|
| 1 |
|
| හොඳ නාමය සුවඳ විලවුන්වලට වඩා මිහිරි ය. උපත ලබන දවසට වඩා මියයන දවස හොඳ ය. |
|
| 2 |
|
| අවමඟුල් ගෙදරකට යාම මඟුල් ගෙදරකට යාමට වඩා හොඳ ය. මන්ද, මරණය හැම මිනිසාගේ ඉරණම වේ. ජීවත් ව සිටින කවුරුනුත් එය සිතට ගත යුතු ය. |
|
| 3 |
|
| සිනාවට වඩා ශෝකය හොඳ ය. මන්ද, එයින් මුහුණ මැලවී ගියත් නුවණ තියුණු වෙයි. |
|
| 4 |
|
| පැණවතාගේ සිත යොමු වන්නේ මරණය දෙසට ය; අඥානයන්ගේ සිත යොමුවන්නේ විනෝදය දෙසට ය. |
|
| 5 |
|
| අඥානයන්ගේ පැසසුමට සවන් දීමට වඩා ප්‍රඥාවන්තයාගේ තරවටුවට සවන් දීම හොඳ ය. |
|
| 6 |
|
| මන්ද, සැළිය යට උදුනෙහි දරකෝටු පුපුරන ශබ්දය යම්සේ ද අඥානයාගේ සිනාවත් එසේ ම ය. එහි කිසි ම තේරුමක් නැත. |
|
| 7 |
|
| බලහත්කාරකම් කිරීමෙන් නුවණැත්තා අනුවණයෙක් වෙයි. අල්ලස් ගැනීමෙන් චරිතය දූෂණය වෙයි. |
|
| 8 |
|
| යම් දෙයක අවසානය එහි ආරම්භයට වඩා හොඳ ය. අහංකාරයට වඩා ඉවසීම උතුම් ය. |
|
| 9 |
|
| කෝප වීමට ඉක්මන් නොවන්න. මන්ද, කෝපය සිතේ තබාගැනීම අනුවණකමකි. |
|
| 10 |
|
| “අතීතය වර්තමානයට වඩා හොඳ ව තිබුණේ මන්දැ”යි ප්‍රශ්න නොකරන්න. එය බුද්ධිමත් ප්‍රශ්නයක් නොවේ. |
|
| 11 |
|
| ජීවත් ව සිටින කවරෙකු වුව ද ප්‍රඥාවන්ත විය යුතු ය. |
|
| 12 |
|
| ධනසම්පතින් ඇති වන ආරක්ෂාව හා සම ආරක්ෂාවක් ප්‍රඥාවෙන් ලැබෙනු ඇත. ප්‍රඥාව ඔබේ ජීවිතය සුරක්ෂිත ව තබයි. දැනුමෙන් ඇති වන වාසිය එය වේ. |
|
| 13 |
|
| දෙවියන් වහන්සේගේ ක්‍රියාවලිය මෙනෙහි කරන්න; උන් වහන්සේ ඇද කළ දේ ඇද අරින්න පුළුවන් කාට ද? |
|
| 14 |
|
| සැප සම්පත් ඇති කල ප්‍රීති වන්න; විපත ඇති කල මෙය කල්පනාවට ගන්න; සැපත හා විපත යන දෙක ම එවන්නේ දෙවියන් වහන්සේ ය. ඉන්පසු කුමක් වේ දැ යි කිසිවෙක් නොදනිති. |
|
| 15 |
|
| නිස්සාර ව ගෙවී ගිය මාගේ ජීවිතයේ දී මම හැම දෙය ම දැනගතිමි. සමහර විට දැහැමි කෙනෙක් මරණයට පත් වේ. දුෂ්ටයෙක් නපුරුකම් කළත්, දිගුකල් ජීවත් වේ. |
|
| 16 |
|
| පමණට වඩා ධර්මිෂ්ඨයෙක් නොවන්න. පමණට වඩා ඥානවන්තයෙක් නොවන්න. එසේ වීමෙන් ඔබ නැසී යන්නේ කුමට ද? |
|
| 17 |
|
| අධික ලෙස දුෂ්ට ව නො සිටින්න. අධික ලෙස අඥානයෙක් ද නොවන්න. අකාලයේ දී නැසී යන්නේ කුමට ද? |
|
| 18 |
|
| මෙහි දී මැද පිළිවෙත අනුගමනය කරන්න. කෙසේ වෙතත්, දේව ගරුබිය ඇති තැනැත්තේ සඵලවනු ඇත. |
|
| 19 |
|
| ප්‍රඥාව වූ කලී, අධිපතීන් දසදෙනෙකු නගරයකට කරන සේවයට වඩා උසස් සේවයක් කිරීමට මිනිසෙකුට ඇති ශක්තියකි. |
|
| 20 |
|
| කිසි ම වරදක් නොකොට, නිරතුරු යහපත ම කරන දැහැමි මිනිසෙක් ලොව කිසි තැනක නැත. |
|
| 21 |
|
| මිනිසුන් කරන හැම දෙයට ම ඔබේ සිත යොමු නොකරන්න. එසේ කළොත් සමහර විට ඔබේ වැඩකරුවා ඔබට දොස් තබන බව ඔබ අසනු ඇත. |
|
| 22 |
|
| මන්ද, ඔබත් නොයෙක් වර අනුන්ට එසේ ම දොස් තැබූ බව ඔබේ සිත දැනගනු ඇත. |
|
| 23 |
|
| මේ සියල්ල මම ප්‍රඥාවෙන් සෝදිසි කර බැලීමි. “මම ප්‍රඥාවන්ත වන්නෙමි”යි කීමි; එහෙත්, එය මා ඉක්මවා තිබුණේ ය. |
|
| 24 |
|
| ජීවිතයේ තේරුම දත හැකි කාට ද? එය අපට තේරුම්ගත නොහැකි තරම් ගැඹුරු ය; අචින්ත්‍යය ද වේ. |
|
| 25 |
|
| මම ප්‍රඥාව ද කාරණාවලට හේතුව ද දැනගැනීමටත්, සෙවීමටත් ගවේෂණය කිරීමටත් සිත යොමු කෙළෙමි. එවිට නපුරුකම අඥානකම බව ද මෝහය උතුම්කම බව ද සනිටුහන් කර ගතිමි. |
|
| 26 |
|
| ස්ත්‍රිය මරණයටත් වඩා භයංකර ය. ඈ මලපතක් වැන්න; ඇගේ සිත දැලක් වැන්න; ඇගේ අත විලංගුවක් වැන්න. දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් වන තැනැත්තේ ඇගෙන් මිදෙයි; එහෙත්, පවිටු අය ඈට අසුවෙති. |
|
| 27 |
|
| කරුණු වටහාගැනීම පිණිස එකක් පාසා විමසමින්, “මම මෙය දැනගතිමි”යි ධර්මදේශකයා කියන්නේ ය. |
|
| 28 |
|
| මට තවමත් සොයාගත නොහැකි වූ, මාගේ බුද්ධිය තවමත් විමසමින් සිටින කාරණයක් ඇත. දහසක් අතර ගරු කටයුතු එක මිනිසෙකු මට සම්බ වූ නමුත්, දහසක් අතර එවැනි ස්ත්‍රියක් නම්, මට සම්බ නොවූවා ය. |
|
| 29 |
|
| මම එක දෙයක් තේරුම් ගතිමි: එනම්, දෙවියන් වහන්සේ මනුෂ්‍යයා චාම්, අවංක කෙනෙකු ලෙස මැවූ සේක; එහෙත්, ඔහු ම තමා අවුල් වියවුල් කෙනෙකු බවට පත් කරගෙන ඇත. |
|
|
|
|