|
| 1 |
|
| ධර්මිෂ්ඨයා මිය යන්නේ ය, එහෙත් කිසිවෙක් එය සිතට නොගන්නේ ය. බැතිමත්හු අභාවයට යති. එහෙත් කිසිවෙක් එය තේරුම් නොගනිති. මන්ද, විපත පැමිණෙන්න පෙර ඔව්හු ගෙනයනු ලබති. |
|
| 2 |
|
| අවංකකමින් ජීවත් වන අය මරණයේ දී ශාන්තියට පිවිස විවේක සුවයෙන් පසු වෙති. |
|
| 3 |
|
| එහෙත්, මායාකාරියගේ පුත්‍රයන් වන, පාරදාරිකයන්ගේත්, වේශ්‍යාවන්ගේත් වංශය වන නුඹලා, මෙහි පැමිණෙන්න. |
|
| 4 |
|
| නුඹලා කට අයා, දිව දික්කර, කවටකම් කරන්නේ කාට විරුද්ධ ව ද? නුඹලා කැරලිකාරකමේ දරුවන් ද වංචනික වංශයක් ද නොවන්නහු ද? |
|
| 5 |
|
| ආලෝන ගස් අතරේත්, සියලුම අතු පතර ඇති ගස් යටත් නුඹලා කම් සැපෙහි යෙදෙන්නහු ය. මිටියාවත්හි හා පර්වත විවරයන්හි නුඹලා දරුවන් පූජා කරන්නහු ය. |
|
| 6 |
|
| නමස්කාර කරන පිණිස නුඹලා මිටියාවතේ ගල් ගෙන ඒවාට පාන පූජා වගුරුවා, ආහාර පූජා කරන්නහු ය. නුඹලා මේ දේවල් කරද්දී මම සතුටු වන්නෙම් ද? |
|
| 7 |
|
| නුඹලා පූජා ඔප්පු කරනු පිණිස උස් කඳුවලට ගොස් එහි කම් සැපෙහි යෙදෙන පිණිස යහන් පිළියෙළ කරන්නහු ය. |
|
| 8 |
|
| දොරටත්, උළුවස්සටත් පිටුපසින් නුඹලාගේ දේව පිළිම නුඹලා තබාගන්නහු ය. නුඹලා මා අත් හැර, නුඹලාගේ ඇඳුම් ගලවා, කුලියට ලබා ගත් පෙම්වත් අය සමඟ විශාල යහන්වලට වී කම් සැපෙහි යෙදෙන්නහු ය. |
|
| 9 |
|
| නුඹලා සුවඳ ද්‍රව්‍ය ගාගෙන මොලෙක් දෙවියාට නමස්කාර කරන පිණිස යන්නහු ය. නමස්කාර කිරීමට දෙවිවරුන් සොයාගන්න පිණිස නුඹලා පණිවුඩකාරයන් දස දෙස, පාතාල ලෝකයට පවා යවන්නහු ය. |
|
| 10 |
|
| අන් දෙවිවරුන් සොයාගැනීමටත් නුඹලා වෙහෙස වන්නහු ය. එහෙත්, නුඹලාගේ සෙවීම අත්නාරින්නහු ය. නුඹලා නව පණක් ලබාගත් බැවින් නුඹලා දුර්වල නොවන්නහු යයි සිතන්නහු ය. |
|
| 11 |
|
| සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නුඹලා බොරු කීවේත්, මා සහමුලින් ම අමතක කළේත් කවරෙකුට බියෙන් ද? නුඹලා මට බිය නොවන්නේ මා බොහෝ කලක් නිශ්ශබ්ද ව සිටි නිසා ද? |
|
| 12 |
|
| නුඹලාගේ ඔය දැහැමිකමත්, නුඹලාගේ ක්‍රියාත් මම හෙළි කරන්නෙමි. නුඹලාගේ දේව රූපවලින් නුඹලාට පිහිටක් නොවේ. |
|
| 13 |
|
| නුඹලා මොරගසන විට නුඹලා රැස්කරගත් ඒ දේව රූප නුඹලාට පිහිට වේ වා! ඔව්හු සුළඟට ගසාගෙන යනු ලබති. හුස්මකින් පහ ව යන්නෝ ය. එහෙත්, මා කෙරෙහි විශ්වාස කරන අය දේශය අත් කරගෙන, මාගේ ශුද්ධ කන්ද උරුම කරගන්නෝ ය.” |
|
| 14 |
|
| “මහා මඟක් සාදන්න; මාගේ සෙනඟගේ බාධා ඉවත් කොට, මාර්ගය පහදා, සමතලා කර සූදානම් කරන්නැ”යි කියන හඬක් ඇසෙන්නේ ය. |
|
| 15 |
|
| උසස්, උදාර, සදාකාලික ශුද්ධ නාමය දරන තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක: “යටහත් පහත් අය පණ ගන්වන පිණිසත්, තැළුණු බිඳුණු අයගේ සිත් ධෛර්යවත් කරන පිණිසත් මම උසස්, ශුද්ධස්ථානයේ වාසය කරන අතර, යටහත් පහත්, තැළුණු බිඳුණු සිත් ඇති අය සමඟ ද වාසය කරමි. |
|
| 16 |
|
| මා කෙරෙන් ජීවනදායක ආත්මය නික්මෙන බැවින්, මා ජීවන හුස්ම මවා ඇති බැවින් මා තවදුරටත් මාගේ සෙනඟ සමඟ විවාද කරන්නේ වත්, සෑම කල් ම උදහස් වී සිටින්නේ වත් නැත. |
|
| 17 |
|
| ඔවුන්ගේ තණ්හාව හා වරද නිසා මම උදහස් වීමි. ඒ නිසා මාගේ කෝපයෙන් මම ඔවුන්ට දඬුවම් කොට, ඔවුන් අත්හළෙමි. එහෙත්, ඔව්හු මුරණ්ඩු ව, හිතුමතේ ජීවත් වූ හ. |
|
| 18 |
|
| ඔවුන් ක්‍රියා කර ඇති අන්දම මම දිටිමි. එහෙත්, මම ඔවුන්ට සුවය දෙමි. මම ඔවුන්ට මඟපෙන්වා, පිහිට වී, ශෝක වන්නන් සිනා රැල්ලෙන් සනසන්නෙමි. |
|
| 19 |
|
|
ළඟ හෝ දුර හෝ වේ වා, සියලු දෙනාට, ‘ශාන්ති වේ වා! ශාන්ති වේ වා!
මම ඔවුන්ට සුවය දෙමි’යි සමිඳාණන් වන මම කියමි.
|
|
| 20 |
|
| එහෙත්, දුෂ්ටයෝ වනාහි කැළඹී ඇති කුණු කසළ සෝදාගෙන, ගොඩට නොනැවතී ගලා එන, රළ පතර ඇති මුහුද හා සමාන වෙති. |
|
| 21 |
|
|
‘දුෂ්ටයන්ට ශාන්තියක් නැතැ’යි මාගේ දෙවිඳාණෝ වදාරන සේක.”
|
|
|
|
|