|
| 1 |
|
| නැවතත් උන්වහන්සේ මුහුද අද්දරදී උගන්වන්නට වූ සේක. විශාල ජනකායක් උන්වහන්සේ වටා රොක්වූයෙන්, උන්වහන්සේ මුහුදේ ඔරුවකට නැග, එහි හිඳගත් අතර, මුළු ජනකායම මුහුද අයිනේ වෙරළේ සිටියහ. |
|
| 2 |
|
| උන්වහන්සේ ඔවුන්ට බොහෝ දෑ ඉගැන්වූයේ උපමා අනුසාරයෙනි. ඔවුන්ට උගන්වමින්, උන්වහන්සේ මෙසේ කී සේක; |
|
| 3 |
|
| “සවන් දෙන්න! වපුරන්නෙක් බීජ වපුරන්නට පිටත්ව ගියේ ය. |
|
| 4 |
|
| ඔහු වපුරන කල, බීජ සමහරක් මඟ දිගේ වැටිණි. කුරුල්ලෝ ඇවිත් ඒවා කා දැමූහ. |
|
| 5 |
|
| සමහරක් එතරම් පස් නො තිබූ ගල් බිමේ වැටිණි. පස් නො ගැඹුරු බැවින්, ඒවා ඉක්මනින් පැළවිණි. |
|
| 6 |
|
| එහෙත් හිරු නැගුණ කල, ඒවා කරවී, මුල් නොමැතිකමින් වියළී ගියේ ය. |
|
| 7 |
|
| තවත් බීජ, කටු පඳුරු අතරේ වැටිණි. කටු පැළ වැඩී ඒවා යට කර දැමී ය. එබැවින් ඒවා පල දැරුවේ නැත. |
|
| 8 |
|
| සෙසු බීජ සරු බිමෙහි වැටිණි; ඒවා පැළවී, වැඩී, පල දරමින් තිස් ගුණයක්, හැට ගුණයක් හා සිය ගුණයක් බැගින් අස්වනු ඉපද වීය.” |
|
| 9 |
|
| එසේ කී උන්වහන්සේ, “කන් ඇත්තා අසත්වා!” යි කී සේක. |
|
| 10 |
|
| උන්වහන්සේ හුදෙකලාව සිටියදී, දොළොස් දෙනා සමඟ උන්වහන්සේ වටා සිටි අය, උපමා ගැන උන්වහන්සේගෙන් විමසූහ. |
|
| 11 |
|
| උන්වහන්සේ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රහස් දැනගැනීමට ඔබට වර දී තිබේ. එහෙත් පිටස්තර අයට හැම දෙයක්ම දන්වන්නේ උපමා මඟිනි. |
|
| 12 |
|
| මන්ද, “ ‘නිබඳව ඔවුන් දකින නමුදු කිසි විටෙක වටහා නො ගන්න පිණිස ය; නිබඳව අසන නමුදු කිසි විටෙක තේරුම් නො ගන්න පිණිස ය; නැතහොත් ඔවුන් හැරී කමාව ලබනු ඇතැ’ යි” පැවසූ සේක. |
|
| 13 |
|
| යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබට මේ උපමාව තේරෙන්නේ නැද්ද? එසේ නම් අනෙක් උපමා ඔබ තේරුම් ගන්නේ කොහොම ද? |
|
| 14 |
|
| වපුරන්නා වචනය වපුරයි. |
|
| 15 |
|
| වචනය වැපුරූ තැන්වල ඇතැම් දෙනා මඟ දිගේ වපුළ වූ බීජ වගෙයි. ඔවුන් ඇසූ කෙණෙහිම සාතන් ඇවිත් ඔවුන් තුළ වපුරන ලද බීජ පැහැර ගනී. |
|
| 16 |
|
| ගල් බිමේ වැපුරුණු බීජ වන්නේ වචනය අසා, එක්වරම එය සතුටින් පිළිගන්නා තැනැත්තා ය. |
|
| 17 |
|
| එහෙත් මුල් ඇද නො තිබූ බැවින්, ඔවුන් පැවත සිටින්නේ මද කලක් පමණි. වචනය නිසා හිංසා හෝ පීඩා හෝ පැමිණි කෙණෙහි ඔවුහු වැටී යති. |
|
| 18 |
|
| අනෙක් අය කටු අතරේ වපුළ ඒවායි. ඔවුන් වචනය අසන අයයි; |
|
| 19 |
|
| එහෙත් මේ ජීවිතයේ කම්කටොලු, ධන සම්පත්වල රැවටිල්ල හා අනිකුත් දේවලට ඇති ආශා ඇතුළු වී, වචනය පොඩිකර දමයි. එහෙයින් ඔවුන් පල දරන්නේ නැත. |
|
| 20 |
|
| සරු බිමෙහි වපුරන ලද්දවුන් වන්නේ, වචනය අසා, එය පිළිගෙන, තිස් ගුණයකින්, හැට ගුණයකින් හා සිය ගුණයකින් පල දරන අය යැ” යි පැවසූ සේක. |
|
| 21 |
|
| උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ පහනක් ගෙනෙන්නේ, එය බඳුනකින් වසා තබන්න ද? නැත්නම් ඇඳක් යට තබන්න ද? පහන් රුක මත තැබීමට නො වේ ද? |
|
| 22 |
|
| මන්ද අනාවරණ නො කරන්නට සඟවන ලද කිසිවක් නැත; එළියට නො ගෙනෙන ලෙස වසන් කරන කිසිවක් ද නැත. |
|
| 23 |
|
| අසන්නට කන් ඇත්තේ කවරකුට ද, ඔහු අසත්වා!” |
|
| 24 |
|
| උන්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “ඔබ අසන දෑ ගැන විමසිලිමත් වන්න. ඔබ මනින මිම්මෙන්ම ඔබට ද මැන දෙනු ලැබේ. ඊට වැඩියෙනුත් ඔබට දෙනු ලැබේ. |
|
| 25 |
|
| ඇති තැනැත්තාට වඩ වඩා දෙනු ලැබේ. නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් ගනු ලැබේ” යි කී සේක. |
|
| 26 |
|
| උන්වහන්සේ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳු ය. මිනිහෙක් තම පොළොවේ බීජ ඉසියි; |
|
| 27 |
|
| ඔහු නිදා සිටිය ද අවදිව සිටිය ද රැයේ හා දහවලේ ඒ බීජ පැළවී, වැඩෙයි. ඒ කෙසේදැයි ඔහු නො දනී. |
|
| 28 |
|
| පොළොවෙන්ම පල හට ගන්වයි. පළමුව දළු ද පසුව කරල් ද ඉන්පසුව කරල් පුරා බීජ ද හට ගන්වයි. |
|
| 29 |
|
| අස්වැන්න පැසුණු වහාම ඔහු ඊට දෑකැත්ත යොදයි. මන්ද අස්වැන්න ඇවිල්ලා” යි පැවසූ සේක. |
|
| 30 |
|
| උන්වහන්සේ යළි ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමාන කළ හැක්කේ කුමකට ද? ඊට යෙදිය හැකි උපමාව කුමක් ද? |
|
| 31 |
|
| එය අබ ඇටයකට සමාන ය. පොළොවේ වැපුරූ කල, ලොව බීජ අතර කුඩාම බීජය එයයි. |
|
| 32 |
|
| එනමුත් එය සිටවූ පසු වැඩී, එහි සෙවණේ පක්ෂීන්ට කැදලි තැනීමට තරම් විශාල අතු සහිතව ගෙවතු පැළෑටි අතර විශාලතම පැළෑටිය වේ යැ” යි පැවසූ සේක. |
|
| 33 |
|
| මේ හා සමාන උපමා බොහොමයක් මඟින් ඔවුනට තේරුම් ගත හැකි පමණට උන්වහන්සේ ඔවුනට වචනය පැවසූ සේක. |
|
| 34 |
|
| උපමාවකින් තොරව උන්වහන්සේ ඔවුනට කිසිවක්ම පැවසුවේ නැත. එහෙත් ස්වකීය ගෝලයින්ට උන්වහන්සේ පෞද්ගලිකව හැම දෙයක්ම තේරුම් කළ සේක. |
|
| 35 |
|
| එදින සවස් වූ කල ඔවුන් ඇමතූ උන්වහන්සේ, “අපි එගොඩට යමු” යි කී සේක. |
|
| 36 |
|
| සමූහයා එහි සිටියදී, උන්වහන්සේ ඔරුවේ සිටි අයුරින්ම, ඔවුහු තමන් සමඟ උන්වහන්සේ ගෙන ගියහ. තවත් ඔරු ද උන්වහන්සේ සමඟ විය. |
|
| 37 |
|
| සැඩ කුණාටුවක් හමා ආවේ ය. ඔරුව තුළට දිය පිරී එය ගිලෙන තරමට රැළි නැංගේ ය. |
|
| 38 |
|
| උන්වහන්සේ ඔරුවේ පසු භාගයේ, මෙට්ටයක් මත නිදා සිටි සේක. ගෝලයෝ උන්වහන්සේ අවදි කරවමින්, “ගුරුතුමනි! අප විනාශ වෙන්නටයි යන්නේ; ඒ ගැන තැකීමක් නැති දැ?” යි උන්වහන්සේට කීහ. |
|
| 39 |
|
| උන්වහන්සේ නැගිට, සුළඟට තරවටු කොට, “නිහඬ වනු! නිසලවනු!” යි මුහුදු රැළට කී සේක. එවිට සුළඟ නැවතිණ. සියල්ල නිසල විය. |
|
| 40 |
|
| උන්වහන්සේ ඔවුන් අමතා, “ඔබ ඔය තරම් බය මොකද? තවමත් ඔබට විශ්වාස නැද්දැ?” යි ඇසූ සේක. |
|
| 41 |
|
| එවිට මහත් බියකින් වෙළුණු ඔවුහු, ඔවුනොවුන් අමතමින්, “මොහු කවරෙක් ද? සුළඟත්, මුහුදත් පවා මොහුට කීකරු වෙතැ!” යි කීහ. |
|
|
|
|