|
| 1 |
|
| අප අතර ඉටු වූ දෑ ගැන වාර්තාවක් සම්පාදන කිරීම බොහෝ දෙනකුම බාරගෙන ඇත්තේ, |
|
| 2 |
|
| ඒවා මුල පටන් ඇසින් දුටු සාක්ෂිකරුවන් හා වචනයේ සේවකයින් අපට බාර දුන් දෑ අනුව ය. |
|
| 3 |
|
| මුල සිට ඒ සියලු දෑ විමසා බැලූ පසු, ඒවා අනුපිළිවෙලින් ඔබට ලියා එවීම මැනවයි මා අදහස් කළේ, ගරු තියෝපිලස් තුමනි, |
|
| 4 |
|
| ඔබට උගන්වන ලද දෑ පිළිබඳ නියත අවබෝධයක් එමඟින් ඔබට ලැබිය හැකි බැවිනි. |
|
| 5 |
|
| යුදයේ රජු වූ හෙරෝද්ගේ දවස්හි, අබියාගේ කාණ්ඩයට අයත් සෙකරියස් නම් පූජකයෙක් විසී ය. ඔහුට ආරොන්ගේ දියණියන්ගෙන් භාර්යාවක වූවා ය. ඈ නමින් එලිසබෙත් ය. |
|
| 6 |
|
| ස්වාමින්වහන්සේගේ සියලු අණ හා පණත්වල නිර්දෝෂීව හැසුරුණු මොවුන් දෙදෙනා, දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨයින් වූහ. |
|
| 7 |
|
| එහෙත් ඔවුනට දරුවන් සිටියේ නැත; මන්ද එලිසබෙත් වඳ ස්ත්‍රියක වූවා ය; තවද ඔවුන් දෙදෙනාම සිටියේ වයස් ගතව ය. |
|
| 8 |
|
| දේව මෙහෙවර සඳහා වාරය තම කාණ්ඩයට බාර වූ විටෙක, සෙකරියස් දෙවියන්වහන්සේ ඉදිරියේ පූජක මෙහෙයයේ යෙදෙමින් සිටියේ, |
|
| 9 |
|
| පූජකත්වයේ චාරිත්‍රයට අනුව ස්වාමින්වහන්සේගේ මාලිගයට ඇතුල්ව, සුවඳ දුම් දැවීමේ වාරය පස ඇට දැමීමෙන් ඔහු තෝරාගනු ලැබීමෙනි. |
|
| 10 |
|
| සුවඳ දුම් පුදන වේලේ සියලු බැතිමත්හු පිටත මළුවේ යාච්ඤා කරමින් වුන්හ. |
|
| 11 |
|
| එවිට ස්වාමින්වහන්සේගේ දූතයෙක්, දුම් පූජාසනයට දකුණු පස සිටගෙන සිටිනු ඔහුට පෙනුණේ ය. |
|
| 12 |
|
| ඔහු දුටු සෙකරියස් කලබල වී, බයින් ඇලළී ගියේ ය. |
|
| 13 |
|
| එහෙත් දේව දූතයා ඔහු අමතමින්, “බය නො වන්න සෙකරියස්, ඔබගේ යාච්ඤාව අසනු ලැබ ඇත; ඔබේ භාර්යාව එලිසබෙත්, ඔබට පුතකු බිහි කර දෙනු ඇත. ඔබ ඔහුට යොහන් යන නම තැබිය යුතු ය. |
|
| 14 |
|
| ඔහු නිසා ඔබට ප්‍රීතිය හා සොම්නස අත්වෙයි. ඔහුගේ උපත ගැන බොහෝ දෙනකු ප්‍රමෝද වනු ඇත. |
|
| 15 |
|
| මන්ද ඔහු ස්වාමින්වහන්සේ හමුවේ විශිෂ්ටයකු වනු ඇත. ඔහු මිදි යුෂ හෝ සැරබීම පානය නො කළ යුතු ය. මව් කුස තුළ පටන් ඔහු ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වනු ඇත. |
|
| 16 |
|
| ඔහු ඉශ්රායෙල් පුත්‍රයින්ගෙන් බොහෝ දෙනකු ඔවුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ වෙත යළි හරවනු ඇත. |
|
| 17 |
|
| තවද පියවරුන්ගේ අවධානය දරුවන් වෙත ද අකීකරුවූවන් ධර්මිෂ්ඨ ප්‍රඥාවට ද හැරවීමට එලියාගේ ආත්මයෙන් හා බලයෙන් යුක්තව, ස්වාමින්වහන්සේට යෝග්‍ය ලෙස ජනතාවක් හැඩ ගස්වමින්, ඔහු උන්වහන්සේට පෙරටුවෙන් යනු ඇතැ” යි පැවසී ය. |
|
| 18 |
|
| එවිට සෙකරියස් දේව දූතයා අමතමින්, “මා මෙය දැනගන්නේ කෙසේ ද? මා දැන් මහලුයි; මගේ භාර්යාවත් වයසට ගොස් ඇතැ” යි කීවේ ය. |
|
| 19 |
|
| එවිට දේව දූතයා පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේ ඉදිරියේ සිටගන්නා ගාබ්‍රියෙල් මමයි. මා එවන ලද්දේ ඔබ සමඟ කතා කොට, මේ ශුභාරංචිය ඔබට දන්වන්නටයි. |
|
| 20 |
|
| ඔන්න, මේ දෑ සිද්ධවන දවස දක්වා ඔබ කතා කරන්නට බැරිව, නිහඬව සිටිනු ඇත; මන්ද නිසි කල්හි ඉෂ්ට වන මගේ වචන ඔබ විශ්වාස කළ නැති නිසා යැ” යි පැවසී ය. |
|
| 21 |
|
| ඒ අතර, සෙකරියස් එන තෙක් බලා සිටි ජනයා, දේව මාලිගය ඇතුළත ඔහු පමා වන්නේ ඇයි දැයි පුදුම වෙමින් සිටියහ. |
|
| 22 |
|
| ඔහු පිටතට ආ කල, ඔවුනට කිසිවක් පැවසීමට ඔහු අපොහොසත් වූයෙන්, දේව මාලිගය තුළදී ඔහු යම් දර්ශනයක් දකින්නට ඇති වග ඔවුහු වටහා ගත්හ. ඔහු කතා බැරිව, ඔවුනට සංඥා කරන්නට වන්නේ ය. |
|
| 23 |
|
| තමාට නියමිත මෙහෙවර කාලය ගෙවුණු පසු, ඔහු තම නිවසට ආපසු ගියේ ය. |
|
| 24 |
|
| මේ දවස්වලට පසු, ඔහුගේ භාර්යාව, එලිසබෙත් ගැබ් ගෙන, පස් මසක් සැඟවී වෙසෙමින්, |
|
| 25 |
|
| “ස්වාමින්වහන්සේ මා දෙස බලා, මෙසේ කළ සේක, මේ දවස්හි ජනයා අතර වූ මගේ නින්දාව පහ කළ සේකැ” යි කීවා ය. |
|
| 26 |
|
| සවැනි මස දේව දූත ගාබ්‍රියෙල්, දෙවියන්වහන්සේ වෙතින් ගලීලයේ නාසරෙත් පුර |
|
| 27 |
|
| කන්‍යාවක වෙත යවන ලදී. දාවිත්ගේ පෙළපතේ මනුෂ්‍යයකු වූ යෝසෙප් නැමැත්තකුට විවාහ ගිවිසි මෙම කන්‍යාවගේ නම මරියා ය. |
|
| 28 |
|
| දේව දූතයා ඇය වෙත පැමිණ, “සැරදේවා! ඉමහත් ප්‍රසාද ලත් තැනැත්තිය, ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේකැ” යි කීවේ ය. |
|
| 29 |
|
| ඒ කියමනෙන් මහත් සේ කැලඹුණු ඕ, ඒ කවර අන්දමේ ආචාරයක් දෝයි සිතන්නට වූවා ය. |
|
| 30 |
|
| දේව දූතයා ඇය අමතමින්, “බය වන්න එපා මරියා. ඔබට දෙවියන්වහන්සේගේ ප්‍රසාදය ලැබිලා. |
|
| 31 |
|
| ඔන්න, ඔබේ ගර්භයේ දරුවකු පිළිසිඳ, ඔබ පුතකු බිහි කරනු ඇත. යේසුස් යන නමින් ඔබ උන්වහන්සේ ඇමතිය යුතු ය. |
|
| 32 |
|
| උන්වහන්සේ උත්තම වන සේක්, පරමෝත්තම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ යයි හඳුන්වනු ලබන සේක. උන්වහන්සේගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය, ස්වාමින්වහන්සේ වූ දෙවියන්වහන්සේ උන්වහන්සේට දෙන සේක. |
|
| 33 |
|
| උන්වහන්සේ යාකොබ් වංශය කෙරෙහි සදහට ම රජකම් කරන සේක. උන්වහන්සේගේ රාජ්‍යයට අවසානයක් නැත්තේ යැ” යි කීවේ ය. |
|
| 34 |
|
| එවිට මරියා දේව දූතයා අමතා, “මා කන්‍යාවකව සිටියදී එහෙම වෙන්නේ කොහොම දැ?” යි ඇසුවා ය. |
|
| 35 |
|
| දේව දූතයා ඇයට පිළිතුරු දෙමින්, “ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ කරා එන සේක. පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ඔබ වසාගනු ඇත. එබැවින් උපදින දරුවා ශුද්ධ ය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයි කියනු ලබන්නාහ. |
|
| 36 |
|
| බලන්න, ඔබේ නෑයා, එලිසබෙත් ඇගේ මහලු වයසේ පුතකු පිළිසිඳගෙන! වඳ එකියෙකැයි කියනු ලැබූ ඈ දැන් හය මසක ගැබිණියක්. |
|
| 37 |
|
| මන්ද දෙවියන්වහන්සේ පැවසූ කිසි වචනයක් බල රහිත නො වන්නේ යැ” යි පැවසී ය. |
|
| 38 |
|
| මරියා පිළිතුරු දෙන්නී, “මෙන්න මා, ස්වාමින්වහන්සේගේ දාසියයි. ඔබ කී වචනය ලෙස මට සිදු වේවා” යි කීවා ය. දේව දූතයා ඇය වෙතින් පිටත්ව ගියේ ය. |
|
| 39 |
|
| එදවස්හි මරියා සූදානම්ව, යුදයේ කඳුකර නගරයකට යුහු යුහුව ගොස්, |
|
| 40 |
|
| සෙකරියස්ගේ නිවසට ඇතුල්ව, එලිසබෙත්ට ආචාර කළා ය. |
|
| 41 |
|
| මරියාගේ ආචාරය ඇසුණු කල, එලිසබෙත්ගේ කුසෙහි දරුවා පැන නැංගේ ය. එවිට ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් පූර්ණ වූ එලිසබෙත්, |
|
| 42 |
|
| උස් හඬ නගා කියන්නී, “ස්ත්‍රීන් අතරින් ඔබ ආශිර්වාද ලද්දී ය. ඔබ කුස ඔත් දරු පලය ද ආශිර්වාදිතයි. |
|
| 43 |
|
| එනමුත්, මාගේ ස්වාමින්වහන්සේගේ මෑණියන් මා වෙත ඒමට තරම් ගෞරවයක් මා ලද්දේ කුමක් හෙයින් ද? |
|
| 44 |
|
| බලන්න, ඔබගේ ආචාර හඬ මට ඇසුණු සැණේ, මා කුස ඔත් ළදරුවා ප්‍රීතියෙන් පැන්නා. |
|
| 45 |
|
| ස්වාමින්වහන්සේ ඇයට පැවසූ දෑ ඉෂ්ට වෙතැයි විශ්වාස කළ තැනැත්තිය ආශිර්වාදිත යැ!” යි කීවා ය. |
|
| 46 |
|
| එවිට මරියා මෙසේ පැවසුවා ය: “මාගේ ජීවය ස්වාමින්වහන්සේ වර්ණනා කරයි; |
|
| 47 |
|
| මාගේ ගැලවුම්කරුවාණන් වන දෙවියන්වහන්සේ තුළ මාගේ ආත්මය ප්‍රීති වෙයි. |
|
| 48 |
|
| මන්ද තම දාසියගේ පහත්කම, උන්වහන්සේ සැලකූ සේක; දැන් මෙන්න, මෙතැන් පටන් හැම පරපුරක්ම, ආශිර්වාද ලද්දී ය කියා මට කියනු ඇත. |
|
| 49 |
|
| මන්ද පරාක්‍රමයාණන්වහන්සේ මා උදෙසා මහත් දේ කළ සේක. උන්වහන්සේගේ නාමය පාරිශුද්ධ ය. |
|
| 50 |
|
| උන්වහන්සේගේ දයාව, පරපුරෙන් පරපුරට, උන්වහන්සේට බය ඇත්තන්ට ය. |
|
| 51 |
|
| උන්වහන්සේ තම බාහුවෙන් ශක්තිය පෙන්වූ සේක; තම හදවත් තුළ උඩඟු සිතිවිලි ඇත්තන් උන්වහන්සේ විසිරවූ සේක. |
|
| 52 |
|
| උන්වහන්සේ අධිපතීන් ඔවුන්ගේ සිංහාසනවලින් පහකර, නිහතමානීන් ඔසවා තැබූ සේක. |
|
| 53 |
|
| උන්වහන්සේ සාගිනි වූවන් යහ දෙයින් පුරවා, ධනවතුන් හිස් අතින් ඉවත යැවූ සේක්, |
|
| 54 |
|
| උන්වහන්සේට තම දයාව සිහි ගන්වමින් තම සේවක ඉශ්රායෙල්ට උපකාර කළේ, |
|
| 55 |
|
| අප පියවරුනට, ආබ්‍රහම්ට හා සදහට ම ඔහුගෙන් පැවත එන්නන්ට, උන්වහන්සේ කතා කළ පරිද්දෙනි.” |
|
| 56 |
|
| එලිසබෙත් සමඟ තෙමසක් පමණ නැවතී සිටි මරියා, තම නිවසට ආපසු ආවා ය. |
|
| 57 |
|
| එලිසබෙත්ට ප්‍රසූති කාලය පැමිණි කල, ඕ පුතකු බිහි කළා ය. |
|
| 58 |
|
| ස්වාමින්වහන්සේ ඇයට පෑ මහත් දයාව ගැන ඇසූ ඇගේ නෑයෝ හා අසල්වැසියෝ ඇය සමඟ ප්‍රීති වූහ. |
|
| 59 |
|
| අට වන දවසේ, දරුවා චර්මඡේද කරන්නට පැමිණි ඔවුහු, ඔහුගේ පියාට අනුව, ඔහුට සෙකරියස් යන නම තබන්නට සැරසුණහ. |
|
| 60 |
|
| එහෙත් ඔහුගේ මව කතා කරමින්, “නැත; ඔහු යොහන් නමින් හඳුන්වන්නට ඕනෑ” යි කීවා ය. |
|
| 61 |
|
| “ඔබේ පවුලේ කිසිවකුටත් එවැනි නමක් නැතැ” යි ඔවුහු ඇයට පැවසූහ. |
|
| 62 |
|
| ඉන්පසු ඔවුහු, ඔහුගේ පියා ඔහුට කවර නමක් දීමට කැමැත්තේදැයි විමසමින් ඔහුට සංඥා කළහ. |
|
| 63 |
|
| එවිට ඔහු ලියන ලෑල්ලක් ඉල්ලා ගෙන, “ඔහුගේ නම යොහන්” කියා ලීවේ ය. එවිට සියල්ලෝ විස්මිත වූහ. |
|
| 64 |
|
| එකෙණෙහි ඔහුගේ මුව විවරව, ඔහුගේ දිව ලිහී, ඔහු දෙවියන්වහන්සේ පසසමින් කතා කළේ ය. |
|
| 65 |
|
| අසල්වාසී සියල්ලෝ බයින් ඇලළී ගියෝ ය; යුදයේ කඳුකරය පුරා වූ ජනයා මේ දෑ ගැන කතා කරන්නට වන්හ. |
|
| 66 |
|
| මේ ගැන ඇසූ සැවොම එය සිත්හි තබාගෙන, “ඉතින් මේ දරුවා කෙබඳු කෙනෙක් වේදෝ?” යි කීහ. මන්ද ස්වාමින්වහන්සේගේ හස්තය ඔහු පිට පැවතියේ ය. |
|
| 67 |
|
| ඔහුගේ පියා වූ සෙකරියස්, ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව, මෙසේ දිවැස් වැකි පැවසී ය: |
|
| 68 |
|
| “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන, ස්වාමින්වහන්සේට තුති පැසසුම් වේවා; මන්ද උන්වහන්සේ ස්වකීය ජනයා වෙත පැමිණ, ඔවුන් මිදූ සේක, |
|
| 69 |
|
| සිය සේවක දාවිත්ගේ පෙළපතින් ගැලවීමේ අඟක් උන්වහන්සේ අපට නැගිටුවා දුන්නේ, |
|
| 70 |
|
| ඉහතදී තම ශුද්ධ දිවැසිවරුන්ගේ මුඛයෙන් උන්වහන්සේ පවසා තිබූ පරිද්දෙන්, |
|
| 71 |
|
| අපගේ සතුරන්ගෙන් හා අපට වෛර කරන සියල්ලන් අතින් අප ගලවනු ලැබීමට ය. |
|
| 72 |
|
| අපගේ පියවරුනට පොරොන්දු වූ දයාව පෙන්වීමට හා උන්වහන්සේගේ ශුද්ධ ගිවිසුම සිහිකිරීමට ය. |
|
| 73 |
|
| අපගේ පිය වූ ආබ්‍රහම්ට දිවුළ ඒ දිවුරුම, |
|
| 74 |
|
| අපගේ සතුරන් අතින් අප මුදන්නට හා බයින් තොරව උන්වහන්සේට මෙහෙ කරන්නට අපට හැකි වන පිණිස ය; |
|
| 75 |
|
| අපේ සියලු දවස්වල ශුද්ධත්වයෙන් හා ධර්මිෂ්ඨත්වයෙන් යුතුව උන්වහන්සේ අබියස එසේ කළ හැකි වන පිණිස ය. |
|
| 76 |
|
| “මා දරුව, නුඹ මහෝත්තමයාණන්ගේ දිවැසිවරයා යයි හඳුන්වනු ලබනු ඇත. මන්ද නුඹ ස්වාමින්වහන්සේගේ මාර්ගය සකස්කරන්නට උන්වහන්සේට පෙරටුව ගමන් ගනු ඇත්තේ, |
|
| 77 |
|
| උන්වහන්සේගේ ජනයාට ඔවුන්ගේ පාපවලට කමාව තුළින් ගැලවීමේ දැනුම ගෙන දීමට ය. |
|
| 78 |
|
| අපගේ දෙවියන්වහන්සේගේ මෘදු වූ දයාව නිසා ය, ඉහළ අහසේ සිට අපට හිරු උදාවන්නේ; |
|
| 79 |
|
| ඒ, අන්ධකාරයේ හිඳ සිටින්නන් හා මරණ සෙවණේ හිඳින්නන් පිට බබළන පිණිසත්, සාමයේ මාර්ගයට අපගේ පා යොමු කරවන පිණිසත් ය.” |
|
| 80 |
|
| දරුවා වැඩී, ආත්මයෙන් බලවත් විය; ඉශ්රායෙල් වෙත ප්‍රසිද්ධියේ පෙනී සිටින තෙක්, ඔහු පාළුකරයේ වාසය කළේ ය. |
|
|
|
|