|
| 1 |
|
| සබත් දින ගෙවුණු පසු මග්දලායේ මරියා ද ජාකොබ්ගේ මව වූ මරියා ද සලෝමි ද ගොස්, උන් වහන්සේ ආලේප කරන පිණිස සුවඳ ද්‍රව්‍ය මිලට ගත්හ. |
|
| 2 |
|
| ඔව්හු සතියේ පළමු වන දා පාන්දර, හිරු උදා වූ විගස ම, සොහොන් ගේ ළඟට ආහ. |
|
| 3 |
|
| ඔව්හු, “අපට සොහොන් ගෙයි දොරකඩින් ගල ඉවතට පෙරළා දෙන්නේ කවරෙක් දැ”යි ඔවුනොවුන් අතර විමසූ හ. |
|
| 4 |
|
| හොඳින් බැලූ කල, ඒ ගල අති විශාල එකක් වුව ද අහකට පෙරළා තිබෙනු ඔව්හු දුටුවෝ ය. |
|
| 5 |
|
| එකල ඔව්හු සොහොන් ගෙට පිවිස, සුදු සළුවක් හැඳගත් තරුණයෙකු දකුණු පස ඉඳගෙන සිටිනු දැක භීත වූ හ. |
|
| 6 |
|
| ඔහු ඔවුන් අමතා, “බිය නොවන්න; ඔබ සොයන්නේ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ නාසරෙත්හි ජේසුස් වහන්සේ ය; උන් වහන්සේ උත්ථාන වූ සේක; උන් වහන්සේ මෙහි නැත; මේ බලන්න, ඔවුන් උන් වහන්සේ තැන්පත් කළ ස්ථානය; |
|
| 7 |
|
| යන්න, ඔබට කී ලෙස ම උන් වහන්සේ ඔබට කලින් ගලීලයට වඩිනා බවත්, එහි දී ඔබ උන් වහන්සේ දක්නා බවත්, ශ්‍රාවකයන්ට ද පේදුරුට ද දන්වන්නැ”යි කී ය. |
|
| 8 |
|
| ඔව්හු කම්පිත ව, විස්මිත ව සොහොන් ගෙයින් පිට වී පලා ගියහ. තවද, ඔව්හු භීත ව සිටි බැවින්, කිසිවෙකුට කිසිවක් නොකී හ. |
|
| 9 |
|
| සතියේ පළමු වන දා අලුයම ජේසුස් වහන්සේ නැඟිට වදාළ කල, උන් වහන්සේ තමන් විසින් දුෂ්ටාත්මයන් සත් දෙනෙකු දුරු කරනු ලැබූ මග්දලායේ මරියාට මුලින් ම දර්ශනය වූ සේක. |
|
| 10 |
|
| ඈ ගොස්, අඬමින් වැලපෙමින් සිටි උන් වහන්සේගේ හිතවතුන්ට එපවත් සැළ කළා ය. |
|
| 11 |
|
| එහෙත්, උන් වහන්සේ ජීවමාන ව සිටින බව ද ඇයට දර්ශනය වූ බව ද ඇසූ විට ඔව්හු එය විශ්වාස නො කළහ. |
|
| 12 |
|
| ඉක්බිති ඔවුන්ගෙන් දෙදෙනෙකු පිටිසරට යන කල උන් වහන්සේ අන් විලසකින් ඔවුන්ට දර්ශනය වූ සේක. |
|
| 13 |
|
| ඒ දෙදෙන ආපසු ගොස් අනික් අයට එපවත් දැන්වූ හ. ඔව්හු ඔවුන් කී දෙය ද විශ්වාස නො කළහ. |
|
| 14 |
|
| පසුව ජේසුස් වහන්සේ, එකොළොස් දෙනා ආහාර වළඳමින් සිටිය දී ඔවුන්ට ද දර්ශනය වී, උන් වහන්සේ උත්ථාන වූ පසු තමන් වහන්සේ දුටුවන් කීදේ ඔවුන් නොඇදහූ නිසා, ඔවුන්ගේ අවිශ්වාසය හා සිත් දැඩි කම ගැන ඔවුන්ට දොස් පැවරූ සේක. |
|
| 15 |
|
| උන් වහන්සේ ඔවුන් අමතා, “ලොව පුරා ගොස් සකල සත්ත්වයා හට සුබ අස්න දේශනා කරන්න; |
|
| 16 |
|
| අදහා බව්තීස්ම-ස්නාපනය ලබන තැනැත්තේ ගැළවීම ලබන්නේ ය; එහෙත්, අදහා නොගත් තැනැත්තේ වරදකරු යයි තීන්දුව ලබන්නේ ය. |
|
| 17 |
|
| අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම් මේ ය: ඔව්හු මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති; අමුතු භාෂාවලින් කතා කරති; |
|
| 18 |
|
| සර්පයන් අතින් අල්ලාගනිති; යම් මාරක විසක් බීවත් ඉන් කිසි අනතුරකට පත් නොවෙති; රෝගීන් පිට අත් තැබූ විට, ඔව්හු සුවය ලබති”යි වදාළ සේක. |
|
| 19 |
|
| මෙසේ ජේසුස් ස්වාමීන් වහන්සේ ඔවුන්ට කතා කළ පසු, ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක. |
|
| 20 |
|
| ඔව්හු නික්ම ගොස් සෑම තැන ම දේශනා කළහ. සමිඳාණන් වහන්සේ ද ඔවුන් සමඟ ක්‍රියා කරමින්, ඔවුන් අතර සිදු කළ හාස්කම් මඟින් ඒ දේශනය සහතික කර වදාළ සේක. ඔව්හු මෙකී අවවාදානුශාසනා පේදුරුට ද ඔහුගේ සහචරයන්ට ද සැකෙවින් පැවසූ හ. ඉක්බිති ජේසුස් වහන්සේ ම සදාතන ගැළවීම පිළිබඳ සුවිශුද්ධ, අජරාමර පණිවුඩය ඔවුන් ලවා පෙරදිග සිට අපරදිග දක්වා යවා වදාළ සේක. ආමෙන්. |
|
|
|
|