|
| 1 |
|
| මෝසෙස් ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍ර මූලිකයන්ට කතා කොට මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ අණ කළ දේ මෙය වේ: |
|
| 2 |
|
| ‘යම් පුරුෂයෙකු සමිඳාණන් වහන්සේට බාරයක් වුවහොත්, නැත්නම්, යම් කිසි දෙයකින් වැළකෙන හැටියට දිවුරුමක් දුන්නොත්, ඔහු තම වචනය කඩ නොකළ යුතු ය. තමා කී පරිදි සියල්ල ඉටු කළ යුතු ය. |
|
| 3 |
|
| ‘යම් කිසි තරුණ කාන්තාවක ඇගේ පියාගේ ගෘහයේ සිටිය දී, සමිඳාණන් වහන්සේට බාරයක් වී දිවුරුම් දුන් පසු, |
|
| 4 |
|
| ‘ඇගේ පියා, ඈ කළ බාරය සහ ඈ යමකින් වැළකීමට ගත් පොරොන්දුව ගැන අසා ඔහු නිහඬ වුවහොත්, ඈ එම බාර ද යමකින් වැළකීමට ගත් පොරොන්දු ද සියල්ල ඉටු කළ යුතු ය. |
|
| 5 |
|
| එහෙත්, ඇගේ පියා ඒවා ගැන දැනගත් පසු, යම් දිනක ඒවා ඈට තහනම් කළොත්, ඈ කළ බාර හා යමකින් වැළකීමට ඈ දුන් පොරොන්දු කිසිත් ඉටු කිරීමට ඈ බැඳී නැත. ඇගේ පියා ඒවා ඈට තහනම් කළ බැවින් සමිඳාණන් වහන්සේ ද ඈට කමා කරන සේක. |
|
| 6 |
|
| ‘තවද ඈ බාර වී හෝ යමකින් වැළකීමට පොරොන්දු දුන් පසු හෝ විවාහ වී |
|
| 7 |
|
| ඇගේ සැමියා ඒවා ගැන ඇසූ දිනක නිහඬ වන්නේ නම් ඈ කළ බාර හා දුන් පොරොන්දු සියල්ල ඉටු කළ යුතු ය. |
|
| 8 |
|
| එහෙත්, ඇගේ සැමියා එය අසා යම් දිනක ඈට ඒවා තහනම් කළොත්, ඈ කළ බාර ද යමකින් වැළකීමට දුන් පොරොන්දු ද කිසිවක් ඉටු කිරීමට ඈ බැඳී නැත. සමිඳාණන් වහන්සේ ද ඈට කමා කරන සේක. |
|
| 9 |
|
| ‘වැන්දඹුවක හෝ දික්කසාද වූ ස්ත්‍රියක හෝ කළ බාර සහ දුන් පොරොන්දු සියල්ල ඔවුන් ඉටු කළ යුතු ය. |
|
| 10 |
|
| ‘විවාහක ස්ත්‍රියක බාරයක් වී හෝ යමකින් වැළකීමට පොරොන්දු දුන් පසු හෝ |
|
| 11 |
|
| ඇගේ සැමියා ඒ ගැන අසා ඔහු නිහඬ ව සිටිමින් ඈට ඒවා තහනම් නොකෙළේ නම්, ඈ කළ බාර සහ දුන් පොරොන්දු සියල්ල ඉටු කළ යුතු ය. |
|
| 12 |
|
| එහෙත්, ඇගේ සැමියා ඒවා ගැන ඇසූ යම් දිනක ඒවා අවලංගු කළොත්, ඈ කළ බාර සහ දුන් පොරොන්දු කිසිවක් ඉටු කිරීමට ඈ බැඳී නැත. ඇගේ සැමියා ඒවා අවලංගු කළ බැවින්, සමිඳාණන් වහන්සේ ද ඈට කමා කරන සේක. |
|
| 13 |
|
| විවාහක කාන්තාවක කරන බාර සහ යමකින් වැළකීමට දෙන පොරොන්දු වලංගු කිරීමට හෝ අවලංගු කිරීමට හෝ ඇගේ සැමියා හට බලය පැවරේ. |
|
| 14 |
|
| එහෙත්, ඇගේ සැමියා ඒවා ගැන දවසින් දවස නිහඬ ව සිටී නම්, ඈ කළ බාර සහ දුන් පොරොන්දු සියල්ල වලංගු ය. ඔහු ඒවා ගැන ඇසූ දින සිට ම නිහඬ ව සිටින බැවින් ඔහු ඒවා අනුමත කෙළේ ය යි සැලකේ. |
|
| 15 |
|
| එහෙත්, ඔහු ඒවා ගැන අසා කලක් ගිය පසු ඒවා අවලංගු කළොත්, ඈට පැවරෙන වරද ගැන ඔහු වරදකරුවා වනු ඇත.’ ” |
|
| 16 |
|
| සැමියා සහ බිරිඳ අතර ද පියා සහ තම ගෙදර වසන තරුණ දුව අතර ද වලංගු වන, දෙවියන් වහන්සේ මෝසෙස්ට වදාළ නියෝග මේවා ය. |
|
|
|
|