සිංහල SNRV 2018
|
| 1 |
| මම ෂාරොන්හි සෙව්වන්දියක් ය; මිටියාවත්වල මානෙල් මලක් ය. |
| 2 |
| කටු ගස් අතරේ මානෙල් මලක් යම් සේ ද යුවතියන් අතරේ මාගේ සොඳුරියත් එසේ ම ය. |
| 3 |
| වනයේ ගස් අතරේ ජම්බු ගස් යම් සේ ද තරුණයන් අතරේ මාගේ පෙම්වතාත් එසේ ම ය. ඒ රුක් සෙවණෙහි හිඳීමට මම ප්‍රිය කරමි; එහි ඵල මා මුවට ඉමිහිරි ය. |
| 4 |
| ඔහු බොදුන් හලට මා ගෙනායේ ය. මට උඩින් එසෙවු කොඩිය ප්‍රේමය ය. |
| 5 |
| වියළි මිදි පලවලින් මා ශක්තිමත් කරන්න; ජම්බුවලින් මා පණ ගන්වන්න. මන්ද, මම අනුරාගයෙන් ගිලන් වී සිටිමි. |
| 6 |
| ඔහුගේ වමත මාගේ හිස යට ඇත; දකුණතින් ඔහු මා වැළඳගෙන ඇත. |
| 7 |
| ජෙරුසලම් වනිතාවෙනි, ඔබ අප දෙදෙනා අතර ඇති ප්‍රේමයට බාධා නොකරන බවට කුඹුරේ දෙවි දේවතාවන්ගේ නාමයෙන් දිවුරන්න. |
| 8 |
| අන්න, මා පෙම්වතාගේ කට හඬ; කඳු මත පනිමින්, හෙල් පිට නඟිමින් බලන්න එන හැටි විගසින්. |
| 9 |
| මා පෙම්වතා මුවෙකු වැනි ය. ඔහු මුව පැටවෙකු වැනි ය; බිත්තිය අයිනේ සිටගෙන, කවුළුව දෙස බලමින් ඔහු සිටියි, ගරාදි අතරෙන් එබිකම් කරමින්; |
| 10 |
| මා පෙම්වතා මා අමතමින් මට මෙසේ කී ය: “මා සුරතලිය, නැඟිටින්න; මා සොඳුරිය, දැන් එන්න. |
| 11 |
| සිසිර කාලය දැන් පසු වී ඇත; වැසි වරුසා නතර වී ඇත. |
| 12 |
| මිහි පිට මල් පිපී ඇත; ගී ගයනා කාලය පැමිණ ඇත; කොවුල් හඬ දසත පැතිර යත. |
| 13 |
| පැසුණු දිඹුල් පල ඉදෙන විට, මිදිවැල් සුවඳ හමන විට, මා සුරතලිය, නැඟිට එන්න; මා සොඳුරිය, දැන් එන්න. |
| 14 |
| කඳු විවරවල, හෙල් කුහර තුළ මා පරෙවි දෙන, ඔබේ මුහුණ මට දකින්න දෙන්න; ඔබේ කට හඬ මට ඇසෙන්නට දෙන්න; ඔබේ කට හඬ මිහිරි ය; ඔබේ මුහුණ සෝබන ය.” |
| 15 |
| මිදිවැල්වල මල් පිපී ඇති විට ඒවා වනසන සිවලුන්, කුඩා සිවලුන් අල්ලා ගන්න. |
| 16 |
| මාගේ පෙම්වතා මාගේ ය; මම ඔහුගේ ය. ඔහු මානෙල් අතරේ බැටළු රැළ කවයි. |
| 17 |
| මාගේ පෙම්වත, උදේ සුළං හමන තුරු, සෙවණැලි පහ වන තුරු බෙතෙල් කඳු පිට යන මුවෙකු නොහොත් මුව පැටියෙකු මෙන් හැරී එන්න. |
| සටහන් සුරකින්න |
https://beblia.bible:81/BibleAudio/sinhalasnrv/songofsolomon/002.mp3
8
2