|
| 1 |
|
| දර්ශන මිටියාවත පිළිබඳ දේව ප්රකාශනය මෙසේ ය: වැරදී ඇත්තේ කුමක් ද? නගරයේ සියලු සෙනඟ පියසි උඩට නැඟී උත්සව පවත්වන්නේ මන් ද? |
|
| 2 |
|
| මුළු නගරය ඔල්වර හඬින් ද ඝෝෂාවෙන් ද කලබලයෙන් ද පිරී ඇත. මේ යුද්ධයේ දී මැරුම් කෑ අය මැරුණේ කඩුවෙන් හෝ සටනේ දී හෝ නොවේ. |
|
| 3 |
|
| නුඹලාගේ නායකයෝ සියල්ලෝ ම පලා ගියහ. ඔව්හු එක ඊතලයක් වත් විදින්න පෙර අල්ලාගනු ලැබූ හ. එඩිතර ම අය දුර පලා ගිය නමුත්, සියල්ලෝ ම සිරකරුවන් මෙන් අල්ලාගන්නා ලදහ. |
|
| 4 |
|
| මාගේ සෙනඟ මෙපමණ ගණනක් විනාශ වී ඇති බැවින් දැන් මට තනි ව ම හඬා වැලපෙන්න ඉඩ හරින්න. මා සනසන්න උත්සාහ නොකරන්න. |
|
| 5 |
|
| මේ වනාහි සව් බලැති මහෝත්තම දෙවි ස්වාමීන් විසින් අප පිට පමුණුවන ලද දර්ශන මිටියාවතෙහි කැළඹීම් ද පරාජය ද වියවුල් ද ඇති වන කාලයක් ය. නගරයේ පවුරු බිඳදමා ඇත. පිහිට පතා මොරගැසීම් දෝංකාරය කඳු අතරින් ඇසේ. |
|
| 6 |
|
| ඒලාම් රටේ හේවායෝ දුනු හී ඇති ව, රථ හා අසුන් පිට නැඟී ආහ. කීර් රටේ හේවායෝ තමන්ගේ පලිස් සූදානම් කරගත්හ. |
|
| 7 |
|
| ජුදාවේ ඉතා සාරවත් මිටියාවත් යුද්ධ රථවලින් පිරී තිබිණි. අසරුවෝ ජෙරුසලමේ දොරටුව ඉදිරියෙහි සිටියහ. |
|
| 8 |
|
| ජුදාවේ බලකොටු සියල්ල වැටිණි. එසේ වූ විට නුඹලා ‘ආරණ්‍ය ගෘහය’ නම් ගබඩාවෙන් අවි ආයුධ ගෙනාවහු ය. |
|
| 9 |
|
| ජෙරුසලමේ පවුරු කැඩී බිඳී තිබූ තැන් නුඹලා සටහන් කරගත්තහු ය. පහළ පොකුණෙන් වතුර රැස් කරගත්තහු ය. |
|
| 10 |
|
| නුඹලා ජෙරුසලමේ තිබූ සියලු ගෙවල් ගණන් කොට නගරයේ පවුරු අලුත් වැඩියා කිරීමට ඒ ගෙවල් සමහරකින් ගල් ලබාගන්න පිණිස ඒවා බිඳදැමුවහු ය. |
|
| 11 |
|
| පරණ පොකුණෙන් ගලා එන වතුර රඳවා ගැනීමට නුඹලා බිත්ති දෙක අතර ජලාශයක් තනාගත්තහු ය. එහෙත්, නුඹලා මේ සියල්ල මීට බොහෝ කලකට පෙර සකස්කර, ඒ අයුරින් සිදු වන්න සැලැස්වූ දෙවියන් වහන්සේ සැලකුවේ නැත. |
|
| 12 |
|
| ඒ නිසා සව් බලැති දෙවි සමිඳාණෝ හැඬීමටත්, වැලපීමටත්, ගෝණි රෙදි ඇඳීමටත්, හිස බූගෑමටත් නුඹලා කැඳෙවු සේක. |
|
| 13 |
|
|
ඒ වෙනුවට නුඹලා ප්‍රීති සන්තෝෂ වූවහු ය.
කෑම සඳහා ගව බැටළු සතුන් මරා, මිදියුස පානය කළහු ය. “අපි කමු, බොමු. මන්ද, හෙට අපි මැරෙන්නෙමු”යි නුඹලා කීවහු ය.
|
|
| 14 |
|
| සව් බලැති දෙවි සමිඳාණෝ මට කතා කොට, “ජීවිතාන්තය දක්වා නුඹේ මේ අපරාධ කමා නොකරන බව සව් බලැති දෙවි සමිඳාණන් වන මම නුඹලාට කියමි”යි වදාළ සේක. |
|
| 15 |
|
| සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මට කතා කොට, “රාජගෘහාධිකාරී ෂෙබ්නා වෙත ගොස් මෙසේ කියන්න මට නියම කළ සේකැ”යි දන්වන්න. |
|
| 16 |
|
| “නුඹ කවරෙක් දැ යි සිතාගන්නෙහි ද? මෙහි නුඹට ගල් පර්වත බෑවුමක සොහොනක් කපා ගැනීමට ද නුඹට ම තැනක් සූදානම් කර ගැනීමට ද නුඹට ඇති අයිතිය කුමක් ද? |
|
| 17 |
|
| නුඹ වැදගත් කෙනෙකු වුවත් සමිඳාණන් වහන්සේ නුඹ තදින් අල්ලාගෙන එක වර ම පහතට හෙළන සේක. |
|
| 18 |
|
| උන් වහන්සේ නුඹ ගුලිකර බෝලයක් මෙන් විශාල දේශයකට විසිකර දමන සේක. එහි දී නුඹ මහා ආඩම්බරයෙන් තැකූ යුද්ධ රථ අසල නසින්නෙහි ය. නුඹේ ස්වාමියාගේ වංශයට නුඹ නින්දාවකි. |
|
| 19 |
|
| සමිඳාණන් වහන්සේ නුඹේ නිලයෙන් නුඹ පහකර නුඹේ උසස් තත්ත්වයෙන් නුඹ පහතට හෙළාදමන සේක.” |
|
| 20 |
|
| සමිඳාණන් වහන්සේ ෂෙබ්නාට මෙසේ වදාළ සේක: “එසේ සිදු වූ විට හිල්කියාගේ පුත්‍ර වූ මාගේ මෙහෙකරු වන එලියාකිම්ට මම අඬගසන්නෙමි. |
|
| 21 |
|
| නුඹේ නිල සළුව ඔහුට හඳවා, නුඹේ පටිය ඔහුගේ ඉඟටියේ බැඳ නුඹේ ආධිපත්‍යය මම ඔහුට පවරා දෙමි. ඔහු ජෙරුසලමේ සෙනඟටත්, ජුදාවේ වංශයටත් පියකු මෙන් වනු ඇත. |
|
| 22 |
|
| දාවිත්ගේ වංශයේ නිල යතුරු ඔහුට දෙනු ලබන්නේ ය. ඔහු අරින දේ කිසිවෙක් නොවසන්නේ ය. ඔහු වසන දේ කිසිවෙක් නාරින්නේ ය. |
|
| 23 |
|
| මම සවිකළ ඇණයක් මෙන් ඔහු සිය තනතුරෙහි තිරසර ලෙස පිහිටුවන්නෙමි. ඔහුගේ මුළු වංශයට ඔහු ගෞරවයක් වන්නේ ය. |
|
| 24 |
|
| “ඔහුගේ ඥාතීහු ද ඔහුගේ භාරය යටතේ සිටින සියලු දෙනා ද ඔහුට බරක් වන්නෝ ය. ඇණයක එල්ලා ඇති හැලි වළං මෙන් ඔවුන් ඔහුගේ ඇඟේ එල්ලෙනු ඇත. |
|
| 25 |
|
| එසේ වූ විට ස්ථිර ව සවිකළ ඇණය බුරුල් වී වැටෙන්නේ ය. එහි එල්ලා තිබුණු සියල්ල ගැළවී වැටී යන්නේ ය. එහි අවසානයත් එය ම වන්නේ ය. මෙසේ වදාළේ සමිඳාණන් වහන්සේ ය.” |
|
|
|
|