සිංහල NRSV
|
| 1 |
| මේ වනාහි බෙන්ජමින් වංශයට අයිති අනාතොත්හි විසූ පූජකයන්ගෙන් එක් කෙනෙකු වූ හිල්කියාගේ පුත් ජෙරමියාගේ පණිවුඩය ය. |
| 2 |
| ආමොන්ගේ පුත් ජුදාහි රජ වූ ජොෂියාගේ රාජ්‍ය කාලයේ දහතුන් වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ජෙරමියා වෙත පැමිණියේ ය. |
| 3 |
| ජොෂියාගේ පුත් ජෙහෝයාකිම් ජුදාහි රජ ව සිටි කාලයේ දී ද ජොෂියාගේ පුත්, ජුදාහි රජ වූ ශෙදෙකියාගේ එකොළොස් වන අවුරුද්දේ පස් වන මාසයේ ජෙරුසලමේ වැසියන් විප්‍රවාසයට ගෙනයනු ලැබූ දවස දක්වා ද සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ජෙරමියා වෙත පැමිණියේ ය. |
| 4 |
| සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: |
| 5 |
| “මා නුඹ කුසෙහි පිළිසිඳගැනීම ඇති කරන්නටත් පෙර පටන් මම නුඹ හඳුනාගතිමි. නුඹේ උපතට පෙර, මම නුඹ කැප කෙළෙමි; ජාතීන් හට දිවැසිවරයෙකු ලෙස මම නුඹ පත් කෙළෙමි.” |
| 6 |
| එවිට මම, “මහෝත්තම ස්වාමීන් වන දෙවියන් වහන්ස, මා ළා බාලයෙකු වන බැවින් මම කතා කරන්නට නොදනිමි”යි කීවෙමි. |
| 7 |
| එහෙත්, සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “නුඹ බාලයෙක් යයි නොකියන්න. මා නුඹ යවන සියල්ලන් වෙත යන්න. මා නුඹට අණ කරන සියල්ල පවසන්න. |
| 8 |
| ඔවුන්ට බිය නොවන්න. මන්ද, නුඹ ගළවන්නට මම නුඹ සමඟ සිටිමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.” |
| 9 |
| එවිට සමිඳාණන් වහන්සේ සිය අත දිගු කොට, මාගේ මුඛය ස්පර්ශ කරමින් මට මෙසේ වදාළ සේක: “මෙන්න, මාගේ පණිවුඩය නුඹේ මුඛයෙහි තැබීමි. |
| 10 |
| උදුරන්නට හා කඩාදමන්නටත්, නැති කරන්නට හා හෙළාදමන්නටත්, ගොඩනඟන්නට හා සිටුවන්නටත් ජාතීන් හා රාජ්‍යයන් කෙරෙහි නුඹට බලය දී අද මම නුඹ පත් කෙළෙමි.” |
| 11 |
| එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට, “ජෙරමියා, නුඹට පෙනෙන්නේ කුමක් දැ”යි ඇසූ සේක. “කලින් පිබිදෙන කොට්ටම්බා ගසක් මට පෙනේ ය”යි මම පිළිතුරු දිනිමි. |
| 12 |
| සමිඳාණන් වහන්සේ කතා කරමින්, “නුඹ දුටු දේ හරි ය. මන්ද, මාගේ වචනය ඉටු කරන පිණිස මම කලින් බලා සිටිමි”යි වදාළ සේක. |
| 13 |
| එවිට සමිඳාණන් වහන්සේ දෙ වන වරටත් මට කතා කොට, “නුඹට පෙනෙන්නේ කුමක් දැ”යි ඇසූ සේක. “උතුරු දෙසින් මේ දෙසට කට හැරී ඇති උතුරන හැළියක් මට පෙනේ”යයි මම පිළිතුරු දිනිමි. |
| 14 |
| එවිට සමිඳාණන් වහන්සේ කතා කොට මට මෙසේ වදාළ සේක: “මේ දේශයේ සියලු වැසියන් පිට උතුරු දෙසින් විපාක කඩා වැටෙන්නේ ය. |
| 15 |
| මා කියන දේට සවන් දෙන්න. උතුරු දිග රට රාජ්‍යවල සියලු වංශවලට මම අඬගසන්නෙමි. ඔවුන්ගේ රජවරු පැමිණ ජෙරුසලමේ දොරටු අසල ද නගරය වට කළ පවුර අවට ද ජුදාහි සෙසු නගර තුළ ද සිහසුන් පිහිටුවා ගන්නෝ ය. |
| 16 |
| ඔවුන් මා අත්හැර, අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කර, සිය අත්වලින් සාදාගත් දේව රූපවලට නමස්කාර කළ බැවින්, ඔවුන්ගේ සියලු පාපවලට විරුද්ධ ව මාගේ විනිශ්චයයන් ප්‍රකාශ කරන්නෙමි. |
| 17 |
| ඒ නිසා, නුඹ ධෛර්යවත් වී ගොස් මා නුඹට අණ කරන සියල්ල ඔවුන්ට කියන්න. ඔවුන් ඉදිරියෙහි දී මා නුඹ නොකලඹන පිණිස දැන් ඔවුන් ගැන නොකැළඹී සිටින්න. |
| 18 |
| මෙන්න, මුළු දේශයට විරුද්ධ ව ද ජුදාහි රජවරුන්ටත්, අධිපතීන්ටත්, පූජකයන්ටත්, දේශයෙහි සෙනඟටත් විරුද්ධ ව ද අද නුඹ සුරක්ෂිත නගරයක් ද යකඩ කුළුණක් ද ලෝකඩ පවුරක් ද මෙන් ශක්තිමත් කෙළෙමි. මන්ද, මම නුඹ සමඟ සිටින්නේමි. |
| 19 |
| නුඹට විරුද්ධ ව ඔව්හු සටන් කරන්නෝ ය. එහෙත්, නුඹ පරාජය කරන්නට ඔවුන්ට නොහැකි ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.” |
|
| සටහන් සුරකින්න |
https://beblia.bible:81/BibleAudio/sinhalanrsv/jeremiah/001.mp3
52
1