|
| 1 |
|
| සමිඳාණෝ පොළොව විනාශ කොට, එය මරුකතරක් කරන සේක. පොළොව පෙරළාදමා, එහි වැසියන් විසුරුවා හරින සේක. |
|
| 2 |
|
| සෙනඟට මෙන් පූජකයාටත්, වැඩකාරයාට මෙන් ඔහුගේ ස්වාමියාටත්, වැඩකාරිට මෙන් ඇගේ ස්වාමි දූටත් මිලයට ගන්නාට මෙන් විකුණන්නාටත්, ණය දෙන්නාට මෙන් ණය ගන්නාටත්, පොළියට දෙන්නාට මෙන් පොළියට ගන්නාටත් එසේ සිදු වන්නේ ය. |
|
| 3 |
|
| පොළොව සුණු විසුණු වී සහමුලින් ම පාළු වන්නේ ය. මෙසේ වදාළේ සමිඳාණෝ ය. |
|
| 4 |
|
| මුළු පොළොව මැලවී, වියළී යන්නේ ය; මුළු ලෝකය අබල දුබල වන්නේ ය; අහසත්, පොළොවත් ජරාවාසයක් වන්නේ ය. |
|
| 5 |
|
| සෙනඟ විසින් දෙවිඳුන්ගේ නීති නියෝග හා අණපණත් ද ගිවිසුම ද කඩ කරන ලද බැවින් පොළොව දූෂණය වී ඇත. |
|
| 6 |
|
| එබැවින් දෙවිඳුන් පොළොව විනාශ කිරීමට සාපයක් එවා ඇත. ඔව්හු තමන් කළ දේට දැන් වන්දි ගෙවති. ජීවත් වී සිටින සෙනඟගේ ගණන එන්න එන්න අඩුවේගෙන යයි. ඉතිරි වන්නේ ටික දෙනෙකි. |
|
| 7 |
|
| මිදිවැල වියළී යයි; මිදියුස එන්න එන්න හීන වේ; කලින් ප්‍රීතියෙන් සිටි අය දැන් දුකින් කල් යවති. |
|
| 8 |
|
| ඔවුන්ගේ ද වීණා හා බට නළාවල ද ප්‍රීති නාදය දැන් නැවතී ඇත. |
|
| 9 |
|
| ගී ගයමින් මිදිරස බීමක් තවත් නැත. මද්‍යපානය බොන්නන්ට එය දැන් තිත්ත වී ඇත. |
|
| 10 |
|
| නගරයේ සියලු දේ අවුල් ජාලාවකි. කිසිවකු ඇතුළු නොවන පිණිස සියලු ගෙවල් වසාදමා තිබේ. |
|
| 11 |
|
| මිනිස්සු වීථිවල මුද්‍රික පානය ඉල්ලා කෑගසති. ප්‍රීතිය සදහට ම අතුරුදහන් වී ඇත. දේශයෙන් සන්තෝෂය පහ වී ගොස් ඇත. |
|
| 12 |
|
| නගරයේ ඉතිරි ව ඇත්තේ නටබුන් පමණකි. එහි දොරටු කඩා වැටී ඇත. |
|
| 13 |
|
| මුළු ලොවේ සෑම ජාතීන් අතර මෙසේ සිදු වන්නේ ය. එය හරියට ඔලීව ගස්වල ද මිදි වැල්වල ද පල කඩා නිමකළ පසු අවසාන වූ කාලය වැනි ය. |
|
| 14 |
|
| ඉතිරි වන අය ප්‍රීතියෙන් ගී ගයන්නෝ ය. බටහිර සිටින අය සමිඳුන්ගේ මහිමතාව ප්‍රකාශ කරති. |
|
| 15 |
|
| මුහුදු දිවයින්වල වෙසෙන සෙනඟ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුන්ට ප්‍රශංසා කරති. |
|
| 16 |
|
| පොළොවේ සීමාන්තවලින් ධර්මිෂ්ඨ දේශය වන ඉශ්රායෙල් සම්බන්ධයෙන් නඟන ප්‍රශංසා ගී අපට ඇසෙන්නේ ය. එහෙත්, මම කතා කොට, “මට බලාපොරොත්තුවක් නැත; මම ක්ෂය වෙමි; ද්‍රෝහියෝ මා පාවා දෙති. ඔවුන්ගේ ද්‍රෝහිකම දෙගුණ තෙගුණ වේ ය”යි කියමි. |
|
| 17 |
|
| මිහි පිට ජනයෙනි, භයානක දේ ද බොරුවළවල් ද මලපත් ද නුඹලා අසුකරගන්න බලා සිටියි. |
|
| 18 |
|
| භයානක දෙයින් බේරෙන්න සොයන තැනැත්තා බොරු වළක වැටෙන්නේ ය. බොරු වළෙන් ගොඩවන්නා මලපතට අසුවන්නේ ය. මන්ද අහසේ කවුළු විවෘත ව ඇත. පොළොවේ අත්තිවාරම කම්පා වන්නේ ය. |
|
| 19 |
|
| පොළොව දෙදරා, සිඳී, බිඳී යන්නේ ය; පොළොව පැළී යන්නේ ය; පොළොව කම්පා වෙමින් චලනය වන්නේ ය; |
|
| 20 |
|
| පොළොව බේබද්දෙකු මෙන් වැනෙමින්, කුණාටුවකට අසු වූ පැල්පතක් මෙන් සැලෙමින් පවතින්නේ ය. පොළොව පාපයෙන් බර වී ඇත. එය කිසි කලක ගොඩගන්නට බැරි වන ලෙස බිඳී වැටෙන්නේ ය. |
|
| 21 |
|
| උඩ සිටින, ඉහළ අහසේ බල මණ්ඩලවලටත්, පොළොවේ සිටින පාලකයන්ටත්, සමිඳුන් දඬුවම් කරන කාලයක් පැමිණෙන්නේ ය. |
|
| 22 |
|
| හිරකාරයන් වළක හිරකොට තබන්නාක් මෙන් දෙවිඳාණෝ රජවරුන් සිරගත ව තබන සේක. දීර්ඝ කාලයකට පසු ඔවුන්ට දඬුවම් කරන්න එන සේක. |
|
| 23 |
|
| එවිට, හඳ අඳුරු වන්නේ ය; ඉර නොබැබළෙන්නේ ය. මන්ද, සව් බලැති සමිඳුන් රජ වන බැවිනි. එතුමාණෝ ජෙරුසලමේ සියොන් කන්ද මුදුනේ, රජකම් කරන සේක. එතුමන්ගේ තේජාලංකාරය ප්‍රජා මූලිකයන් අබිමුව ප්‍රකාශ වන්නේ ය. |
|
|
|
|