|
| 1 |
|
| සමාරිය කඳුකරේ සිටින තරබාරු එළදෙනුනි; දිළිඳුන් තළා පෙළා, අසරණයින්ට පීඩා කරන, ‘බොන්නට දෙයක් දෙන්න’ කියා සැමියන්ට අණ කරන ඔබ හැම මෙයට සවන් දෙන්න. |
|
| 2 |
|
| මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ තම ශුද්ධ නාමයෙන් මෙසේ දිවුරන සේක: “නුඹලා කොකුවලින් ඇදගෙන යනු ලබන දවස පැමිණෙනු සිකුරු ය. නුඹලාගේ හැම කෙනෙක් ම බිලි කටුවේ ඇමුණු මාලුවෙකු මෙන් වන්නෝ ය. |
|
| 3 |
|
| තාප්ප කපොලුවලින් එක එකා ඇදගනු ලැබ, කුණු කසළ ගොඩක් මත වීසි කරදමනු ඇත.” මෙය වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය. |
|
| 4 |
|
| “බෙතෙල්හි සිද්ධස්ථානයට ගොස් පව් කරනු; ගිල්ගාලයට ගොස් මුළු වීරියෙන් පව් කරනු; උදයක් උදයක් පාසා පූජාකිරීමට සතුන් ගෙනෙනු; තෙදිනකට වරක් නුඹලාගේ දසයෙන් එකේ පූජා ගෙනෙනු. |
|
| 5 |
|
| මුහුන් මුසු තුති පූජා ඔප්පුකර, ස්වේච්ඡා පූජා ගැන පුරසාරම් දොඩන්න. මන්ද, ඉශ්රායෙල් ජනයෙනි, මෙවැනි දේ කිරීමට නුඹලා බොහෝ සේ කැමැති ය”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. |
|
| 6 |
|
| “තවද, නුඹලාගේ සියලු නගරවල සාගින්න ද හැම තැන ම කෑම සාගතය ද ඇති කෙළේ මම ය. එහෙත්, නුඹලා මා වෙත හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. |
|
| 7 |
|
| “ගොයම් කැපීමට තුන් මසකට කලින්, වැස්ස ඕනෑ ම කරන දවස්වල මම එය වළක්වාලීමි. එක නුවරකට වහින්න සැලැස්සූ අතර තවත් නුවරකට වැස්ස නොදී ඇරියෙමි. එක වෙල්යායකට වැස්සේ ය, වැස්ස නොලැබූ වෙල්යාය වියළී ගියේ ය. |
|
| 8 |
|
| පිපාසයෙන් පෙළුණු නගර දෙක තුනක සෙනඟ වතුර සොයා අසල නගරයකට ගිය නමුත්, බීමට සෑහෙන තරම් වතුර නොතිබුණේ ය. එහෙත්, නුඹලා මා වෙත හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. |
|
| 9 |
|
| “මම ගොයම් වියළවන සුළඟක් ද එව්වෙමි; නුඹලාගේ බොහෝ වතුපිටි ද මිදි වතු ද අත්තික්කා ගස් ද ඔලීව ගස් ද පළඟැටි පණුවෝ කාදැමූ හ. එහෙත්, නුඹලා මා වෙතට හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. |
|
| 10 |
|
| “මා මිසර දේශයේ ඇති කළ වසංගතයට සමාන වසංගතයක් නුඹලා අතරේ ද ඇති කෙළෙමි; නුඹලාගේ තරුණයන් ද කඩුවෙන් මරාදමා, නුඹලාගේ අශ්වයන් පැහැරගෙන ගියෙමි; කඳවුරුවල දුර්ගන්ධයෙන් නුඹලාගේ නාස් පුඩු පිරෙව්වෙමි. එහෙත්, නුඹලා මා වෙත හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. |
|
| 11 |
|
| “දෙවියන් වහන්සේ වන මම සොදොම් සහ ගොමොරා විනාශ කරදැමුවාක් මෙන්, නුඹලා අතරෙන් සමහරෙකු විනාශ කොටදැමුවෙමි; නුඹලා ගින්නෙන් ඇදගත් ගිනි පෙනෙල්ලක් වැනි ය. එහෙත්, නුඹලා මා වෙත හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. |
|
| 12 |
|
| “එබැවින් ඉශ්රායෙල් ජනයෙනි, මේ දේ මම නුඹලාට කරන්නට යමි; ඒ දේ මා කරන්නට යන බැවින් දෙවියන් වහන්සේගේ විනිශ්චයට මූණපාන්නට සූදානම්වන්න.” |
|
| 13 |
|
| උන් වහන්සේ වනාහි, කඳු සාදන, සුළං මවන, සිය සිතුවිලි මිනිසා හට පාන, උදයත් රැයත් දෙක ම මවන, මුළු ලොවට ම අධිපති වන තැනැන් වහන්සේ ය. උන් වහන්සේගේ ගරු නාමය සියලු බලැති දෙවි සමිඳු ය. |
|
|
|
|