|
| 1 |
|
| තවද එසමයෙහි, අධිරාජ්‍යයේ සියලු වැසියන්ගේ සංගණනයක් ගැනීමට අගොස්තුස් අධිරාජයා වෙතින් නියෝගයක් නික්මිණි. |
|
| 2 |
|
| මේ වනාහි කුරේනියස් සිරියාවේ ආණ්ඩුකාරයා ව සිටිය දී කරන ලද පළමු වන සංගණනය යි. |
|
| 3 |
|
| සියල්ලෝ ලියාපදිංචි වනු පිණිස තම තමන්ගේ නුවරවලට ගියහ. |
|
| 4 |
|
| ජෝසෙප් ද දාවිත්ගේ වංශය හා පෙළපතට අයිති වූයෙන්, ගලීලයේ නාසරෙත් නුවරින් නික්ම ජුදයේ බෙත්ලෙහෙම් නම් දාවිත්ගේ නුවර බලා ගියේ ය. |
|
| 5 |
|
| ඔහු ගියේ, තමාට විවාහ ගිවිසුම් දුන්, ගැබ්ගෙන සිටි මරිය තුමී සමඟ ලියාපදිංචි වන පිණිස ය. |
|
| 6 |
|
| තවද, ඔවුන් එහි සිටිය දී ඇගේ ප්‍රසව කාලය සම්පූර්ණ විය. |
|
| 7 |
|
| ඈ කුලුඳුල් පුත්‍රයා බිහි කොට රෙදිවලින් ඔතා, නවාතැන්ගෙයි ඉඩකඩ නොතිබුණු බැවින්, ගව ඔරුවක බෑවුවා ය. |
|
| 8 |
|
| තවද, එම පළාතෙහි එඬේරු රෑ යාමයෙහි සිය බැටළු රැළ රකිමින් පිට්ටනියෙහි සිටියහ. |
|
| 9 |
|
| එවිට සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ඔවුන්ට දර්ශනය විය: සමිඳාණන් වහන්සේගේ තේජශ්‍රීය ඔවුන් සිසාරා බැබළිණි; ඔව්හු අතිශයින් බියපත් වූ හ. |
|
| 10 |
|
| එහෙත් දේව දූතයා ඔවුන්ට කතා කොට, “බිය නොවන්න; මෙන්න, සකල ජනයා හට ඉතා ආනන්දජනක මංගල පුවතක් මම ඔබ වෙත ගෙනෙමි. |
|
| 11 |
|
| මක්නිසා ද, ස්වාමීන් වන ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් ඔබ හට දාවිත්ගේ නුවර අද උපන්නේ ය. |
|
| 12 |
|
| රෙදිවලින් ඔතා ගව ඔරුවක සතප්වා සිටින බිළිඳෙක් ඔබට සම්බ වන්නේ ය. එය ඔබට සලකුණ ය”යි කී ය. |
|
| 13 |
|
| ඒ ඇසිල්ලෙහි ම දේව දූතයා සමඟ ස්වර්ග සේනා සමූහයක් දෙවියන් වහන්සේ පසසමින්, |
|
| 14 |
|
| “අති උසස් තැන්හි දෙවිඳුන්ට මහිමය ද මිහි පිට දේව ප්‍රසාදය ලත් ජනයා අතර සාමය ද වේ වා”යි ගැයූ හ. |
|
| 15 |
|
| තවද, දේව දූතයන් ඔවුන් කෙරෙන් සගලොවට ගිය කල, එඬේරු, “අපි වහාම බෙත්ලෙහෙමට ගොස් සමිඳාණන් වහන්සේ අපට දන්වා වදාළ මේ සිද්ධිය බලමු”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ. |
|
| 16 |
|
| ඔව්හු යුහුව ගොස් මරිය තුමී ද ජෝසෙප් ද ගව ඔරුවක සතප්වා හුන් බිළිඳා ද දුටුවෝ ය. |
|
| 17 |
|
| ඔව්හු ඒ දැක මේ දරුවා ගැන තමන්ට දන්වන ලද දේ පළ කළහ. |
|
| 18 |
|
| ඒ ඇසූ සියල්ලෝ, එඬේරුන් පැවසූ සියල්ල ගැන මවිත වූ හ. |
|
| 19 |
|
| එහෙත්, මරිය තුමී එකී සියල්ල සිත්හි නිදන් කොට ඒවා මෙනෙහි කළා ය. |
|
| 20 |
|
| එඬේරු ද තමන්ට දන්වන ලද ලෙස ම ඇසූ දුටු සියල්ල ගැන දෙවියන් වහන්සේට ගෞරව කරමින් ද ප්‍රශංසා කරමින් ද පෙරළා ගියහ. |
|
| 21 |
|
| උන් වහන්සේගේ චර්මඡේදන පිළිවෙත සඳහා අට දවස පිරුණු කල, උන් වහන්සේ කුසෙහි පිළිසිඳගැනීමට පෙර දේව දූතයා විසින් දෙන ලද, ‘ජේසුස්’ යන නාමය උන් වහන්සේට තබන ලද්දේ ය. |
|
| 22 |
|
| මෝසෙස්ගේ ව්‍යවස්ථාව අනුව ඔවුන්ගේ පවිත්‍ර වීමේ කාලය පැමිණියෙන්, ඔව්හු උන් වහන්සේ සමිඳාණන් වහන්සේට කැප කරනු වස්, ජෙරුසලමට ගෙනාහ. |
|
| 23 |
|
| එසේ කෙළේ, “හැම කුලුඳුල් පිරිමි දරුවෙක් ම සමිඳාණන් වහන්සේට කැප ය”යි සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇති ලෙස, දරුවා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිසත්, |
|
| 24 |
|
| එහි ම කියා ඇති පරිදි කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ පූජා කරන පිණිසත් ය. |
|
| 25 |
|
| එකල, සිමියොන් නම් මිනිසෙක් ජෙරුසලමෙහි විසී ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ විමුක්තිය අපේක්ෂාවෙන් සිටි දැහැමි බැතිමතෙකි. ශුද්ධාත්මයාණෝ ඔහු කෙරෙහි වැඩහුන්හ. |
|
| 26 |
|
| සමිඳාණන් වහන්සේ අභිෂේක කළ ‘ක්‍රිස්තුන් වහන්සේ දක්නට පළමුවෙන් ඔහු මරණය නොදක්නේ ය’යි ශුද්ධාත්මයාණන් විසින් ඔහුට අනාවරණය කරනු ලැබ තිබිණි. |
|
| 27 |
|
| ඔහු ශුද්ධාත්මානුභාවයෙන් දේව මාලිගාවට පැමිණියේ ය. ළදරු ජේසුස් වහන්සේ පිළිබඳ ව ව්‍යවස්ථාවෙහි සඳහන් වත්පිළිවෙත් ඉටු කරනු වස්, දෙමවුපියන් උන් වහන්සේ ගෙනා විට, |
|
| 28 |
|
| ඔහු උන් වහන්සේ දෝතින් වඩාගෙන මෙසේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය: |
|
| 29 |
|
| “සමිඳුනි, ඔබ පොරොන්දු වූ ලෙස ම දැන් ඔබ දාසයා හට, ශාන්ති සිතින් යාමට ඔබ නිදහස දී ඇත, |
|
| 30 |
|
| මන්ද, ගැළවීම මාගේ දෙනෙතින් දිටිමි. |
|
| 31 |
|
| එය සකල ජාතීන් අබිමුව කළ ගැළවීම ද |
|
| 32 |
|
| විජාතීන්ට එළිය දෙන ආලෝකය ද ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ මහිමය ද වේ.” |
|
| 33 |
|
| උන් වහන්සේ පිළිබඳ ව කී දේ ගැන උන් වහන්සේගේ පියා ද මවු ද මවිත වූ හ. |
|
| 34 |
|
| සිමියොන් ඔවුන්ට ආශීර්වාද කරමින් උන් වහන්සේගේ මව වූ මරිය තුමීට කතා කොට, “මේ දරුවා ඉශ්රායෙල්හි බොහෝ දෙනෙකුගේ වැටීම හා නැඟීම පිණිසත්, ප්‍රතික්ෂේපයට ලක් වන දේව සලකුණක් වන පිණිසත්, නියම ව සිටී. |
|
| 35 |
|
| එසේ ය, ඔබේ ම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාළ වනු ඇත. මෙසේ වන්නේ, බොහෝ දෙනෙකුගේ සිත්හි රහස් කල්පනා එළිදරව් වන පිණිස ය”යි කී ය. |
|
| 36 |
|
| තවද, ආෂෙර්ගේ පෙළපතින් ආ පානුවෙල්ගේ දුවක වන බොහෝ වයස්ගත අන්නා නම් දිවැසිවරියක් වූවා ය. විවාහයෙන් පසු සත් වසක් සැමියා සමඟ විසූ ඈ |
|
| 37 |
|
| අසූ හතර අවුරුද්දක් වයස් වන තුරු වැන්දඹුවක් ව සිටියා ය. ඈ දේව මාලිගාවෙන් අහක් ව නො ගොස් දිවා රෑ දෙක්හි උපවාස හා යාච්ඤා පවත්වමින් නමස්කාර කළා ය. |
|
| 38 |
|
| ඈ ද ඒ මොහොතේ දී ම අවුත්, දෙවියන් වහන්සේට තුති පුදා, ජෙරුසලමේ විමුක්තිය අපේක්ෂා කළ සියලු දෙනා හට උන් වහන්සේ ගැන කතා කළා ය. |
|
| 39 |
|
| ජෝසෙප් සහ මරියා සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාවලිය අනුව සියල්ල ඉටු කළ පසු ගලීලයෙහි නාසරෙත් නම් සිය නුවරට පෙරළා ගියහ. |
|
| 40 |
|
| දරුවා වැඩී ශක්තිමත් ව ප්‍රඥාවෙන් පූර්ණ විය; දෙවියන් වහන්සේගේ ප්‍රසාදය උන් වහන්සේ කෙරෙහි විය. |
|
| 41 |
|
| ජේසුස් වහන්සේගේ මවුපියෝ අවුරුදු පතා පාස්කු උළෙල සඳහා ජෙරුසලමට ගියහ. |
|
| 42 |
|
| උන් වහන්සේ දොළොසැවිරිදි වූ කල, ඔව්හු සිරිත් ලෙස ඒ මංගල්‍යයට ගියහ. |
|
| 43 |
|
| ඔවුන් නියමිත දවස් ගෙවා පෙරළා එන අතර, ජේසුස් කුමරාණෝ ජෙරුසලමෙහි රැඳුණු සේක; එහෙත්, උන් වහන්සේගේ දෙමවුපියෝ ඒ බව නොදැන, |
|
| 44 |
|
| උන් වහන්සේ වන්දනාකාර පිරිස සමඟ ඇතැ යි සිතාගෙන, දවසක ගමන් ගොස්, නෑ මිතුරන් අතරෙහි උන් වහන්සේ සෙවූ හ. |
|
| 45 |
|
| එහෙත් සම්බ නොවූයෙන්, ඔව්හු උන් වහන්සේ සොයමින් ජෙරුසලමට පෙරළා ගියහ. |
|
| 46 |
|
| තෙදිනකට පසු ඔව්හු උන් වහන්සේ දේව මාලිගාවෙහි පඬිවරයන් මැද වැඩහිඳ ඔවුන් කී දේ අසමින් ද ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින් ද සිටිනු දුටුවෝ ය. |
|
| 47 |
|
| ඒ ඇසූ සියල්ලෝ ම උන් වහන්සේගේ බුද්ධි මහිමය හා පිළිතුරු ගැන විස්මිත වූ හ. |
|
| 48 |
|
| දෙමවුපියෝ උන් වහන්සේ දුටු කල මවිත වූ හ. උන් වහන්සේගේ මෑණියෝ, “පුතා, කුමක් නිසා අපට මෙසේ කෙළෙහි ද? බලන්න, ඔබේ පියා ද මම ද දුකින් තැවි තැවී ඔබ සෙවීමු”යි කී හ. |
|
| 49 |
|
| එවිට උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ මා සෙව්වේ මන් ද? මා පියාණන්ගේ මැදුරෙහි මා සිටිය යුතු බව ඔබ නොදන්නහු දැ”යි ඔවුන්ට වදාළ සේක. |
|
| 50 |
|
| එහෙත්, උන් වහන්සේගේ ඒ කීම ඔවුන්ට අවබෝධ නො වී ය. |
|
| 51 |
|
| උන් වහන්සේ ඔවුන් කැටුව ගොස් නාසරෙත් නුවරට පැමිණ ඔවුන්ට කීකරු වී විසූ සේක. උන් වහන්සේගේ මෑණියෝ මේ සියල්ලක් ම සිත්හි නිදන් කරගත්හ. |
|
| 52 |
|
| ජේසුස් වහන්සේ ප්‍රඥා මහිමයෙන් හා කාය ශක්තියෙන් ද දෙවියන් වහන්සේගෙන් හා මිනිසුන්ගෙන් ප්‍රසාදය ලබමින් ද වැඩුණු සේක. |
|
|
|
|