|
| 1 |
|
| ඒ දවස්වල දී ස්නාවක ජොහන් අවුත්, ජුදයේ පාළුකරයෙහි දේශනා කරමින්, |
|
| 2 |
|
| “පසුතැවී සිත් හරවා ගන්න; මන්ද, ස්වර්ග රාජ්‍යය ළඟ ය”යි කී ය. |
|
| 3 |
|
| කුමක් හෙයින් ද යත්: “ ‘ සමිඳුන්ගේ මාවත පිළියෙළ කරන්න; එතුමන් හට ඇද නැති මාවත් සාදන්නැ’යි පාළුකරයෙහි මොරගා කියන හඬක් ය”යි, දිවැසිවර යෙසායා පැවසුවේ මොහු ගැන ය. |
|
| 4 |
|
| මෙකී ජොහන් ඔටු ලොම් වස්ත්‍රයක් ඇඳ, ඉණ වටා හම් පටියක් බැඳ සිටියේ ය. පළඟැටියන් හා වන මී ඔහුගේ ආහාරය විය. |
|
| 5 |
|
| එකල ජෙරුසලමේ ද මුළු ජුදයේ ද ජොර්දාන් අවට මුළු පෙදෙසේ ද වැසියෝ ඔහු වෙත පැමිණ, |
|
| 6 |
|
| පාපෝච්චාරණය කරමින්, ජොර්දාන් ගංගාවෙහි ඔහු අතින් බව්තීස්ම-ස්නාපනය ලැබූ හ. |
|
| 7 |
|
| එහෙත්, බව්තීස්ම-ස්නාපනය ලබන පිණිස පරිසිවරුන්ගෙන් ද සද්දුසිවරුන්ගෙන් ද බොහෝ දෙනෙකු එනු දුටු ඔහු ඔවුන්ට කතා කොට, “පොළොං වංශය, එන්න තිබෙන උදහසින් පලා යාමට ඔබට අවවාද කෙළේ කවරෙක් ද? |
|
| 8 |
|
| එසේ නම්, ඔබ පසුතැවී සිත් හරවා ගත් බව ඔබේ හැසිරීමෙන් පෙන්වන්න. |
|
| 9 |
|
| ‘ආබ්‍රහම් අපගේ පියාණෝ ය’යි කියාගන්නට නොසිතන්න. ඒ මන්ද, මේ ගල්වලින් වුව ද ආබ්‍රහම්ට දරුපරපුරක් උපදවා දෙන්න දෙවියන් වහන්සේට පුළුවනැ යි මම ඔබට කියමි. |
|
| 10 |
|
| තවද, දැනට ම පොරොව ගස් මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නොදෙන සියලු ගස් කපා ගින්නෙහි දමනු ලැබේ. |
|
| 11 |
|
| මම නම්, පසුතැවී සිත හරවා ගැනීමේ ලකුණක් වශයෙන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි. එහෙත්, මට පසුව එන තැනැත්තේ මට වඩා ආනුභාසම්පන්න ය. මම උන් වහන්සේගේ පාවහන් ගෙන යාමට තරම් වත් නොවටිමි. උන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද ඔබ බව්තීස්ම-ස්නාපනය කරන සේක. |
|
| 12 |
|
| උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත. උන් වහන්සේ සිය කමත හොඳ හැටි පිරිසිදු කර, ධාන්‍ය අටුවල රැස් කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවන සේකැ”යි කී ය. |
|
| 13 |
|
| එකල ජේසුස් වහන්සේ ස්නාවක ජොහන් විසින් බව්තීස්ම-ස්නාපනය කරගනු ලබන පිණිස ගලීලයේ සිට ජොර්දානට වැඩම කළ සේක. |
|
| 14 |
|
| එහෙත්, ජොහන් උන් වහන්සේ වළක්වමින්, “ඔබෙන් බව්තීස්ම-ස්නාපනය ලැබිය යුත්තේ මම ය; එහෙත්, ඔබ මා වෙත එන සේක් දැ”යි ඇසී ය. |
|
| 15 |
|
| ජේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින්, “දැනට ඉඩ දෙන්න; මෙසේ දේව කැමැත්ත මුළුමනින් ඉටු කිරීම අපට සුදුසු ය”යි වදාළ සේක. එවිට ජොහන් ඊට එකඟ විය. |
|
| 16 |
|
| ජේසුස් වහන්සේ බව්තීස්ම-ස්නාපනය ලැබ, එකෙණෙහි ම දියෙන් ගොඩ ආ සේක. එවිට ස්වර්ගය විවර විය. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිමින් තමන් පිට පැමිණෙනු උන් වහන්සේ දුටු සේක. |
|
| 17 |
|
| තවද, “මොහු මාගේ ප්‍රියාදර පුත්‍රයා ය; මොහු කෙරේ මම ඉතා ප්‍රසන්න වී සිටිමි”යි ස්වර්ගයෙන් හඬක් නික්මිණි. |
|
|
|
|