|
| 1 |
|
| ඉශ්රායෙල් ජනයෙනි, සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට සවන් දෙන්න. මේ දේශයේ වැසියන්ට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ චෝදනාවක් ඇත. “විශ්වාසකම වත්, කරුණාව වත්, දෙවියන් වහන්සේ පිළිබඳ දැනුමක් වත් දේශයේ නැත. |
|
| 2 |
|
| බොරු දිවිරීම ද බොරු කීම ද මිනීමැරීම ද සොරකම ද කාමමිථ්‍යාචාරය ද මිස වෙන කිසිවක් නැත. ඇත්තේ ලේ වැගිරීම් පිට ලේ වැගිරීම් ය. |
|
| 3 |
|
| එබැවින් දේශය වියළී යන්නේ ය. එහි වසන වනසතුන් හා ආකාශයේ පක්ෂීන් ඇතුළු සියල්ලෝ ම මලානික වන්නෝ ය. මුහුදේ මත්ස්‍යයෝ පවා විනාශ වී යන්නෝ ය. |
|
| 4 |
|
| “සෙනඟට විරුද්ධ ව කිසිවෙක් චෝදනාවක් වත්, පැමිණිල්ලක් වත් නොකරත් වා! මාගේ චෝදනාව පූජකයන්ට විරුද්ධ ව ය. |
|
| 5 |
|
| නුඹලා රෑ දාවල් දෙක්හි වැරදි පිට වැරදි කරන්නහු ය. දිවැසිවරු ද නුඹලා සමඟ එසේ ම කරති. නුඹලාගේ මාතෘ භූමියේ විනාශය නුඹලා ම ය. |
|
| 6 |
|
| මා ගැන දැනුමක් නැති බැවින් මාගේ සෙනඟ විනාශ වී යති. මා ගැන දැනුම ද දේවාඥා ද ප්‍රතික්ෂේප කර තිබෙන බැවින් මට පූජකයන් මෙන් සේවය කිරීමෙහි ලා නුඹලා ද නුඹලාගේ දරුවන් ද මම ප්‍රතික්ෂේප කරමි. |
|
| 7 |
|
| “පූජකයන් වැඩි වෙන්න වැඩි වෙන්න ඔව්හු වැඩි වැඩියෙන් මට විරුද්ධ ව පව් කළහ. එබැවින් මම ඔවුන්ගේ කීර්තිය අපකීර්තියට හරවන්නෙමි. |
|
| 8 |
|
| ඔව්හු මාගේ සෙනඟගේ පාපයෙන් පෝෂ්‍ය වෙති. ඔවුන් වඩ වඩා පව් කරනවාටත් ඔව්හු ආශා වෙති. |
|
| 9 |
|
| එබැවින් සෙනඟට වන දේ පූජකයන්ටත් සිදු වේ. මම ඔවුන්ගේ හැසිරීමට යුතු දඬුවම ද ක්‍රියාවලට නිසි විපාකය ද දෙන්නෙමි. |
|
| 10 |
|
| කොපමණ කෑවත් ඔව්හු තෘප්තියට නොපැමිණෙති. වේශ්‍යාකම් කළත් ඔව්හු දරුපල නොලබති. එසේ වන්නේ ඔවුන් අන් දෙවිවරුන් අනුව යන පිණිස මා කෙරෙන් හැරී ගොස් ඇති බැවිනි. |
|
| 11 |
|
| “කාමසේවනය, සුරා පානය සහ මිදියුස සිහිය විකල් කරයි. |
|
| 12 |
|
| මාගේ සෙනඟ ලී කැබැල්ලකින් ගුරුකම් සොයති; සැරයටියක් පිළිතුරු දෙයි. ඔව්හු දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කොට, වේශ්‍යාකමට වැටුණ ස්ත්‍රියක මෙන් අන් දෙවිවරුන් වැළඳගෙන සිටිති. |
|
| 13 |
|
| ඔව්හු කඳු මුදුන්වල යාග කරති; හෙල් උඩ ඇති ආලෝන, ලිබීනා, ඒලා යන ගස්වල සෙවණ හොඳ නිසා ඒවා යට සුවඳ දුම් ඔප්පු කරති. එබැවින් නුඹලාගේ දූවරු වේශ්‍යාකම් කරති. භාර්යාවෝ කාමමිථ්‍යාචාරයේ යෙදෙති. |
|
| 14 |
|
| නුඹලාගේ දූවරුන්ගේ වේශ්‍යාකම්වලටත්, ලේලියන්ගේ කාමමිථ්‍යාචාරකම්වලටත් දඬුවම් නොකරමි. මන්ද, පුරුෂයන් ද දේවාල වෙසඟනක් සමඟ පුද පූජා කරන බැවිනි. මෙසේ සිහිනුවණ නැති සෙනඟ විනාශ වන්නෝ ය. |
|
| 15 |
|
| “එම්බා ඉශ්රායෙල්වරුනි, නුඹලා වේශ්‍යාකම් කරන නමුත්, ජුදා එම වරද නොකෙරේ වා! ගිල්ගාලයට වත්, බෙත්-ආවෙන්‍ට වත් ගොස් නමස්කාර නොකරන්න; ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් එහි දී නොදිවුරන්න. |
|
| 16 |
|
| ඉශ්රායෙල් සෙනඟ කුළු මීහරකෙකු මෙන් මුරණ්ඩු ය. ඒ නිසා තණ පිට්ටනියක බැටළු පොව්වකු මෙන් සමිඳාණන් වහන්සේ ඔවුන් පෝෂණය කරන්නේ කෙසේ ද? |
|
| 17 |
|
| එප්‍රායිම් ජනයා දේව රූපවලට වසඟ වී සිටිති. ඔවුන් එසේ සිටියාවේ. |
|
| 18 |
|
| ඔව්හු සුරාසොඬුන් සමඟ විකාර කරති; කාමමිථ්‍යාචාරයෙහි ම යෙදී සිටිති; ආත්ම ගෞරවයට වඩා නින්දිතකමට ඇළුම් වෙති. |
|
| 19 |
|
| මාරුතය එහි පියාපත්වලින් ඔවුන් ගසාගෙන යනු ඇත. ඔවුන්ගේ පූජාවලින් ඔව්හු ලජ්ජාවට පත්වන්නෝ ය.” |
|
|
|
|