|
| 1 |
|
| “පූජකයෙනි, මෙයට සවන් දෙන්න. ඉශ්රායෙල් වැසියෙනි, කන් දෙන්න. රජ පවුලට අයිති ඔබ හැම දෙනා ද සවන් දෙන්න. ඔබ පිට විනිශ්චය පැමිණෙනු ඇත; මන්ද, ඔබ මිශ්පාහි මලපතක් ද තාබොර් මත අතුරන ලද දැලක් ද වී ඇත; |
|
| 2 |
|
| ෂිට්ටිම් මිටියාවතේ ගැඹුරු පාතාලයක් වී ඇත. මම ඔබ සියල්ලන්ට ම දඬුවම් කරමි. |
|
| 3 |
|
| එප්‍රායිම්ගේ හැටි මම හොඳින් දනිමි. මාගෙන් සැඟවෙන්නට ඉශ්රායෙල්වරුන්ට බැරි ය. එම්බා එප්‍රායිම්, ඔබ වේශ්‍යාකම් කර ඇත. ඉශ්රායෙල් දූෂණය වී ඇත. |
|
| 4 |
|
| “ඉශ්රායෙල් සෙනඟගේ දූෂණ ක්‍රියා නිසා ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙත හැරී එන්න ඔව්හු අපොහොසත් ය. වේශ්‍යාකමට වැටුණු ස්ත්‍රියක මෙන් ඔව්හු ඔවුන්ගේ ස්වාමීන් නාඳුනති. |
|
| 5 |
|
| ඉශ්රායෙල් සෙනඟගේ අහංකාරය ඔවුන්ට විරුද්ධ ව මොරහඬ දෙයි. එප්‍රායිම් සෙනඟ තමන්ගේ පාප නිසා පැකිළ වැටෙති; ජුදා සෙනඟ ද ඔවුන් සමඟ ම වැටෙති; |
|
| 6 |
|
| පූජා කරන පිණිස ඔවුන් බැටළුවන් ද ගවයන් ද රැගෙන සමිඳාණන් වහන්සේ සොයා යන නමුත්, උන් වහන්සේ ඔවුන්ට සම්බ වන්නේ නැත. මන්ද, උන් වහන්සේ ඔවුන් අත්හැර ගොස් ඇති බැවිනි. |
|
| 7 |
|
| ඔව්හු සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කළහ. අවජාතක දරුවෝ ඔවුන්ට ඉපදී සිටිති. එබැවින් විනාශකයා ඔවුන්ගේ වතුපිටි සමඟ ඔවුන් විනාශ කරන්නේ ය. |
|
| 8 |
|
| “ගිබියාහි හොරණෑවක් ද රාමාහි නළාවක් ද පිඹින්න. බෙත්-ආවෙන් හි යුද්ධ ඝෝෂා නඟන්න. අහෝ! බෙන්ජමින් සෙනඟෙනි, සතුරා ඔබ පස්සේ ය. |
|
| 9 |
|
| දඬුවම් කිරීමේ දවසේ දී එප්‍රායිම් නැති නාස්ති වන්නේ ය. මා ඉශ්රායෙල් ගෝත්‍ර අතරේ නියත විනාශය ප්‍රකාශ කර ඇත. |
|
| 10 |
|
| “ජුදාහි අධිපතීහු මායිම් කණු වෙනස් කරන්නන් වැනි ය. ඔවුන් කෙරෙහි මාගේ උදහස ජලගැල්මක් මෙන් වගුරුවන්නෙමි. |
|
| 11 |
|
| එප්‍රායිම් නිෂ්ඵල දේ ලුහුබැඳ ගිය බැවින් ඒ දේශය විනිශ්චයයට යට වී පොඩි වී ඇත. |
|
| 12 |
|
| එබැවින් මම එප්‍රායිම් සෙනඟට කාවෙකු මෙන් ද ජුදා සෙනඟට පිළිකාවක් මෙන් ද වන්නෙමි. |
|
| 13 |
|
| “එප්‍රායිම් තමාගේ රෝගාතුරකම ද ජුදාව තමාගේ තුවාළ ද දුටු කල එප්‍රායිම් අසිරියාවට ගිය නමුත්, ජුදා විසින් මහ රජතුමාට පණිවුඩයක් යවනු ලැබූ නමුත්, රෝගය වත් තුවාළය වත් සුව කිරීමට ඒ රජුට බැරි විය. |
|
| 14 |
|
| මම එප්‍රායිම්ට සිංහයෙකු මෙන් ද ජුදාට සිංහ නාම්බෙකු මෙන් ද වන්නෙමි. මම, මම ම ඔවුන් පිටට කඩාපැන ඔවුන් ඉරාදමා ඇදගෙන යන්නෙමි. කිසිවෙකුට ඔවුන් ගැළවිය නොහැකි ය. |
|
| 15 |
|
| “මාගේ සෙනඟ තමන්ගේ වරද පිළිගෙන මා සොයා එන තුරු මම ඔවුන් අත්හැර මාගේ වාසභවනයට යන්නෙමි. සමහර විට ඔවුන් දුක් විඳින විට ඕනෑකමින් මා සොයා එනු ඇත.” |
|
|
|
|