලු යොදා, එය මත කරුණාසනය තැබී ය. |
|
| 21 |
|
| ඉන්පසු ඔහු සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි ගිවිසුම් කරඬුව මණ්ඩපය තුළට ගෙනැවිත්, තිරය එල්ලා ගිවිසුම් කරඬුව වසාදැමී ය. |
|
| 22 |
|
| මණ්ඩපයේ උතුරු පසට තිරයෙන් පිටත ඔහු සම්මුඛ මණ්ඩපය තුළ මේසය තැබී ය. |
|
| 23 |
|
| පසුව සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු මේසය මත සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිදුම් පූප තැබී ය. |
|
| 24 |
|
| සම්මුඛ මණ්ඩපය තුළ මේසය කෙළින් ම මණ්ඩපයේ දකුණු පසට ඔහු පහන් රුක සිටුවා, |
|
| 25 |
|
| සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි උන් වහන්සේ ඉදිරියෙහි පහන් දැල්විය. |
|
| 26 |
|
| සම්මුඛ මණ්ඩපය තුළ තිරය ඉදිරිපිට රන් පූජාසනය තබා |
|
| 27 |
|
| උන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු එය මත සුවඳ ද්‍රව්‍ය දැල්විය. |
|
| 28 |
|
| මණ්ඩපයේ දොරකඩ කඩතුරාව ද එල්ලී ය. |
|
| 29 |
|
| පසුව මෝසෙස් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දවන යාග පූජාසනය තබා එය මත උන් වහන්සේ අණ කළ පරිදි දවන යාග පූජාව සහ ආහාර පූජාව පිදී ය. |
|
| 30 |
|
| සම්මුඛ මණ්ඩපයත්, පූජාසනයත් අතර ඔහු වතුර භාජනය තබා, පවිත්‍ර කරගන්නා පිණිස එහි වතුර වත් කෙළේ ය. |
|
| 31 |
|
| මෝසෙස් සහ ආරොන් ද ආරොන්ගේ පුත්‍රයෝ ද තම අත් පා එහි සෝදාගත්හ. |
|
| 32 |
|
| ඔව්හු සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට හෝ පූජාසනයට ළඟා වන විට හෝ සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි තමන් සෝදාගත්හ. |
|
| 33 |
|
| ඉන්පසු ඔහු සම්මුඛ මණ්ඩපය හා පූජාසනය වට කර මළුව තනා, මළුවේ දොරකඩ කඩතුරාව එල්ලී ය. මෙලෙස මෝසෙස් කර්මාන්ත සියල්ල නිම කෙළේ ය. |
|
| 34 |
|
| එවිට වලාකුළක් බැස සම්මුඛ මණ්ඩපය වසාගත්තේ ය. මණ්ඩපය සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරයෙන් පිරී ගියේ ය. |
|
| 35 |
|
| වලාකුළ මණ්ඩපය වසාගෙන සිටි බැවිනුත්, සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරයෙන් එය පිරී ගිය බැවිනුත් මෝසෙස්ට ඊට ඇතුළු වීමට නොහැකි විය. |
|
| 36 |
|
| ඉශ්රායෙල් ජනයා කඳවුරින් කඳවුරට යන විට, ඔවුන් පිටත් ව ගියේ වලාකුළ මණ්ඩපයෙන් ඔසවනු ලැබූ විට පමණ ය. |
|
| 37 |
|
| එහෙත්, වලාකුළ ඔසවනු නොලැබූවේ නම් එය ඔසවනු ලබන දින තෙක් ඔව්හු නික්ම නොගියහ. |
|
| 38 |
|
| මුළු ඉශ්රායෙල් සෙනඟ කඳවුරින් කඳවුරට යන විට ඔවුන්ට පෙනෙන පරිදි සම්මුඛ මණ්ඩපය මත, දවල් කාලයේ දී සමිඳාණන් වහන්සේගේ වලාකුළ ද රාත්‍රි කාලයේ දී ගින්න ද දෘශ්‍යමාන විය. |
|
|
|
|