|
| 1 |
|
| සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: |
|
| 2 |
|
| “යමෙක් තැන්පත් මුදලක් ගැන හෝ ප්‍රවේසමට තබාගැනීමට දුන් දෙයක් ගැන හෝ යම් කෙනෙකු සතු දෙයක් උදුරාගැනීමෙන් හෝ තම අසල්වැසියා රැවටීමෙන් හෝ ඔහුට වංචා කිරීමෙන් හෝ පව් කරමින් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව අපරාධයක් කරන්නේ නම්, |
|
| 3 |
|
| තවද, නැති වූ දෙයක් සම්බ වූ පසු ඒ ගැන බොරු කීමෙන් ද බොරුවට දිවිරීමෙන් ද එවැනි කිසියම් කාරණාවකට අදාළ ව පව් කරන්නේ නම්, |
|
| 4 |
|
| ඔහු මෙලෙස පව් කළ බැවින් වරදකරුවෙක් වන්නේ ය. ඔහු උදුරාගත් දේ ද රැවටීමෙන් ගත් දේ ද ප්‍රවේසමට තබා ගැන්මට දුන් දේ ද නැති වූ පසු සොයා ගත් දේ ද |
|
| 5 |
|
| යමක් ගැන බොරුවට දිවුළ සියල්ල ද ආපසු දිය යුතු ය. ඔහු ගත් දේ සම්පූර්ණයෙන් ම දිය යුතු අතර, ඊට වැඩිමනත් පහෙන් පංගුවක් එකතු කොට දිය යුතු ය. තවද, ඔහු වරදකාරයා වූ දිනයේ දී ම එලෙස සියල්ල අයිතිකරුට දිය යුතු ය. |
|
| 6 |
|
| ඔහු, සමිඳාණන් වහන්සේට වන්දි ගෙවීමේ පූජාව වශයෙන්, රැළෙන් නොකැළැල් බැටළුවෙකු ද පූජකවරයා වෙත ගෙනා යුතු ය. ඌ තක්සේරු කළ යුත්තේ ගෙවිය යුතු වන්දිය අනුව ය. |
|
| 7 |
|
| පූජකවරයා ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔහුට පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. එවිට ඔහු කළ වරද කුමක් වුව ද එය ඔහුට කමා කරනු ලැබේ.” |
|
| 8 |
|
| සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: |
|
| 9 |
|
| “ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට මෙසේ අණ කරන්න: දවන යාග පූජාව පිළිබඳ නීතිය මෙය වේ; දවන යාග පූජාව මුළු රාත්‍රියෙහි ම උදය දක්වා පූජාසනය මත ගින්න පිට දැවෙමින් තිබිය යුතු ය. |
|
| 10 |
|
| පූජකවරයා හණ පිළි කබාය හැඳගෙන, හණ කලිසමින් තම සිරුර වසාගෙන පූජාසනය මත ගින්නෙන් දවන ලද දවන යාග පූජාවේ අළු ගෙන පූජාසනයේ පැත්තකින් දැමිය යුතු ය. |
|
| 11 |
|
| ඉන්පසු ඔහු තම වස්ත්‍ර ගලවා, වෙන වස්ත්‍ර ලාගෙන කඳවුරෙන් පිටත පවිත්‍ර ස්ථානයකට අළු ගෙන යා යුතු ය. |
|
| 12 |
|
| පූජාසනය මත ගින්න නිවෙන්නට නොහැර එය දැල්වෙමින් ම තිබිය යුතු ය. දිනපතා උදය පූජකවරයා එය මත දර දල්වා, ඊට උඩින් පිළිවෙළට දවන යාග පූජාව තැබිය යුතු ය. ඔහු සහභාගිකමේ පූජාවට ගත් සතාගේ තෙල එහි දැවිය යුතු ය. |
|
| 13 |
|
| ගිනි ද පූජාසනය මත නිවෙන්නට නොහැර නිතර ම දැල්වෙමින් තිබිය යුතු ය.” |
|
| 14 |
|
| “ධාන්‍ය පූජාව පිළිබඳ නීතිය මෙය ය: ආරොන්ගේ පුත්‍රයන්ගෙන් කෙනෙකු පූජාසනය ඉදිරියෙහි සමිඳාණන් වහන්සේට එය පුද කළ යුතු ය. |
|
| 15 |
|
| ඔවුන්ගෙන් කෙනෙකු ධාන්‍ය පූජාවේ පිටිවලින් අහුරක් ද එහි තෙල් ද එය මත ඇති තුවරලා සියල්ල ද ගෙන පූජාසනය මත සිහිවීමේ කොටස දැවිය යුතු ය. එය සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි. |
|
| 16 |
|
| ඉන්පසු එහි ඉතිරි කොටස ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් සම්මුඛ මණ්ඩප මළුවේ ශුද්ධ තැනක නුමුහුන් පූප මෙන් සාදා වැළඳිය යුතු ය. |
|
| 17 |
|
| තවද, එය පිසිය යුත්තේ මුහුන් මිශ්‍ර නොකර ය. ගින්නෙන් දවා, මට පිදූ පූජාවෙන් ඔවුන්ට හිමි කොටස මම ඔවුන්ට දෙමි. පාප පූජාව හා වන්දි ගෙවීමේ පූජාව මෙන් එය අතිශුද්ධ ය. |
|
| 18 |
|
| තවද, ආරොන්ගේ පෙළපතින් පැවතෙන සියලු පිරිමින්ට මෙය වැළඳිය හැකි ය. මෙය වනාහි ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පිදූ පූජා පිළිබඳ ඔබේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි. එය ස්පර්ශ කරන සෑම කෙනෙකු ම ශුද්ධ වනු ඇත.” |
|
| 19 |
|
| සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: |
|
| 20 |
|
| “ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ආලේප කරනු ලබන දිනයේ දී ඔවුන් සමිඳාණන් වහන්සේට පිදිය යුතු පූජාව නම්, සිහින් පිටි කිලෝග්‍රෑම් එකකි. එයින් භාගයක් උදය ද අනිත් භාගය සවස ද නිරන්තර ධාන්‍ය පූජාවක් වශයෙන් පිදිය යුතු ය. |
|
| 21 |
|
| තෙල් මිශ්‍රකොට එය තාච්චියක සූදානම් කළ යුතු ය. එය පිසුවාට පසු, ධාන්‍ය පූජාව මෙන් පිසූ යාග පූජාවේ කැබලි සමිඳාණන් වහන්සේට සුමිහිරි පූජාවක් ලෙස පිදිය යුතු ය. |
|
| 22 |
|
| තවද, ආරොන්ගේ පුත්‍රයන් අතර ආරොන් වෙනුවට ආලේප ලත් පූජකයා ද එය ඔප්පු කළ යුතු ය. මෙය සදහට ම වලංගු නියෝගයකි. එය සම්පූර්ණයෙන් ම දවා සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය. |
|
| 23 |
|
| තවද, පූජකවරයෙකුගේ සියලු ධාන්‍ය පූජා සම්පූර්ණයෙන් ම දැවිය යුතු ය. ඒවා නොවැළඳිය යුතු ය.” |
|
| 24 |
|
| සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, |
|
| 25 |
|
| “ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “පාප පූජාව පිළිබඳ නීතිය මේ ය: සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දවන යාග පූජාවේ සතා මරන ස්ථානයේ ම පාප පූජාවේ සතා ද මැරිය යුතු ය. එය අතිශුද්ධ ය. |
|
| 26 |
|
| පාප සඳහා එය පුදන පූජකවරයා එය වැළඳිය යුතු ය. තවද, ඔහු එය වැළඳිය යුත්තේ, සම්මුඛ මණ්ඩප මළුවේ ශුද්ධස්ථානයක ය. |
|
| 27 |
|
| එම සතාගේ මාංසයට ස්පර්ශ වන සෑම දෙයක් ම ශුද්ධ වනු ඇත. එයින් ලේ ස්වල්පයක් යම්කිසි වස්ත්‍රයක ගෑවුණොත්, ගෑවුණු වස්ත්‍රය ශුද්ධස්ථානයක සේදිය යුතු ය. |
|
| 28 |
|
| යම්කිසි මැටි බඳුනක එය පිසිනු ලැබුවේ නම්, එම බඳුන බිඳිය යුතු ය. එය පිසිනු ලැබුවේ ලෝකඩ බඳුනක නම්, එම බඳුන මැද, වතුරෙන් සේදිය යුතු ය. |
|
| 29 |
|
| පූජකවරුන් අතර සිටින සියලු පිරිමින්ට එයින් වැළඳිය හැකි ය. එය අතිශුද්ධ ය. |
|
| 30 |
|
| එහෙත්, ශුද්ධස්ථානයේ පව් කමා කිරීමේ පිළිවෙත සඳහා සම්මුඛ මණ්ඩපය තුළට පාප පූජාව පිණිස පිදූ සතාගේ ලේ ගෙනෙනු ලැබුවොත්, එම පූජාවෙන් කිසිවක් නොවැළඳිය යුතු ය. එය ගින්නෙහි දැවිය යුතු ය.” |
|
|
|
|