|
| 1 |
|
| දින ගණනකට පසු ජේසුස් වහන්සේ යළිත් කපර්ණවුමට පිවිසුණු සේක. උන් වහන්සේ ගෙදර සිටින බව පතළ විය. |
|
| 2 |
|
| එවිට දොරකඩ අසලවත් ඉඩක් නැති තරමට මහ පිරිසක් එහි රැස් වූ හ. උන් වහන්සේ ඔවුන්ට දහම් දෙසමින් සිටි සේක. |
|
| 3 |
|
| එකල සතර දෙනෙක් අංසබාග රෝගියෙකු උසුලාගෙන උන් වහන්සේ වෙත ආහ. |
|
| 4 |
|
| සමූහය නිසා උන් වහන්සේ වෙත යාගත නොහැකි වූයෙන් ඔව්හු උන් වහන්සේ සිටි තැනට ඉහළින් පියස්සේ සෙවිල්ල හැර, පියස්ස කඩා, අංසබාග රෝගියා ඔත් යහන පහතට බැස්වූ හ. |
|
| 5 |
|
| ජේසුස් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, “පුත්‍රය, ඔබේ පව් කමා කර තිබේ” යයි අංසබාග රෝගියාට වදාළ සේක. |
|
| 6 |
|
| එහෙත් එතැන හුන් විනයධරයන්ගෙන් සමහරෙක් තර්ක කරමින්, |
|
| 7 |
|
| “මේ මිනිහා මෙසේ කතා කරන්නේ මක්නිසා ද? මේ දේවාපහාසයකි! දෙවියන් වහන්සේට මිස පව් කමා කරන්න පුළුවන් වෙන කාට දැ”යි සිතූ හ. |
|
| 8 |
|
| ඔවුන් මෙසේ තර්ක කරන බව ජේසුස් වහන්සේගේ සිතට එකෙණෙහි ම දැනී, ඔවුන්ට කතා කොට, “ඔබ කුමක් නිසා ඔබේ සිත් තුළ මෙසේ තර්ක කරන්නහු ද? |
|
| 9 |
|
| වඩා පහසු කුමක් ද? අංසබාග රෝගියාට ‘ඔබේ පව් කමා කරන ලදැ’යි කීම ද? නැතහොත්, ‘නැඟිට ඔබේ යහන රැගෙන යන්නැ’යි කීම ද? |
|
| 10 |
|
| එහෙත්, මෙලොව දී පව් කමා කිරීමේ බලය මනුෂ්‍ය-පුත්‍රයාණන්ට ඇති බැව් ඔබ දැනගන්නා පිණිස මම මෙසේ කරමි”යි කියා උන් වහන්සේ අංසබාග රෝගියාට කතා කොට, |
|
| 11 |
|
| “නැඟිට ඔබේ යහන රැගෙන ගෙදර යන්නැ යි මම ඔබට කියමි”යි වදාළ සේක. |
|
| 12 |
|
| ඔහු නැඟිට එකෙණෙහි ම යහන රැගෙන පිරිස බලා සිටිය දී ම නික්ම ගියේ ය. සියල්ලෝ ම විස්මිත ව, “මෙවැන්නක් අප කවදාවත් දැක නැතැ”යි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. |
|
| 13 |
|
| නැවත උන් වහන්සේ පිටත් ව මුහුද අසලින් ගිය සේක. මුළු සමූහයා උන් වහන්සේ වෙත රැස් වූ හ. උන් වහන්සේ ඔවුන්ට ඉගැන්වූ සේක. |
|
| 14 |
|
| උන් වහන්සේ මඟ වඩින විට, අල්පෙවුස්ගේ පුත් ලෙවී නැමැත්තා රේගු පොළේ හිඳිනු දැක, “මා අනුව එන්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය. |
|
| 15 |
|
| තවද, උන් වහන්සේ ඔහුගේ නිවසෙහි කෑමට වැඩහුන් කල අයකැමියන් සහ පව්කාරයන් බොහෝ දෙනෙක් ද උන් වහන්සේ සහ උන් වහන්සේගේ ශ්‍රාවකයන් සමඟ හිඳගත්හ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් උන් වහන්සේගේ අනුගාමිකයෝ වූ හ. |
|
| 16 |
|
| උන් වහන්සේ පව්කාරයන් හා අයකැමියන් සමඟ ආහාර වළඳනු දුටු පරිසිවරුන්ගේ පක්ෂයේ විනයධරයෝ, “බලන්න, උන් වහන්සේ අයකැමියන් හා පව්කාරයන් සමඟ කන බොන සැටි”යි ශ්‍රාවකයන්ට කී හ. |
|
| 17 |
|
| ජේසුස් වහන්සේ ඒ අසා, “රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත; මා ආයේ දමිටුන් නොව අදමිටුන් කැඳවීමට ය”යි වදාළ සේක. |
|
| 18 |
|
| වරක් ජොහන්ගේ ගෝලයෝ ද පරිසිවරු ද උපවාසයෙහි යෙදුණාහ. එවිට සමහරෙක්, “ජොහන්ගේ ගෝලයෝ ද පරිසිවරුන්ගේ ගෝලයෝ ද උපවාස කරති; ඔබේ ශ්‍රාවකයන් උපවාස නොකරන්නේ මන්දැ”යි ජේසුස් වහන්සේගෙන් ඇසූ හ. |
|
| 19 |
|
| උන් වහන්සේ ඔවුන් අමතා මෙසේ වදාළ සේක: “මනාලයා ඔවුන් සමඟ සිටිය දී ඔහුගේ ඥාති මිත්‍රාදීන්ට උපවාස කළ හැකි ද? මනාලයා ඔවුන් සමඟ සිටින තුරු ඔවුන්ට උපවාස කළ නොහැකි ය. |
|
| 20 |
|
| එහෙත්, මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවසක් පැමිණෙයි. ඒ දවසේ දී ඔවුන් උපවාස කරනු ඇත. |
|
| 21 |
|
| තාන් රෙදි කඩකින් පරණ වස්ත්‍රයකට අණ්ඩයක් දමන කිසිවෙක් නැත, එසේ කළොත්, අලුත් රෙදි කඩට පරණ රෙද්ද ඇදී ඉරුම වඩා ලොකු වේ. |
|
| 22 |
|
| අලුත් මිදියුස පැරණි සම් බඳුන්වල වක්කරන කිසිවෙක් නැත. එසේ කළොත්, මිදියුසින් සම් බඳුන් පැළී, මිදියුසත් බඳුනුත් දෙක ම නැති වේ. නව මිදියුස දැමිය යුත්තේ නව බඳුන්වලට ම ය.” |
|
| 23 |
|
| තවද, උන් වහන්සේ සබත් දිනයේ දී වෙල්යායක් මැදින් වඩින විට, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කරල් කඩ කඩා ගියහ. |
|
| 24 |
|
| පරිසිවරු ඒ දැක, “බලන්න, මොවුන් සබත් දිනයෙහි නොකට යුත්තක් කරන්නේ මක්නිසා දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. |
|
| 25 |
|
| උන් වහන්සේ උත්තර දෙමින්, දාවිත් රජ තමාට ද සිය පිරිවරට ද කෑමට කිසිවක් නැති ව බඩගිනි වූ කල කළ දේ, |
|
| 26 |
|
| එනම්, අබියාතර් නායක පූජක ව සිටිය දී දාවිත් දෙවියන් වහන්සේගේ ගෘහයට පිවිස පූජකයන් මිස අන් කිසිවෙකු නොකෑ යුතු පිදූ පූප කා, සිය පිරිවරටත් දුන් වග, ඔබ කවදාවත් කියවා නැද්දැ”යි ඇසූ සේක. |
|
| 27 |
|
| උන් වහන්සේ ඔවුන්ට කතා කොට, සබත පිහිටුවන ලද්දේ මිනිසා උදෙසා ය; මිනිසා සබත උදෙසා නොවේ; |
|
| 28 |
|
| එහෙයින් මනුෂ්‍ය-පුත්‍රයාණෝ සබත් දිනට පවා අධිපතියාණෝ ය”යි වදාළ සේක. |
|
|
|
|