|
| 1 |
|
| හමුදා රැස් කරන්න. සතුරෝ ජෙරුසලම වටලාගෙන සිටිති. ඉශ්රායෙල්හි නායකයන්ට ඔව්හු කෙවිටකින් පහර දෙති. |
|
| 2 |
|
| “එම්බා බෙත්ලෙහෙම් එප්රාතා! තී ජුදාහි ගෝත්රවලින් ඉතා අල්ප වන්නෙහි ය. එහෙත්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වීමට කෙනෙක් තී කෙරෙන් නැඟී එන්නේ ය. එතුමන්ගේ පෙළපතේ මුල දුරාතීතයෙන් ද පැරණි යුගයෙන් ද එන්නකි.” |
|
| 3 |
|
| එබැවින් ගැබ්ගෙන සිටින ස්ත්රිය දරුවෙකු බිහි කරන තෙක් සමිඳාණන් වහන්සේ සිය සෙනඟ සතුරන්ට පාවා දෙන සේක. එවිට ඔවුන්ගේ සහෝදරයන්ගෙන් ඉතිරි කුඩා පිරිස ඔවුන්ගේ සෙනඟ සමඟ එක් වන්නෝ ය. |
|
| 4 |
|
| එතුමන් පැමිණි විට, සමිඳාණන් වහන්සේගෙන් ලැබෙන ශක්තියෙන් ද දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයේ මහිමයෙන් ද සිය සෙනඟ පෝෂණය කරනු ඇත. පොළෝ තල වැසියන් සියලු දෙනා එතුමන්ගේ පාලනය පිළිගන්න බැවින්, එතුමන්ගේ සෙනඟ ආරක්ෂා සහිත ව සිටින්නෝ ය. |
|
| 5 |
|
| එතුමාණෝ සාමදානය ගෙන දෙන සේක. අසිරියන්වරුන් අපේ රට ආක්රමණය කොට අපේ බලකොටු බිඳගෙන ඇතුළු වූ විට ඔවුන් සමඟ සටන් කිරීමට අපි අපේ පාලකයන් සත්දෙනා සහ ප්රධානීන් අටදෙනා යවන්නෙමු. |
|
| 6 |
|
| ඔව්හු සිය කඩුවලින් අසිරියන් රට ද කඩු තලයෙන් නිම්රොද් දේශය ද ජයගන්නෝ ය. අසිරියන්වරුන් අපේ දේශයට පැමිණි විට, අපේ සීමා බිඳ දමන විට, ඒ නායකයෝ ඔවුන් අතින් අප බේරා ගන්නෝ ය. |
|
| 7 |
|
| ජාකොබ්ගේ සෙනඟ අතරෙන් ඉතිරි කුඩා පිරිස බොහෝ ජාතීන් උදෙසා සමිඳාණන් වහන්සේ එවා වදාළ පිනි බිංදු මෙන් ද තණ මත වැහි බිංදු මෙන් ද වන්නෝ ය. ඔවුන්ගේ විශ්වාසය සමිඳාණන් වහන්සේ කෙරෙහි මිස මිනිසා කෙරෙහි නොවන්නේ ය. |
|
| 8 |
|
| ජාකොබ්ගේ වංශයේ ඉතිරි අය බොහෝ සෙනඟ වන ජාතීන් අතරේ වනයේ සැරිසරන සිංහයෙකු මෙන් ද බැටළු ගාල් අතරේ සිංහ පැටියෙකු මෙන් ද වන්නෝ ය. ඔව්හු යන විට ගොදුරු පිට කඩා පැන, කෑලි කෑලිවලට ඉරා දමන්නෝ ය. බේරාගන්න කිසිවෙක් නොවන්නේ ය. |
|
| 9 |
|
| ඔබ බාහු බලයෙන් ඔබේ සතුරන් පරාජයට පත් කොට ප්රතිවාදීන් සියල්ලන් ම විනාශ කර දමන්නහු ය. |
|
| 10 |
|
| සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී මම නුඹලාගේ අශ්වයන් පහකොට නුඹලාගේ රථ විනාශ කරන්නෙමි. |
|
| 11 |
|
| නුඹලාගේ දේශයේ නගර විනාශ කොට සියලු බලකොටු බිඳ දමන්නෙමි. |
|
| 12 |
|
| මම නුඹලා භාවිතා කරන මායම් නැති කර දමමි. පේන කියන එකෙකු වත් ඉතිරි නොකරන්නෙමි. |
|
| 13 |
|
| නුඹලාගේ දේව රූප ද රූපස්ථම්භ ද නුඹලා කෙරෙන් සිඳ දමන්නෙමි. අතින් තනාගත් දේවලට නුඹලා තවත් නමස්කාර නොකරන්නහු ය. |
|
| 14 |
|
| මම නුඹලාගේ රටේ ඇති අෂේරා කප් කණු බිඳ හෙළා නුඹලාගේ නගර විනාශ කරන්නෙමි. |
|
| 15 |
|
| මට කීකරු නොවූ ජාතීන් හට මම උදහසෙනුත්, කෝපයෙනුත් දඬුවම් දෙන්නෙමි.” |
|
|
|
|