|
| 1 |
|
| එකල ජේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ශුද්ධාත්මයාණන් විසින් පාළුකරයට පමුණුවනු ලැබූ සේක. |
|
| 2 |
|
| දහවල් සතළිසක් ද රෑ සතළිසක් ද නිරාහාර ව උන් පසු, උන් වහන්සේට සාගිනි ඇති විය. |
|
| 3 |
|
| එවිට පරීක්ෂාකාරයා උන් වහන්සේ වෙත අවුත්, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් ගෙඩි, පාන් ගෙඩි වන්න අණ කළ මැනවැ”යි කී ය. |
|
| 4 |
|
| උන් වහන්සේ උත්තර දෙමින්, “ ‘මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව; දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචන වලින් ය’ කියා ලියා ඇතැ”යි වදාළ සේක. |
|
| 5 |
|
| එවිට යක්ෂයා උන් වහන්සේ ශුද්ධ නුවරට පමුණුවා දේව මාලිගාවේ කොත මුදුනේ සිටුවා, |
|
| 6 |
|
| “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම්, පහතට පනින්න; ‘උන් වහන්සේ සිය දූතයන්ට ඔබ ගැන අණ දෙනු ඇත. ඔබේ පය කිසිසේත් ගලක නොවදින පිණිස, ඔව්හු සිය අත්වලින් ඔබ උසුලනු ඇතැ’යි ලියා තිබේ ය”යි උන් වහන්සේට කී ය. |
|
| 7 |
|
| ජේසුස් වහන්සේ ද කතා කොට, “ ‘තාගේ දෙවි ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරන්න’ කියාත් ලියා ඇතැ”යි වදාළ සේක. |
|
| 8 |
|
| යළිත් යක්ෂයා උන් වහන්සේ ඉතා උස් කන්දකට පමුණුවා, ලෝකයේ සියලු රට රාජ්‍යයන් සහ ඒවායේ යසශ්‍රිය උන් වහන්සේට පෙන්වා, |
|
| 9 |
|
| “ඔබ දණින් වැටී මට නමස්කාර කරන්නෙහි නම්, මේ සියල්ල ඔබට දෙන්නෙමි”යි උන් වහන්සේට කී ය. |
|
| 10 |
|
| එවිට ජේසුස් වහන්සේ, කතා කරමින්, “සාතන් පලා යව! ‘නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න; උන් වහන්සේට පමණක් සේවය කරන්න’ කියා ලියා ඇතැ”යි ඔහුට වදාළ සේක. |
|
| 11 |
|
| එකල යක්ෂයා උන් වහන්සේ අත්හැර ගියේ ය. දේව දූතයෝ අවුත් උන් වහන්සේට උපස්ථාන කළහ. |
|
| 12 |
|
| ජොහන් හිරභාරයට ගනු ලැබූ බව අසා, ජේසුස් වහන්සේ ගලීලයට වැඩම කළ සේක. |
|
| 13 |
|
| උන් වහන්සේ නාසරෙත් නුවර හැර සාබුලොන් සහ නප්තලී පෙදෙසෙහි මුහුදුබඩ පිහිටි කපර්ණවුමට පැමිණ එහි විසූ සේක. |
|
| 14 |
|
| මෙසේ කෙළේ, යෙසායා දිවැසිවරයා මඟින් කියන ලද දේ ඉටුවන පිණිස ය. එනම්: |
|
| 15 |
|
| “ජොර්දානෙන් එතෙර මුහුදු මාවතෙහි පිහිටි, එම්බා! සාබුලොන් රට, නප්තලී රට, විජාතීන්ගේ ගලීලය! |
|
| 16 |
|
| ගනඳුරෙහි කල් යැවූ සෙනඟ මහත් එළියක් දුටහ. මරණ අඳුර ඇති දේශයෙහි වෙසෙන්නවුන්ට එළිය උදාවිය” යනු යි. |
|
| 17 |
|
| එවක් පටන් ජේසුස් වහන්සේ, “පසුතැවී සිත් හරවා ගන්න; ස්වර්ග රාජ්‍යය ආසන්න ය” කියා දේශනා කරන්න පටන්ගත් සේක. |
|
| 18 |
|
| උන් වහන්සේ ගලීලයේ මුහුදුබඩ ඇවිදින විට, ධීවර සහෝදරයන් දෙදෙනෙකු වන පේදුරු නම් ලත් සීමොන් ද ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද මුහුදේ දැළක් හෙළනු දැක, |
|
| 19 |
|
| “මා අනුව එන්න; මම ඔබ මිනිසුන් දිනාගන්නන් කරමි”යි වදාළ සේක. |
|
| 20 |
|
| එකෙණෙහි ම ඔව්හු දැල් හැරදමා උන් වහන්සේ අනුව ගියහ. |
|
| 21 |
|
| උන් වහන්සේ එතැනින් ගොස් තවත් සහෝදරයන් දෙදෙනෙකු වන සෙබදීගේ පුත් ජාකොබ් ද ඔහු සොහොයුරු ජොහන් ද ඔවුන්ගේ පියා වන සෙබදී සමඟ ඔරුවේ හිඳ දැල් එලලනු දැක, ඔවුන් කැඳවා වදාළ සේක. |
|
| 22 |
|
| එකෙණෙහි ම ඔව්හු ඔරුව ද පියා ද අත්හැර උන් වහන්සේ අනුව ගියහ. |
|
| 23 |
|
| තවද, ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල අනුශාසනා කරමින් ද රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද සෙනඟ අතර සියලු ආකාර ලෙඩ රෝග සුව කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක. |
|
| 24 |
|
| උන් වහන්සේගේ කීර්ති රාවය සිරියාව පුරා පැතිරිණි. නානා රෝග පීඩාවලින් පෙළුණු සියලු රෝගීහු ද දුෂ්ටාත්මාවේශ වූ අය ද මීමැස්මොර රෝගීහු ද අංසබාග රෝගීහු ද උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දෝ ය. උන් වහන්සේ ඔවුන් සුවපත් කළ සේක. |
|
| 25 |
|
| ගලීලයෙන් ද දෙකපොලිසයෙන් ද ජෙරුසලමෙන් ද ජුදයෙන් ද ජොර්දාන් ගඟ එගොඩින් ද මහා ජනකායක් උන් වහන්සේ පසුපස්සේ ගියහ. |
|
|
|
|