|
| 1 |
|
| “දාවිත්ගේ රජ පෙළපත නමැති වෘක්ෂයෙන් රාජාංකුරයක් හටගන්නේ ය. එහි මුල්වලින් අලුත් පැළයක් නැඟී එන්නේ ය. |
|
| 2 |
|
| සමිඳුන්ගේ ආත්මානුභාවය වන ප්රඥාව හා නුවණ ද අනුශාසනා බුද්ධිය හා බලය ද දැනගැනීම හා දේව ගරුබිය ද එතුමාණන් කෙරෙහි පිහිටන්නේ ය. |
|
| 3 |
|
| එතුමන්ට ගරුබිය පෑම එතුමාණන්ගේ ප්රීතිය වන්නේ ය. එතුමාණන් තමන් ඇසට පෙනෙන හැටියට විනිශ්චය කරන්නේ වත්, කනට ඇසෙන හැටියට විනිශ්චය කරන්නේ වත් නැත. |
|
| 4 |
|
|
එතුමාණෝ යුක්ති සහගත ලෙස දුප්පතුන් විනිශ්චය කොට, යටහත් පහත් අයට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන සේක.
එතුමාණෝ තමන්ගේ ආඥා යෂ්ටියෙන් දේශයට පහර දෙන සේක. වචනයකින් දුෂ්ටයෝ මිය යන්නෝ ය.
|
|
| 5 |
|
|
යුක්තිය එතුමාණන්ගේ ඉඟපටිය ද විශ්වාසවන්තකම බඳපටිය ද වනු ඇත.
|
|
| 6 |
|
|
වෘකයා බැටළුවා සමඟ වාසය කරන්නේ ය;
දිවියා එළු පැටවා සමඟ ලගින්නේ ය. සිංහ පැටියා ද වහු පැටියා ද එකට කෑම කන්නෝ ය; කුඩා දරුවෙක් උන් ගෙන යන්නේ ය.
|
|
| 7 |
|
| එළදෙන හා වළසා එක්ව තණ කන්නෝ ය; උන්ගේ පැටව් එකට ලගින්නෝ ය. සිංහයා හරකා මෙන් පිදුරු කන්නේ ය. |
|
| 8 |
|
| කිරි දරුවා නාගයාගේ තුඹස පිට සෙල්ලම් කරන්නේ ය. සිඟිති දරුවා පොළඟාගේ ගුල පිට අත තබන්නේ ය. |
|
| 9 |
|
|
සමිඳාණන් වහන්සේගේ ශුද්ධ කන්දේ සීමාව තුළ කිසි නපුරක් වත්, අනතුරක් වත් නොවන්නේ ය.
මුහුද, ජලයෙන් පිරී තිබෙන්නාක් මෙන් සමිඳාණන් වහන්සේ පිළිබඳ දැනගැන්මෙන් පොළොව පිරී යන්නේ ය.”
|
|
| 10 |
|
| දාවිත් රජුගේ වංශයෙන් උද්ගත වන රජතුමා ජාතීන් හට සංඥාවක් වන කාලය පැමිණෙන්නේ ය. ජාතීහු එතුමන් සොයා යන්නෝ ය; එතුමන්ගේ වාසභවනය මහිමයෙන් පිරී යන්නේ ය. |
|
| 11 |
|
| ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ අසිරියාවේ ද මිසරයේ ද පත්රෝසේ ද එතියෝපියාවේ ද ඒලාමේ ද ෂීනාරේ ද හමාතේ ද මුහුදේ දිවයින්වල ද ඉතිරි වූ සිය පිරිස ආපසු ගෙනෙන්නට සිය බලය නැවත මෙහෙයවන සේක. |
|
| 12 |
|
| සමිඳාණෝ, විසිරී ගොස් සිටින ඉශ්රායෙල් හා ජුදා සෙනඟ පොළොවේ සතර කොනින් ආපසු එක් රැස් කරන බවට ජාතීන් ඉදිරියෙහි සංඥාවක් ඔසවන සේක. |
|
| 13 |
|
| ඉශ්රායෙල් ජුදාට ඊර්ෂ්යා කරන්නේ වත්, ජුදා ඉශ්රායෙල්ට සතුරුකම් කරන්නේ වත් නැත. ඉශ්රායෙල්හි ඊර්ෂ්යාව පහ ව යන්නේ ය. ජුදාට පීඩා කරන්නෝ විනාශ කරනු ලබන්නෝ ය. |
|
| 14 |
|
| ඔව්හු එකතු වී බටහිර වසන පිලිස්තිවරුන්ට පහර දෙන්නෝ ය; නැගෙනහිර වසන සෙනඟ කොල්ල කන්නෝ ය. ඔව්හු ඒදොම් සහ මෝවබ් ජාතීන් ජයගන්නෝ ය. අම්මොන් වැසියොත් ඔවුන්ට කීකරු වන්නෝ ය. |
|
| 15 |
|
|
සමිඳාණෝ නයිල් ගඟේ වරාය සහමුලින් ම වියළී යන්න සලස්වන සේක.
එතුමාණෝ යුප්රටීස් ගඟ හරහා සිය අත ඔසවා, වියළි සුළඟක් එවා, එය කුඩා දිය පාරවල් හතකට බෙදන සේක. එවිට සෙනඟ ගොඩබිම යන්නාක් මෙන් එයින් එගොඩ වන්නෝ ය.
|
|
| 16 |
|
| ඉශ්රායෙල් සෙනඟට මිසරයෙන් පිට වන්න මඟ සැලසුණාක් මෙන් අසිරියාවේ ඉතිරි පිරිසටත් ඒ රටෙන් පිට වන්න මහා මාවත් ඇති වන්නේ ය. |
|
|
|
|