|
| 1 |
|
| ඔව්හු මුහුදින් එතෙර ගෙරසීනයන්ගේ රටට පැමිණියහ. |
|
| 2 |
|
| උන් වහන්සේ ඔරුවෙන් බැස ආ කෙණෙහි ම අශුද්ධාත්මයක් ආවේශ වූවෙක් සොහොන් ගුහා අතරින් නික්ම එනු උන් වහන්සේට හමු විය. |
|
| 3 |
|
| ඔහු වාසය කෙළේ සොහොන් ගුහාවල ය. කිසිවෙකුට ඔහු කිසි සේත් දමනය කළ නොහැකි විය; යදමකින් වත් එය කළ නොහැකි විය. |
|
| 4 |
|
| බොහෝ වර විලංගුවලින් ද යදම්වලින් ද බඳිනු ලැබූ නමුත්, ඔහු යදම් කැබලි කොට කඩා, විලංගු සුණු විසුණු කොට දැමී ය. ඔහු මැඩලීමට තරම් ශක්තිය කිසිවෙකුට නො වී ය. |
|
| 5 |
|
| ඔහු දිවා රෑ දෙක්හි ම, කෑකෝගසමින් ද ගල්වලින් කපාගනිමින් ද සොහොන් ගුහා අතරත්, කඳු බෑවුම්වලත් සිටියේ ය. |
|
| 6 |
|
| ඔහු ජේසුස් වහන්සේ වඩිනු දුරතියා දැක, දිව අවුත්, පසඟ පිහිටුවා වැඳ, |
|
| 7 |
|
| මහහඬින් මොරගා, “පරමෝත්තම දෙවියන්ගේ පුත්‍ර වූ, ජේසුස් වහන්ස, ඔබත් මාත් අතර මොන ගනුදෙනුවක් ද? මට වද නොදෙන මෙන් දෙවියන්ගේ නාමයෙන් අයැදිමි”යි කී ය. |
|
| 8 |
|
| එසේ කීවේ “අශුද්ධාත්මය, මේ මිනිසාගෙන් දුරුවෙව”යි උන් වහන්සේ ඔහුට කී බැවිනි. |
|
| 9 |
|
| “නුඹේ නම කුමක් දැ”යි උන් වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. “මගේ නම සේනා ය, අපි සේනාංකයක් වම්හ”යි ඔහු කී ය. |
|
| 10 |
|
| තමන් රටෙන් පිට නොකරන ලෙස ඔහු උන් වහන්සේගෙන් උදක් ම අයැද සිටියේ ය. |
|
| 11 |
|
| එතැන කන්ද අද්දර මහත් ඌරු රැළක් ගොදුරු කමින් සිටියෝ ය. |
|
| 12 |
|
| අශුද්ධාත්මයෝ ද, “ඌරන්ට වැහෙන පිණිස අප උන් මැදට යැවුව මැනවැ”යි අයැද සිටියහ. |
|
| 13 |
|
| උන් වහන්සේ අවසර දුන් සේක. අශුද්ධාත්මයෝ නික්ම අවුත් ඌරන්ට වැහුණෝ ය. දෙ දහසක් පමණ වූ ඒ ඌරු රැළ ප්‍රපාතයෙන් පහත මුහුදට වේගයෙන් දිව ගොස් මුහුදේ ගිලී මළෝ ය. |
|
| 14 |
|
| ඌරු ගොවුවෝ පලා ගොස්, නුවර ද ගම්මානයේ ද එපවත් පතළ කළෝ ය. එවිට සිදුවූ දේ කුමක් දැ යි බලන පිණිස මිනිස්සු නික්ම ආහ. |
|
| 15 |
|
| ඔව්හු ජේසුස් වහන්සේ වෙත පැමිණ, අශුද්ධාත්මාවේශ වූ මිනිසා, එනම්, දුෂ්ටාත්ම සේනාංකය වැහී සිටි මිනිසා දැන් වස්ත්‍ර හැඳ හොඳ සිහිකල්පනාවෙන් හිඳිනු දැක භීතියට පත් වූ හ. |
|
| 16 |
|
| එය සියැසින් දුටු අය අශුද්ධාත්මාවේශ වූ මනුෂ්‍යයාට සිදුවූ දෙය ද ඌරන් පිළිබඳ සිද්ධිය ද ඔවුන්ට කියා දුන්හ. |
|
| 17 |
|
| ඔව්හු ද සිය දේශ සීමාවලින් පිට වී යන මෙන් උන් වහන්සේගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියෝ ය. |
|
| 18 |
|
| උන් වහන්සේ ඔරුවට නඟිද්දී, අශුද්ධාත්මාවේශ ව සිටි මිනිසා තමාටත් උන් වහන්සේ සමඟ යාමට අවසර දෙන මෙන් ආයාචනා කෙළේ ය. |
|
| 19 |
|
| උන් වහන්සේ ඊට අවසර නුදුන් සේක. “එහෙත්, ඔබ ගෙදර නෑ මිතුරන් වෙත ගොස්, සමිඳාණන් වහන්සේ ඔබට කොතරම් මහත් දේ කළ සේක් ද කොතරම් අනුකම්පාව පෙන්වූ සේක් ද කියා ඔවුන්ට දන්වන්නැ”යි වදාළ සේක. |
|
| 20 |
|
| ඔහු නික්ම ගොස්, ජේසුස් වහන්සේ තමාට කොතරම් මහත් දේ කළ සේක් දැ යි දෙකපොලිසෙහි ප්‍රසිද්ධ කරන්න වුනි. සියල්ලෝ ම විස්මිත වූ හ. |
|
| 21 |
|
| ජේසුස් වහන්සේ යළිත් ඔරුවෙන් එතෙර වූ කල මහා ජනකායක් උන් වහන්සේ වෙත රැස් වූ හ. උන් වහන්සේ ද මුහුදු වෙරළෙහි වැඩසිටි සේක. |
|
| 22 |
|
| එකල ධර්මශාලා ප්‍රධානීන් අතුරෙන් ජයිරස් නමැත්තෙක් අවුත්, උන් වහන්සේ දැක, පාමුල වැටී, |
|
| 23 |
|
| “මගේ පුංචි දුව මරණාසන්න ව සිටියි. ඈ සුවය ලබා ජීවත් වන පිණිස, ඔබ අවුත් ඈ පිට අත තැබුව මැනවැ”යි උන් වහන්සේට ආයාචනා කෙළේ ය. |
|
| 24 |
|
| උන් වහන්සේ ඔහු සමඟ වැඩිය සේක. මහත් සමූහයක් උන් වහන්සේ තෙරපමින් උන් වහන්සේ පිරිවරා ගියහ. |
|
| 25 |
|
| දොළොස් වසරක් ම මහා ලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක් එහි වූවා ය. |
|
| 26 |
|
| ඈ බොහෝ වෙදුන් අතින් අපමණ දුක් විඳ, තමා සතු සියල්ල වියදම් කොටත්, කිසි ගුණයක් නොලැබුවා ය. එපමණක් නොව ඇගේ තත්ත්වය අනුක්රමයෙන් වඩ වඩාත් උග්‍ර විය. |
|
| 27 |
|
| ඈ ජේසුස් වහන්සේ ගැන අසා, සමූහයා අතර පිටුපසින් ඇවිත්, උන් වහන්සේගේ වස්ත්‍රයට අත තැබුවා ය. |
|
| 28 |
|
| උන් වහන්සේගේ වස්ත්‍රවලට පමණ වත් අත තැබුවොත්, තමාට සුවය ලැබෙනු ඇතැ යි ඈ සිතුවා ය. |
|
| 29 |
|
| එකෙණෙහි ම ලේ ධාරාව නැවතී ඒ පීඩාවෙන් ඈට සුවය ලැබුණු බව ඇගේ ම ඇඟට දැනිණි. |
|
| 30 |
|
| එවේලේ ම ජේසුස් වහන්සේ තමන් කෙරෙන් අනුහස නික්ම ගිය බව දැන, සමූහයා මැද හැරී, “මාගේ වස්ත්‍රවලට අත තැබුවේ කවරෙක් දැ”යි ඇසූ සේක. |
|
| 31 |
|
| උන් වහන්සේගේ ශ්‍රාවකයෝ උත්තර දෙමින්, “සමූහයා ඔබට තෙරපි තෙරපී සිටිනු දැක දැකත්, මට අත ගැසුවේ කවරෙක් ද කියා අසන සේක් දැ”යි කී හ. |
|
| 32 |
|
| ඒ දේ කෙළේ කවරෙක් දැ යි සොයනු වස් උන් වහන්සේ අවට බැලූ සේක. |
|
| 33 |
|
| එහෙත් ස්ත්‍රිය සිදු වූ දේ දැක බිය වී, වෙවුළ වෙවුළා අවුත්, උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටී, මුළු ඇත්ත උන් වහන්සේට කීවා ය. |
|
| 34 |
|
| උන් වහන්සේ කතා කරමින්, “දියණියනි, ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කෙළේ ය; ශාන්ත සිතින් යන්න; ඔබේ පීඩාවෙන් මිදී වසන්නැ”යි ඈට වදාළ සේක. |
|
| 35 |
|
| උන් වහන්සේ මෙවදන් පවසත්ම ධර්මශාලා නායකයාගේ ගෙදරින් සමහරු අවුත්, “ඔබේ දුව මළා ය. ඉතින් ගුරුදේවයන් තවත් වෙහෙසන්නේ කුමට දැ”යි කී හ. |
|
| 36 |
|
| එහෙත්, ජේසුස් වහන්සේ ඒ කීම නොසලකා ධර්මශාලා නායකයාට කතා කොට, “බිය නොවන්න, ඇදහිල්ල ඇති ව සිටින්නැ”යි වදාළ සේක. |
|
| 37 |
|
| උන් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ජාකොබ්ගේ සහෝදර වූ ජොහන් ද හැර අන් කිසිවෙකුට තමන් සමඟ එන්න ඉඩ නුදුන් සේක. |
|
| 38 |
|
| ඔව්හු ධර්මශාලා නායකයාගේ නිවෙසට පැමිණියෝ ය. එවිට උන් වහන්සේ කලබලයක් ද විලාප හා ළතෝනි නඟන්නන් ද දැක, |
|
| 39 |
|
| ගෙට පිවිස, “ඔබ කලබල වන්නේත්, විලාප කියන්නේත් මන් ද? දැරිය මැරී නැත; ඈ නිදන්නී ය”යි ඔවුන්ට වදාළ සේක. |
|
| 40 |
|
| එවිට ඔව්හු උන් වහන්සේට සරදම් කළහ. එහෙත්, උන් වහන්සේ සියල්ලන් බැහැර කොට, දරුවාගේ පියා ද මව ද තමන් සමඟ සිටියවුන් ද කැඳවාගෙන දරුවා හුන් තැනට ගොස් |
|
| 41 |
|
| ඇය අතින් අල්ලා, “තලිතාකුමි”යි ඈට වදාළ සේක. එහි අර්ථය: “දැරිය, මම ඔබට කියමි, නැඟිටින්න” යනු ය. |
|
| 42 |
|
| දොළොස් හැවිරිදි ඒ දැරිය, එකෙණෙහි ම නැඟිට ඇවිද්දා ය. ඔව්හු ද ඉමහත් විස්මයකින් භ්‍රාන්ත වූ හ. |
|
| 43 |
|
| මෙය කිසිවෙකුට නොදන්වන ලෙස ඔවුන්ට තදින් අණ දී, උන් වහන්සේ ඈට කෑමට යමක් දෙන්න නියම කළ සේක. |
|
|
|
|