|
| 1 |
|
| උන් වහන්සේ කන්දෙන් බැස ආ කල මහා ජනකායක් උන් වහන්සේ පසුපස්සේ ගියහ. |
|
| 2 |
|
| එකල ලාදුරු රෝගියෙක් උන් වහන්සේ වෙත අවුත්, වැඳ වැටී, “ස්වාමීනි, ඔබ කැමැති සේක් නම්, මා පවිත්‍ර කරන්න ඔබට පුළුවනැ”යි කී ය. |
|
| 3 |
|
| උන් වහන්සේ අත දිගු කොට, ඔහු පිට තබා, “මම කැමැත්තෙමි, පවිත්‍රවන්නැ”යි වදාළ සේක. එකෙණෙහි ම ඔහුගේ ලාදුරු රෝගය සුව විය. |
|
| 4 |
|
| ජේසුස් වහන්සේ කතා කොට, “මේ ගැන කිසිවෙකුට කිසිවක් නොකියන ලෙස වග බලා ගන්න; එහෙත් යන්න, පූජකයාට පෙනී, මෝසෙස් අණ කළ පඬුර සහතිකයක් පිණිස ඔප්පු කරන්නැ”යි ඔහුට වදාළ සේක. |
|
| 5 |
|
| උන් වහන්සේ කපර්ණවුමට ඇතුළු වූ කල එක් ශතාධිපතියෙක් උන් වහන්සේ වෙත අවුත්, කන්නලවු කරමින්, |
|
| 6 |
|
| “ස්වාමීනි, මාගේ මෙහෙකරුවා අංසබාග රෝගයෙන් දැඩි වේදනා විඳිමින් ගෙයි ඔත්පළ ව සිටී ය”යි කී ය. |
|
| 7 |
|
| “මම අවුත් ඔහු සුව කරමි”යි උන් වහන්සේ ඔහුට වදාළ සේක. |
|
| 8 |
|
| ශතාධිපතියා උත්තර දෙමින්, “ස්වාමීනි, ඔබ මාගේ නිවසට පැමිණීමට තරම් මම නොවටිමි. වචන මාත්‍රයක් පැවසුව මැනව. එවිට මාගේ මෙහෙකරුවා සුව වනු ඇත. |
|
| 9 |
|
| මන්ද, මම ද බලය ලත් අය යටතේ සිටින මිනිසෙක්මි. මා යටතේ ද හේවායෝ සිටිති. මා කෙනෙකුට, ‘යන්නැ’යි කී කල, ඔහු යන්නේ ය; කෙනෙකුට, ‘එන්නැ’යි කී කල, ඔහු එන්නේ ය. මාගේ දාසයාට, ‘මෙය කරන්නැ’යි කී කල ඔහු එය කරන්නේ ය”යි කීවේ ය. |
|
| 10 |
|
| ජේසුස් වහන්සේ ඒ අසා විස්මිත ව තමා පසුපස්සේ ආ අයට කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි, එක ම ඉශ්රායෙල් මිනිසෙකු තුළ වත් මෙතරම් මහත් ඇදහිල්ලක් මම නුදුටිමි. |
|
| 11 |
|
| තවද, ඔබට කියමි, පෙර අපර දෙදිගින් බොහෝ දෙනෙක් අවුත්, ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සමඟ ස්වර්ග රාජ්‍යයෙහි අසුන් ගන්නෝ ය. |
|
| 12 |
|
| එහෙත්, රාජ්‍යයට හිමිකම් ඇත්තෝ පිටත අන්ධකාරයෙහි හෙළනු ලබන්නෝ ය. එහි හැඬීම ද දත්මිටි කෑම ද වන්නේ ය”යි වදාළ සේක. |
|
| 13 |
|
| ජේසුස් වහන්සේ ශතාධිපතියාට කතා කොට, “යන්න, ඔබ අදහාගත් ලෙස ම ඔබට වේ වා”යි වදාළ සේක. ඒ මොහොතේ දී ම මෙහෙකරුවා සුවපත් විය. |
|
| 14 |
|
| ජේසුස් වහන්සේ පේදුරුගේ ගෙට ඇතුළු වූ කල ඔහුගේ බිරිඳගේ මව උණ රෝගයෙන් ඔත්පල ව සිටිනු දැක, |
|
| 15 |
|
| ඇගේ අත ඇල්ලූ සේක. එවිට උණ බැස ගියේ ය. ඈ නැඟිට උන් වහන්සේට උපස්ථාන කළා ය. |
|
| 16 |
|
| සවස් වූ කල දුෂ්ටාත්මාවේශ වූ බොහෝ දෙනෙක් උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දෝ ය. උන් වහන්සේ වචන මාත්‍රයකින් අශුද්ධාත්මයන් දුරු කළ සේක; රෝගාතුර වූ සියල්ලන් සුවපත් කළ සේක. |
|
| 17 |
|
| මෙසේ වූයේ: “උන් වහන්සේ ම අපේ දුබලකම් දරා ගත් සේක; අපේ රෝ දුක් බර උසුලාගත් සේකැ”යි යෙසායා දිවැසිවරයා විසින් කියන ලද කීම ඉටු වන පිණිස ය. |
|
| 18 |
|
| ජේසුස් වහන්සේ මහා ජනකායක් තමන් පිරිවරා සිටිනු දැක මුහුදෙන් එගොඩ යන්න අණ දුන් සේක. |
|
| 19 |
|
| එවිට විනයධරයෙක් පැමිණ, “ගුරුදේවයෙනි, ඔබ යන කොතැනකට වුව ද ඔබ කැටුව එන්නෙමි”යි උන් වහන්සේට කී ය. |
|
| 20 |
|
| ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “හිවලුන්ට බෙන ද අහසේ කුරුල්ලන්ට කැදලි ද ඇත; එහෙත්, මනුෂ්‍ය-පුත්‍රයාණන්ට හිස තැබීමට තැනක් නැතැ”යි ඔහුට වදාළ සේක. |
|
| 21 |
|
| ශ්රාවකයින්ගෙන් තවත් කෙනෙක් කතා කරමින්, “ස්වාමීනි, පළමු කොට ගොස් මාගේ පියා භූමදාන කරන්න මට අවසර දුන මැනවැ”යි කී ය. |
|
| 22 |
|
| ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා අනුව එන්න; මළවුන්ගේ භූමදානය මළවුන් ම කළාවේ”යයි ඔහුට වදාළ සේක. |
|
| 23 |
|
| උන් වහන්සේ ඔරුවකට නැඟුණු කල, ශ්‍රාවකයෝ උන් වහන්සේ සමඟ ගියහ. |
|
| 24 |
|
| එවිට ඔරුව රැළ පතරින් වැසී යන තරම් මහා චණ්ඩ මාරුතයක් මුහුදේ හැමී ය. උන් වහන්සේ ඔරුවේ සැතපී හුන් සේක. |
|
| 25 |
|
| එවිට ඔව්හු අවුත්, උන් වහන්සේ අවදි කරවා, “ස්වාමීනි, අප ගැළෙව්ව මැනව; අප විනාශ වන්න ළඟ යැ”යි කී හ. |
|
| 26 |
|
| උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඇදහිල්ල මඳකමක හැටි! බිය වන්නේ මන්ද” කියා, නැඟිට, මාරුතයට හා මුහුදට නිශ්චල වන්න අණ කළ සේක. එවිට මහත් නිසංසලයක් විය. |
|
| 27 |
|
| ඒ මනුෂ්‍යයෝ විස්මිත ව, “මෙතුමා කෙබඳු කෙනෙක් ද? සුළඟ හා මුහුද පවා මෙතුමාට කීකරු වෙතැ”යි කී හ. |
|
| 28 |
|
| උන් වහන්සේ එගොඩ ව, ගදරීන රටට පැමිණි කල, දුෂ්ටාත්මාවේශ වූ දෙදෙනෙක් සොහොන් ගෙවලින් නික්ම විත් උන් වහන්සේට මුණ ගැසුණාහ. ඔවුන් ඉතා දරුණු වූයෙන් ඒ පාරෙන් කිසිවෙකුට යන්න නොහැකි විය. |
|
| 29 |
|
| ඔව්හු මොරගසමින්, “දෙවියන් වහන්සේගේ පුත්‍රය, ඔබ හා අප අතර මොන ගනුදෙනුවක් ද? නියමිත මොහොතට පළමුවෙන් අපට වද දෙන පිණිස මෙහි ආ සේක් දැ”යි කී හ. |
|
| 30 |
|
| ඈතින් මහා ඌරු රැළක් ගොදුරුකමින් සිටියහ. |
|
| 31 |
|
| දුෂ්ටාත්ම කතා කරමින්, “ඔබ අප දුරු කරන සේක් නම්, ඌරු රැළට වැහෙන්නට අප හැරිය මැනවැ”යි උන් වහන්සේගෙන් අයැද සිටියහ. |
|
| 32 |
|
| “පලයව්” කියා උන් වහන්සේ ඔවුන්ට අණ කළ සේක. එවිට දුෂ්ටාත්ම පිට වී ගොස් ඌරන්ට වැහුණෝ ය. ඒ මුළු රැළ ප්‍රපාතයෙන් පහළ මුහුදට වේගයෙන් දිව ගොස් ජලයේ ගිලී මළෝ ය. |
|
| 33 |
|
| ඌරු ගොවුවෝ පලා ගොස් නුවරට පැමිණ ඒ සියල්ල ද දුෂ්ටාත්මාවේශ වූවන්ට සිදුවූ දේ ද පැවසූ හ. |
|
| 34 |
|
| එකල ඒ මුළු නුවර වැසියෝ ජේසුස් වහන්සේ හමු වීමට අවුත්, උන් වහන්සේ දැක, තමන්ගේ පළාතෙන් පිට වී යන ලෙස උන් වහන්සේගෙන් බැගෑපත් ව ඉල්ලා සිටියහ. |
|
|
|
|