|
| 1 |
|
| එම්බා ඉශ්රායෙල් වංශය, සමිඳාණන් වහන්සේ ඔබ හැමට වදාරන වචන අසන්න. |
|
| 2 |
|
| සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “විජාතීන්ගේ මාර්ගය අනුගමනය නොකරන්න; අහසේ ලකුණුවලට ජාතීන් කැළඹෙන නමුත්, නුඹලා ඒවාට නොකැළඹෙන්න. |
|
| 3 |
|
| ජාතීන්ගේ චාරිත්‍ර නිෂ්ඵල ය. විජාතීන්ගේ කැපූ රූප පුහු දේවල් ය. ඒවා වනයේ ගසකින් කපාගත් ලී පමණකි. ලී කැටයම් කරුවෙක් ඒවා සිය ආයුධවලින් නෙළයි. |
|
| 4 |
|
| ඔහු ඒවා රන් රිදීයෙන් සරසා මිටියෙන් ඇණ ගසා, නොසෙල්වෙන ලෙස සවි කරයි. |
|
| 5 |
|
| ඒවා වනාහි කැකිරි වත්තක සිටුවා ඇති, කතා කරන්නට බැරි පඹයන් වැනි ය. ඒවාට ඇවිදින්නට බැරි නිසා ඔසවාගෙන යා යුතු ය. ඒවාට බිය නොවන්න; මන්ද, නුඹලාට අනතුරක් කරන්න වත් යහපතක් කරන්න වත් ඒවාට බැරි ය.” |
|
| 6 |
|
| සමිඳුනි, ඔබට සම කිසිවෙක් නැත. ඔබ පරාක්‍රමවත් ය. ප්‍රබලතාවෙන් ඔබේ නම උතුම් ය. |
|
| 7 |
|
|
ජාතීන්ගේ නිරිඳාණෙනි, ඔබට බිය නොවන්නේ කවරේ ද?
බිය විය යුත්තේ ඔබට පමණ ය. ජාතීන් අතර ද සියලු රාජ්‍යයන්හි ද සියලු පැණවතුන් අතර ද ඔබට සම කිසිවෙක් නැත.
|
|
| 8 |
|
| ඔව්හු හැම දෙන අඥාන ය, මෝඩ ය. ඒ ලී පිළිමවලින් උගත හැකි දෙයක් ඇද් ද? |
|
| 9 |
|
| තර්ෂිෂ් රටෙන් ගෙනා රිදී තහඩුවලින් ද ඕපීර් රටෙන් ගෙනා රත්රන්වලින් ද ඒ රූප සාදා ඇත. ඒවා සාදා ඇත්තේ, කැටයම්කරුවන්ගේ හා රන්කරුවන්ගේ අතින් ය. ඒවා දක්ෂ කම්කරුවන් විසින් නිල් හා දම් පැහැති රාජකීය ඇඳුමෙන් පළඳවනු ලැබ ඇත. |
|
| 10 |
|
| එහෙත්, සමිඳාණෝ සැබෑ දෙවිඳාණෝ ය; ජීවමාන දෙවි තුමාණෝ ය; සදාකාල රජ තුමාණෝ ය. එතුමන්ගේ උදහසට පොළොව වෙවුළයි. එය දරන්නට හැකි ජාතියක් මිහි පිට නොවෙයි. |
|
| 11 |
|
| අහසත්, පොළොවත් නොමැවූ මේ දෙවිවරු මිහි පිටින් ද අහස යටින් ද විනාශ කරනු ලබති යි මාගේ සෙනඟ වන ඔබ ජාතීන්ට කිව යුතු ය. |
|
| 12 |
|
| සමිඳාණෝ සිය බලයෙන් පොළොව මැවූ සේක; සිය ඥානයෙන් ලෝකය පිහිටෙව් සේක; සිය නුවණින් අහස පැතිරෙව් සේක. |
|
| 13 |
|
| සමිඳුන්ගේ අණින් අහස් ජලය ගිගුරුම් දෙයි; පොළෝ සීමාවලින් මීදුම සෑදී නැඟී එයි; එතුමාණෝ, වර්ෂාව සඳහා විදිලි කෙටීම් ඇති කරන සේක; එතුමාණෝ සිය ගබඩාවලින් සුළඟ ගෙනෙන සේක. |
|
| 14 |
|
| මේ නිසා සියලු මනුෂ්‍යයෝ අනුවණ මෝඩයෝ වෙති. සියලු රන්කරුවෝ තමන් නෙළූ රූප නිසා ලජ්ජාවට පැමිණ සිටිති. ඒවා පණ නැති හිස් පිළිම වන බැවිනි. |
|
| 15 |
|
| ඒවා නොවටින නිසරු වැඩ වෙයි. දඬුවම් කිරීමට සමිඳුන් පැමිණි විට ඒවා විනාශ කරදමනු ඇත. |
|
| 16 |
|
| ජාකොබ්ගේ දෙවිඳාණෝ ඒවාට සමාන නැත; සියලු දේ මවා ඇත්තේ එතුමාණෝ ය; ඉශ්රායෙල් සෙනඟ එතුමාණන් තෝරාගත් සෙනඟ ය. සව් බලැති සමිඳාණෝ යනු එතුමාණන්ගේ නාමය වේ. |
|
| 17 |
|
| “වටලනු ලැබ සිටින ජෙරුසලම් ජනයෙනි, නුඹලාගේ බඩු පොදි බැඳගන්න. |
|
| 18 |
|
| මන්ද, සමිඳාණන් වහන්සේ මේ දේශයෙන් වැසියන් පිටමං කරන්න යන සේක. නුඹලාට දැනෙන ලෙස උන් වහන්සේ නුඹලා විනාශ කරන්න යන සේක. මෙසේ පැවසුවේ සමිඳාණන් වහන්සේ ය.” |
|
| 19 |
|
| ජෙරුසලම් සෙනඟ කෑගසමින් මෙසේ කියති: “අහෝ! අපේ පීඩාව කොපමණ බරපතල ද? අපේ තුවාළ සුව කළ නොහැකි ලෙස දරුණු ය. එහෙත්, ‘අප ඒවා ඉවසිය යුතු යැ’යි අපි කීවෙමු. |
|
| 20 |
|
| අපේ කූඩාරම් නාස්ති විය: ඒවායේ ලණු සියල්ල ද කඩාදමනු ලැබී ය. අපේ දරුවන් අප අත්හැර, අප කෙරෙන් වෙන් වී ගොස් ඇත. දැන් අපේ කූඩාරම් දිගහැර තිර එල්ලන්න කිසිවෙක් නැත.” |
|
| 21 |
|
| ජෙරමියා පිළිතුරු දෙමින් මෙසේ කී ය: “ඔබේ නායකයෝ මෝඩයෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේගෙන් කරුණු නොවිමසති. ඔවුන් දියුණු නොවුණේ එබැවිනි. ඔවුන්ගේ බාරයේ සිටි සෙනඟ ද විසිර ගොස් ඇත. |
|
| 22 |
|
| සවන් දෙන්න, අන්න, ජුදා නගර පාළුවක් ද සිවලුන්ගේ වාසයක් ද කිරීමට යන බවට දූසමාන කතාවක හඬක් ද මහා ඝෝෂාවක් ද උතුරු දේශයෙන් ඇසෙන්නේ ය. |
|
| 23 |
|
| සමිඳුනි, මිනිසාගේ සරණ මිනිසා ම නොවන බවත්, ඔහු යා යුතු මඟ නියම කිරීම ඔහුට ම අයිති නැති බවත් ඔබ දන්න සේක. |
|
| 24 |
|
| සමිඳුනි අප විනාශ නොවන පිණිස, ඔබේ උදහසින් නොව, නිසි ප්‍රමාණයෙන් අපට දඬුවම් කළ මැනව. |
|
| 25 |
|
| ඔබ නොපිළිගන්න ජාතීන් කෙරෙහි ද ඔබට යාච්ඤා නොකරන මිනිසුන් කෙරෙහි ද ඔබේ කෝපය වැගිරෙවුව මැනව. මන්ද, ඔව්හු ජාකොබ්ගේ වංශය මරාදැමූ හ; ඔවුන් සහමුලින් ම විනාශ කළහ. ඔවුන්ගේ දේශය නැතිනාස්ති කළහ.” |
|
|
|
|