|
| 1 |
|
| මම මාගේ මුර අට්ටාලය උඩට නැඟ, බලකොටුව උඩ සිටගෙන, සමිඳාණන් වහන්සේ මට කියන්නේ කුමක් ද කියාත්, මාගේ පැමිණිල්ල ගැන දෙන පිළිතුර කුමක් ද කියාත් බලා සිටින්නෙමි. |
|
| 2 |
|
| සමිඳාණන් වහන්සේ මට මෙසේ පිළිතුරු දුන් සේක: “දර්ශනය ලියන්න; එය කියවන්න පුළුවන් වන පිණිස ගල් පුවරුවල පැහැදිලි ලෙස ලියන්න. |
|
| 3 |
|
| එසේ කළ යුත්තේ දර්ශනය නියම කාලය වන තෙක් පමාවන බැවිනි. එහෙත්, එය නිෂ්ඵල නොවී වේගයෙන් ඉටුවනු ඇත. එය නොවරදවා පැමිණෙන්නේ ම ය. |
|
| 4 |
|
| අදමිටු අය නොපවතින්නෝය; එහෙත්, දමිටු අය දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ලෙන් ජීවත් වන්නෝ ය.” |
|
| 5 |
|
| වස්තුව රවටන සුලු ය. පාතාලය මෙන් කට අයාගත් තෘෂ්ණාව ඇත; මරණය මෙන් තෘප්තියක් නොලබන, සියලු ජාතීන් තම ආශාව සඳහා රැස් කරන්නාවූ සියලු මිනිසුන් තම වාසියට හරවාගන්නාවූ මිනිසා අහංකාරී නොසංසුන් කෙනෙකි. |
|
| 6 |
|
| සියලු දෙනා ඔහුට අවමන් කොට ඔහුට විරුද්ධ ව මෙසේ ඇනුම්පද කියනු ඇත; “නුඹලාට අයිති නැති දේ ගොඩගසාගත්, උකස් බඩු තමා පිට පටවාගත් අයට වන විපතක මහත!” |
|
| 7 |
|
| නුඹලාගේ ණය හිමියන් හදිසියේ නුඹලා පිට කඩා පනින්නේ නැද් ද? නුඹලාගේ සතුරෝ නුඹලා තැති නොගන්වන්නෝ ද? එවිට ඔව්හු නුඹලා කොල්ලකන්නෝ ය. |
|
| 8 |
|
| නුඹලා බොහෝ ජාතීන්ගෙන් කොල්ලකෑ නිසා ද නුඹලා කර ඇති ඝාතන නිසා ද දේශයටත්, නගරයටත්, එහි වැසියන්ටත් නුඹලා කර ඇති බලහත්කාරකම් නිසා ද ඉතිරි ව සිටින අය නුඹලා කොල්ලකන්නෝ ය. |
|
| 9 |
|
| තමාගේ නිවෙස උස් තැනක සාදන පිණිස ද උපද්‍රවයෙන් මිදෙන පිණිස ද සිය වංශයේ වාසිය පිණිස සෙස්සන් සූරාකන තැනැත්තාට වන විපතක මහත! |
|
| 10 |
|
| නුඹලාගේ උපායයන් නිසා නුඹලාගේ වංශය පිට නින්දාව පමුණුවාගෙන ඇත. බොහෝ ජාතීන් විනාශ කිරීම නිසා නුඹලා, තමන්ගේ ම විනාශය පමුණුවාගෙන ඇත. |
|
| 11 |
|
| බිත්තියේ ගල් වුව ද නුඹලාට විරුද්ධ ව මොරහඬ නඟන අතර වහලේ රීප්ප හා පරාල දෝංකාර නඟනු ඇත. |
|
| 12 |
|
| නුඹලා අපරාධයෙන් නුවරක් ද මිනීමැරීමෙන් නගරයක් ද ගොඩනඟාගෙන ඇති බැවින් නුඹලාට වන විපතක මහත! |
|
| 13 |
|
| ජාතීන් නිකරුණේ වෙහෙස මහන්සියෙන් ඔවුන් ගොඩනඟා ඇති සියල්ල ගින්නෙන් දවා නැත්තට නැති කිරීම සියලු බලැති සමිඳාණන් වහන්සේගේ ක්‍රියාව නොවේ ද? |
|
| 14 |
|
| මුහුද ජලයෙන් පිරී තිබෙන්නාක් මෙන් සමිඳාණන් වහන්සේගේ තේජස පිළිබඳ දැනගැන්මෙන් පොළොව පිරී යන්නේ ය. |
|
| 15 |
|
| අසල්වාසීන්ගේ නග්න රූප දෙස බලා නින්දා කරන පිණිස අධික කෝපයෙන් ඔවුන්ට බොන්නට දී වෙරිමත් කරන්නාවූ නුඹලාට වන විපතක මහත! |
|
| 16 |
|
| ඒ අයුරින් නුඹලාත් ගෞරවයෙන් වෙනුවට නින්දාවෙන් පිරී සිටින්නහු ය. නුඹලාත් වෙරිමත් වන්නහු ය. සමිඳාණන් වහන්සේගේ දකුණු අතෙහි කුසලානෙන් නුඹලාට බොන්න සලස්වා උන් වහන්සේ නුඹලාගේ ගෞරවය අගෞරවයට හරවන සේක. |
|
| 17 |
|
| නුඹලා කර ඇති මිනීමැරීම් නිසාත්, දේශයටත් නගරයටත් එහි වැසියන්ටත් කර ඇති බලහත්කාරකම් නිසාත්, නුඹලා ලෙබනොන්හි කළ අපරාධ නිසාත් නුඹලා විනාශ කරනු ඇත. |
|
| 18 |
|
| පිළිමයකින් ඇති ප්‍රයෝජනය කුමක් ද? එය මිනිසා විසින් සාදන ලද්දකි. එයට සත්‍යය පවසන්නට බැරි ය. එය වාත්තු පිළිමයක් පමණකි. එය කෙරෙහි විශ්වාසය තැබීමෙන් එය තැනූ තැනැත්තාට වන යහපත කුමක් ද? |
|
| 19 |
|
| ඒ රූපයට ‘පිබිදෙන්න’ කියාත්, ගලින් නෙළූ ගොළු පිළිමවලට ‘නැඟිටින්න’ කියාත් කියන නුඹලාට වන විපතක මහත! පිළිමවලට කිසිවක් එළිදරව් කළ හැකි ද? අහෝ! රන් රිදීයෙන් එය වසා තිබුණත් එය තුළ ප්‍රාණයක් ඇත්තේ ම නැත. |
|
| 20 |
|
| එහෙත්, සමිඳාණන් වහන්සේ සිය ශුද්ධ මාලිගාවේ වැඩ සිටින සේක; මුළු පොළොව උන් වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්ද වේ වා! |
|
|
|
|