|
| 1 |
|
| මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මේ දර්ශනය මට දැක්වූ සේක. මම පැසුණු පලතුරු ඇති කූඩයක් දිටිමි. |
|
| 2 |
|
| එවිට සමිඳාණන් වහන්සේ, “ආමොස්, නුඹ කුමක් දකින්නෙහි දැ”යි ඇසූ සේක. “පැසුණු පලතුරු ඇති කූඩයකැ”යි මම පිළිතුරු දුනිමි. එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් සෙනඟගේ විනාශය පඩිසන් දෙන කාලය දැන් පැසී ඇත. ඔවුන්ට දඬුවම් කිරීමට ඇති මාගේ අදහස් මම වෙනස් නොකරමි. |
|
| 3 |
|
| ඒ දවසේ දී මාලිගාවේ ගී ගායනා දුක් ගාවිනා බවට හැරේ, සෑම තැන ම මළකඳන් දක්නට ලැබේ. කිසි තැනක ශබ්දයක් ඇසෙන්නට නැත.” |
|
| 4 |
|
| දිළිඳුන් පාගාදමා, අසරණයන්ට පීඩා කරන, ඔබ මෙයට සවන් දෙන්න. |
|
| 5 |
|
| ඔබ ම මෙසේ කියන්නහු ය: “අපේ ධාන්‍ය විකුණන පිණිස මාස පෝය ගෙවෙන්නේ කොයි වේලේ ද? ධාන්‍යාගාර අරින පිණිස සබත් දවස ගෙවෙන්නේ කොයි වේලේ ද? එතකොට අපට වැඩි මිලට බඩු විකිණිය හැකි ය; හොර කෝදුවෙන් මැන දිය හැකි ය; ගනු දෙනු කරන්නන් රවටන හොර තරාදි පාවිච්චි කළ හැකි ය; |
|
| 6 |
|
| අපට දුප්පතා සල්ලිවලට ද දුගියා සෙරෙප්පු දෙකක මිලයට ද ගත හැකි ය; එවිට බොල් වී හොඳ ගණනකට විකිණිය හැකි ය.” |
|
| 7 |
|
| ඉශ්‍රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ සිය නාමයෙන් දිවුරා මෙය වදාළ සේක: “ඔවුන්ගේ නපුරු ක්‍රියා කිසි කලෙක මම අමතක නොකරමි. |
|
| 8 |
|
| එබැවින් පොළොව දෙදරන්නේ ය; රටවැසි සියල්ලෝ වැලපෙන්නෝ ය. මුළු රට ම නයිල් ගඟ මෙන් නැඟී, දෙගොඩ තලා, බැස යනවා ඇත. |
|
| 9 |
|
| ඒ දවසේ දී, මද්දහන වේලාවේ ඉර බසින්නට සලස්වන්නෙමි; මහා දවාලේ පොළොව අන්ධකාරවන්ට සලස්වන්නෙමි. මේ වචන වදාළේ දෙවි ස්වාමීන් වන මම ය. |
|
| 10 |
|
| නුඹලාගේ සුබ මංගල්‍යයන් අවමංගල්‍යන් කරන්නෙමි; නුඹලාගේ තුති ගී ළතෝනි බවට හරවන්නෙමි. නුඹලාගේ බඳ වටා ගෝණි හඳවා හිස් මුඩු කරන්නෙමි. එක ම පුතාගේ මරණය නිසා වැලපෙන දෙමවුපියන් මෙන් නුඹලා වැලපෙන්නහු ය. ඒ දවස කෙළවර දක්වා තිත්ත ම තිත්ත වන්නේ ය. |
|
| 11 |
|
| “දේශය මුළුල්ලේ මහා සාගතයන් එවන කාලය ළං වන්නේ ය. ඒ සාගින්න කෑම සඳහා නොවේ; පිපාසය වතුර සඳහා නොවේ. එය සමිඳාණන් වහන්සේගේ වචනය ඇසීමට ඇති වන සාපිපාසය වේ. මෙසේ කියන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වන මම ය. |
|
| 12 |
|
| එවිට සෙනඟ සමිඳාණන් වහන්සේගේ වචනය සොයමින් උතුරේ සිට දකුණට ද නැගෙනහිර සිට බස්නාහිරට ද ඔබමොබ දුවනවා ඇත. එහෙත්, එය ඔවුන්ට සම්බ වන්නේ නැත. |
|
| 13 |
|
| ඒ දවසේ දී රූමත් තරුණියෝ ද ශක්තිමත් තරුණයෝ ද පිපාසයෙන් ක්ලාන්ත වී වැටෙන්නෝ ය. |
|
| 14 |
|
| ‘දාන්හි ජීවමාන දෙවියන්ගේ නාමයෙන්’ කියා ද ‘බෙයර්-ෂෙබාහි ජීවමාන දෙවියන්ගේ නාමයෙන්’ කියා ද සමාරියේ දෙවිවරුන් නමින් ද දිවුරන සියලු දෙන නැවත නැඟිටින්නට නොහැකි වන ලෙස වැටෙන්නෝ ය.” |
|
|
|
|