|
| 1 |
|
| රූබන්ගේ පෙළපතේ අයට සහ ගාද්ගේ පෙළපතේ අයට ගවයෝ ඉතා විශාල ගණනක් සිටියහ. ජාශර් දේශය සහ ගිලියද් දේශය ගවයන්ට කෙතරම් සුදුසු ද කියා දුටු විට |
|
| 2 |
|
| ඔව්හු මෝසෙස් ද පූජක එලෙයාසර් සහ ජනතාවගේ නායකයන් ද වෙත අවුත්: |
|
| 3 |
|
| “අටාරොත්, දීබොන්, ජාශර්, නිම්රා, හෙෂ්බොන්, එලෙයාලේ, සෙබාම්, නෙබො සහ බියොන් යන නගර පිහිටා ඇති, |
|
| 4 |
|
| ඉශ්රායෙල් ජනතාවට පදිංචි වීම සඳහා සමිඳාණන් වහන්සේ පහර දුන් දේශය ගවයන්ට සුදුසු ය. තවද, ඔබේ දාසයන් වන අපට ගවයෝ සිටිති. |
|
| 5 |
|
| එබැවින් ඔබ අපට අනුග්‍රහය දක්වන්නහු නම්, මේ දේශය ඔබේ දාසයන් වන අපට උරුම කොට දෙනු මැනවි. අප ජොර්දාන් නදියෙන් එතෙරට ගෙන නොයන්නැ”යි කී හ. |
|
| 6 |
|
| එවිට මෝසෙස් ගාද්ගේ පරපුරේ අයට සහ රූබන්ගේ පරපුරේ අයට මෙසේ කී ය: “ඔබ හැමගේ අනෙක් සෙනඟ යුද්ධයට යන අතර ඔබ හැම මෙහි නවතින්නට අරඅඳින්නහු ද? |
|
| 7 |
|
| සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයාට දෙන්නට යන දේශයට ඔවුන් නොයන ලෙස ඔවුන්ගේ සිත් අධෛර්ය කරන්නේ මන් ද? |
|
| 8 |
|
| රට බැලීමට මා ඔබ හැමගේ පියවරුන් කාදෙෂ්-බර්නේයේ සිට යැවූ කල ඔවුන් කෙළේත් එයම යි. |
|
| 9 |
|
| ඔවුන් එෂ්කොල් මිටියාවතට ගොස්, රට දුටු විට, ඉශ්රායෙල් ජනයාට සමිඳාණන් වහන්සේ දුන් දේශයට ඔවුන් නොයන ලෙස ඔව්හු ඔවුන්ගේ සිත් අධෛර්ය කළහ. |
|
| 10 |
|
| එවිට උන් වහන්සේගේ උදහස ඇවිළී, |
|
| 11 |
|
| ‘මිසර දේශයෙන් නික්ම පැමිණි අවුරුදු විස්සකට හා ඊට වැඩි වයසැති අය මට සම්පූර්ණයෙන් ම අවනත නො වූ බැවින් ඔවුන්ගෙන් කිසිවෙකු මා ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට පොරොන්දු වූ දේශය නොදකිනු ඇත. |
|
| 12 |
|
| එහෙත්, කෙනෙස්සි ජාතික ජෙපුන්නේගේ පුත් කාලෙබ් සහ නූන්ගේ පුත් ජෝෂුවා මට සම්පූර්ණයෙන් අවනත වූ බැවින් ඔවුන් පමණක් ඒ දේශය දකිනු ඇත’ කියා දිවුළ සේක. |
|
| 13 |
|
| මෙසේ උන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් ජනයාට විරුද්ධ ව ඇවිළී ගියෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ මුළු පෙළපත ම නැසී වැනසී යන තෙක්, අවුරුදු හතළිහක් පුරා ම ඔවුන්ට පාළුකරයේ මංමුළා වී යන්නට සැලැසූ සේක. |
|
| 14 |
|
| බලන්න, සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් ජනයා වෙත තවත් වැඩි කරවනු පිණිස පාපිෂ්ඨ නව පරපුරක් වන ඔබ හැම ඔබේ පියවරුන්ගේ හිලව්වට දැන් නැඟිට ඇත. |
|
| 15 |
|
| ඔබ හැම උන් වහන්සේට අවනත නූණොත්, උන් වහන්සේ යළි මේ සෙනඟ සියල්ලන් පාළුකරයේ අත්හැරදමන සේක. ඔබ මොවුන් වනසාලන්නහු ය.” |
|
| 16 |
|
| එවිට ඔව්හු මෝසෙස්ට ළං වී, ඔහුට කතා කොට, “අපි මෙහි අපේ බැටළුවන්ට ගාල් ද අපේ කුඩා අයට නගර ද ඉදි කරන්නෙමු. |
|
| 17 |
|
| එහෙත්, අපි ඉශ්රායෙල් ජනයා ඔවුන්ට හිමි රටට පමුණුවන තෙක්, ඔවුන්ට පෙරටුව සන්නාහ සන්නද්ධ ව ගොස් සටන් කරන්නෙමු. අපගේ කුඩා අය පමණක් දේශවාසීන්ගෙන් ඔවුන්ට උවදුරු නොපැමිණෙන ලෙස පවුරු බැඳි නගරවල වසන්නෝ ය. |
|
| 18 |
|
| ඉශ්රායෙල් ජනයාගෙන් හැම කෙනෙකු ම තමාට හිමි උරුමය ලබාගන්න තෙක් අපි අපේ ගෙවලට හැරී නොඑන්නෙමු. |
|
| 19 |
|
| ජොර්දාන් ගඟින් මෙගොඩ පෙරදිග අපට උරුම වන බැවින්, ගඟින් එගොඩ සහ ඉන් එහා ද කිසිවක් අපි ඔවුන් සමඟ උරුම කොට නොගන්නෙමු”යි කී හ. |
|
| 20 |
|
| එවිට මෝසෙස් ඔවුන්ට කතා කොට, “ඔබ හැම මෙය කරමින්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සටනට සන්නාහ සන්නද්ධ ව, |
|
| 21 |
|
| උන් වහන්සේ සතුරන් පලවා හරින තෙක්, උන් වහන්සේගේ අණ පරිදි, ජොර්දානෙන් එගොඩ වී සටන් කොට, |
|
| 22 |
|
| රට අල්ලා ගන්නහු නම්, ඉන්පසු ඔබ සියල්ලන්ට ආපසු හැරී එන්නට අවසර ඇත. උන් වහන්සේ ඉදිරියෙහි ද, ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි ද ඔබ නිදොස් වනු ඇත. උන් වහන්සේගේ අණ පරිදි මේ රට ද ඔබට උරුම වනු ඇත. |
|
| 23 |
|
| එහෙත්, ඔබ එලෙස නොකරන්නහු නම්, සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ඔබ හැම පව් කරන්නහු ය. ඔබේ පාපය ද ඔබ පිට පැවරෙන බව දැනගන්න. |
|
| 24 |
|
| ඔබේ කුඩා අය සඳහා නගර ද බැටළුවන් සඳහා ගාල් ද ඉදි කරන්න. ඔබ පොරොන්දු වූ පරිදි සියල්ල ඉටු කරන්නැ”යි කී ය. |
|
| 25 |
|
| ගාද්ගේ පරපුරේ අය සහ රූබන්ගේ පරපුරේ අය මෝසෙස්ට කතා කොට, “අපේ හිමිතුමා අණ කරන ලෙස ඔබේ සේවක අපි ඉටු කරන්නෙමු. |
|
| 26 |
|
| අපේ කුඩා අය ද භාර්යාවන් ද එළු බැටළු පට්ටි ද ගවමහිෂ සියල්ලන් ද ගිලියද්හි නගරවල නවතිනු ඇත. |
|
| 27 |
|
| එහෙත්, ඔබ කියන පරිදි ඔබ සේවක අපි හැම කෙනෙක් ම සන්නාහ සන්නද්ධ ව, සමිඳාණන් වහන්සේගේ අණ ලෙස සටනට සූදානම් වන්නෙමු”යි කීවෝ ය. |
|
| 28 |
|
| මෙලෙස මෝසෙස් ඔවුන් පිළිබඳ ව පූජක එලෙයාසර්ට ද නූන්ගේ පුත් ජෝෂුවාට හා ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල නායකයන්ට ද විධාන කෙළේ ය. |
|
| 29 |
|
| ඔහු ඔවුන් අමතමින්, “ගාද්ගේ පරපුරේ අය හා රූබන්ගේ පරපුරේ අය සමිඳාණන් වහන්සේගේ අණ පරිදි සටනට සන්නාහ සන්නද්ධ ව ඔබ සමඟ ජොර්දාන් නදියෙන් එතෙර ව, රට අල්ලාගන්නෝ නම්, ඔබ හැම ඔවුන්ට ගිලියද් දේශය උරුම කොට දිය යුතු ය. |
|
| 30 |
|
| එහෙත්, ඔව්හු ඔබ සමඟ සන්නාහ සන්නද්ධ ව ගඟින් එගොඩ නොවන්නෝ නම්, කානාන් දේශයේ දී ඔබ සමඟ ඔව්හු උරුමය ලබන්නෝ ය”යි කී ය. |
|
| 31 |
|
| එවිට ගාද්ගේ පරපුරේ අය සමඟ රූබන්ගේ පරපුරේ අය පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ ඔබේ සේවකයන් වන අපට දැන්වූ ලෙස අපි ඉටු කරන්නෙමු. |
|
| 32 |
|
| ජොර්දාන් ගඟින් මෙගොඩ උරුමය අපට අයිති වන පිණිස සමිඳාණන් වහන්සේගේ අණ පරිදි අපි සන්නාහ සන්නද්ධ ව කානාන් දේශයට යන්නෙමු”යි කී හ. |
|
| 33 |
|
| මෙලෙස මෝසෙස් ගාද්ගේ පරපුරටත්, රූබන්ගේ පරපුරටත්; ජෝසෙප්ගේ පුත් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත්, අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ගේ රාජ්‍යය ද බාෂාන්හි රජ වූ ඕග්ගේ රාජ්‍යය ද යන රටවල් සහ එහි දේශ සීමාවලින් ඇතුළු නගර සහ ඒවායින් පිට නගර ද දුන්නේ ය. |
|
| 34 |
|
| ගාද්ගේ පරපුරේ අය දීබොන්, අටාරොත් සහ අරෝයෙර්, |
|
| 35 |
|
| අත්රොත්-ෂොපාන්, ජාසෙර් සහ ජොග්බෙහා, |
|
| 36 |
|
| බෙත්-නිම්රා සහ බෙත්-හාරන් යන පවුරු සහිත නගර ද, බැටළුවන්ට ගාල් ද ඉදි කළහ. |
|
| 37 |
|
| රූබන්ගේ පරපුරේ අය හෙෂ්බොන්, එලෙයාලේ සහ කිරියතායිම් ද, |
|
| 38 |
|
| නම් වෙනස් කරන ලද නෙබෝ සහ බාල්-මෙයොන් ද, සිබ්මා ද යන නගර ඉදි කළහ. ඔව්හු තමන් ගොඩනැඟුවා වූ නගරවලට අලුත් නාම ද තැබූ හ. |
|
| 39 |
|
| මනස්සේගේ පුත් මාකීර්ගේ පරපුරේ අය ගිලියද් දේශයට ගොස් එය අල්ලාගෙන එහි සිටි අමෝරිවරුන් පන්නාදැමූ හ. |
|
| 40 |
|
| මෝසෙස් එම දේශය මනස්සේගේ පුත් මාකීර්ට දුන් පසු, ඔහු එහි විසී ය. |
|
| 41 |
|
| මනස්සේගේ පුත් ජායීර් ගොස්, එහි තිබූ සමහර නගර අල්ලාගෙන ඒවාට හෙවාත්-ජායිර් කියා නම් තැබී ය. |
|
| 42 |
|
| නොබා ගොස් කෙනත් සහ එහි ගම් අල්ලාගෙන, තමාගේ නමින් ඊට නොබා යයි නම් කෙළේ ය. |
|
|
|
|