|
| 1 |
|
| දාරියුස් රජුගේ සතර වන අවුරුද්දේ කිස්ලෙව් නම් නව වන මාසයේ සතර වන දා සමිඳාණන් වහන්සේ සෙකරියාට පණිවුඩයක් දුන් සේක. |
|
| 2 |
|
| බෙතෙල්හි වැසියෝ ශරෙෂෙර් ද රෙගෙම්මොලෙක් ද ඔවුන්ගේ මිනිසුන් ද සමිඳාණන් වහන්සේ ඉදිරියේ කන්නලව් කරන්න යැව්වෝ ය. |
|
| 3 |
|
| සර්ව පරාක්‍රම සියලු බලැති සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පූජකයන්ගෙන් ද දිවැසිවරුන්ගෙන් ද මෙසේ ප්‍රශ්න කරන්න ඔවුන්ට නියම විය: “මෙපමණ අවුරුදු ගණනක් තිස්සේ අප කළාක් මෙන් තවදුරටත් හැම පස් වන මාසයේ දී ම වැලපෙමින් උපවාස පැවැත්වීම අප කරගෙන යා යුතු ද?” |
|
| 4 |
|
| සියලු බලැති සමිඳාණන් වහන්සේ මට මේ පණිවුඩය දුන් සේක: |
|
| 5 |
|
| “දේශයේ සෙනඟටත් පූජකයන්ටත් කතා කොට, ඔවුන් මේ අවුරුදු සැත්තෑව තුළ දී පස් වන හා සත් වන මාසවල උපවාස පවත්වා වැලපෙමින් උපවාස කෙළේ මා උදෙසා ද? |
|
| 6 |
|
| තවද, ඔවුන් කෑවේත්, බීවේත් ඔවුන්ගේ ම සන්තුෂ්ටිය උදෙසා නොවේ ද? |
|
| 7 |
|
| ජෙරුසලම සෞභාග්‍යයෙන් හා ජනගහණයෙන් පිරී, ඒ නගරය අවට නගර ද දකුණු දිශාව ද පහත පළාත ද ජනාවාස වී තිබුණු කාලයේ දී පවා සමිඳාණන් වහන්සේ කලින් සිටි දිවැසිවරුන් මඟින් කීවේත් මෙය නොවේ දැ යි කියන්න.” |
|
| 8 |
|
| සමිඳාණන් වහන්සේ මේ පණිවුඩය සෙකරියාට දුන් සේක: |
|
| 9 |
|
| “සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘අවංක ලෙස විනිශ්චය කරන්න. එකිනෙකාට කරුණාව ද අනුකම්පාව ද පෙන්වන්න. |
|
| 10 |
|
| වැන්දඹුවන්ට හා අනාථයන්ටත් විදේශීන්ටත් පීඩා නොකරන්න. නුඹලා එකිනෙකාට හිංසා කිරීමට කූට උපායයන් යොදා නොගන්න.” |
|
| 11 |
|
| “එහෙත්, ඔව්හු එයට සවන් දෙන්න අකමැති වූ හ. ඔව්හු මුරණ්ඩුකම දැක් වූ හ. නොඇසෙන පිණිස කන් වසා ගත්තෝ ය. |
|
| 12 |
|
| ඔව්හු ඔවුන්ගේ සිත් ගල් මෙන් දැඩි කරගෙන, සියලු බලැති සමිඳාණන් වහන්සේ සිය ආත්මානුභාවය කරණකොටගෙන ආදියේ සිටි දිවැසිවරුන් මඟින් දෙවා වදාළ ඉගැන්වීම්වලට සහ පණිවුඩවලටත් සවන් නුදුන්හ. ඒ නිසා සියලු බලැති සමිඳාණන් වහන්සේ අතිශයින් උදහස් වූ සේක. |
|
| 13 |
|
| ‘මා අඬගසන කල ඔවුන් සවන් නුදුන් නිසා, ඔවුන් අඬගසන කල මම පිළිතුරු නොදෙන්නෙමි’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක. |
|
| 14 |
|
| ‘සුළි සුළඟකින් මෙන් මම ඔවුන් විදේශීය රටවල විසුරුවාදැමීමි. ඒ දේශයට යන එන කෙනෙකු නැති නිසා එය පාළු විය. නුඹලා යහපත් දේශය පාළුකරයක් කළහු ය’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.” |
|
|
|
|