සිංහල NRSV
|
| 1 |
| සතියේ පළමු වන දින හිමිදිරි උදයේ තමන් සූදානම් කළ සුවඳ ද්‍රව්‍ය රැගෙන ස්ත්‍රීහු සොහොන් ගෙය ළඟට ගියාහු, |
| 2 |
| ගල සොහොන් ගෙයින් ඉවතට පෙරළා තිබෙනු දුටුවෝ ය. |
| 3 |
| ඔව්හු ඇතුළු වූ කල එහි ජේසුස් ස්වාමීන් වහන්සේගේ ශරීරය නුදුටුවෝ ය. |
| 4 |
| ඒ ගැන ඔවුන් වියවුල් ව සිටිය දී, කාන්ති විහිදුවන වස්ත්‍ර හැඳගත් මනුෂ්‍යයෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිටියහ. |
| 5 |
| ඒ දුටු ඔවුන් බියපත් ව තමන්ගේ මුහුණු බිමට හරවාගත් කල ඒ මනුෂ්‍යයෝ කතා කොට, “ජීවමාන තැනැන් වහන්සේ මළවුන් අතර සොයන්නේ මන් ද? |
| 6 |
| උන් වහන්සේ මෙහි නැත, උන් වහන්සේ උත්ථාන වූ සේක. |
| 7 |
| මනුෂ්‍ය-පුත්‍රයාණන් පව්කාර මිනිසුන්ගේ අත්වලට පාවාදෙනු ලබන්නටත්, කුරුසියෙහි ඇණ ගසනු ලබන්නටත්, තුන් වන දා නැවත නැඟිටින්නටත් යුතු ම යයි කියා උන් වහන්සේ ගලීලයේ සිටිය දී පැවසූ හැටි සිහි කරන්නැ”යි ඔවුන්ට කී හ. |
| 8 |
| එකල ඔව්හු උන් වහන්සේගේ වචන සිහි කොට සොහොන් ගෙයින් හැරී අවුත්, |
| 9 |
| එපවත් සියල්ල එකොළොස් දෙනාට ද සෙසු සියල්ලන්ට ද දැන්වූ හ. |
| 10 |
| ඒ ස්ත්‍රීහු නම්: මග්දලායේ මරියා, ජොවන්නා සහ ජාකොබ්ගේ මව වූ මරියා ය. ඔවුන් සහ අනිකුත් ස්ත්‍රීහු ද ප්‍රේරිතයන්ට එපවත් කී හ. |
| 11 |
| මෙපුවත ඔවුන්ට ප්රලාපයක් සේ පෙනී ගියෙන්, ඔව්හු ඔවුන්ගේ කීම විශ්වාස නොකළහ. |
| 12 |
| එහෙත්, පේදුරු නැඟිට සොහොන් ගෙය ළඟට දුව ගොස්, නැමී බලා, හණ රෙදි පමණක් තිබෙනු දැක, සිදුවූ දේ ගැන පුදුම වෙමින් සිය නිවෙසට ගියේ ය. |
| 13 |
| එම දවසෙහි ශ්‍රාවකයන්ගෙන් දෙදෙනෙක් ජෙරුසලමේ සිට කිලෝමීටර් එකොළහක් පමණ දුර වූ එම්මාවුස් නම් ගමට යමින් සිටියහ. |
| 14 |
| එසේ යද්දී, ඔව්හු සිදුවූ සියල්ල ගැන කතා කරමින් ගියහ. |
| 15 |
| තවද, ඔවුන් සාකච්ඡා කරමින් යද්දී, ජේසුස් වහන්සේ ම ඔවුන් සමීපයට වැඩ, ඔවුන් හා සමඟ ගමන්ගත් සේක. |
| 16 |
| ඔවුන් උන් වහන්සේ දුටු නමුත්, ඔවුන්ට උන් වහන්සේ හඳුනා ගත නොහැකි විය. |
| 17 |
| උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “මේ ඔබ තර්ක කරමින් යන්නේ කුමන කාරණා ගැන දැ”යි ඇසූ සේක. ඔව්හු දුක්මුසු මුහුණින් යුක්ත ව නතර වූ හ. |
| 18 |
| ඔවුන්ගෙන් ක්ලේයෝපස් නම් තැනැත්තා උත්තර දෙමින්, “මේ දවස්වල ජෙරුසලමෙහි සිදුවූ කාරණා නොදැන සිටින අමුත්තා ඔබ පමණක් දැ”යි උන් වහන්සේට කී ය. |
| 19 |
| “කවර කාරණා දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ඔව්හු උත්තර දෙමින්, “නාසරෙත්හි ජේසුස් වහන්සේ පිළිබඳ කාරණා ය. උන් වහන්සේ දෙවියන් වහන්සේ හා සකල ජනතාව ඉදිරියෙහි ක්‍රියාවෙහි ද කතාවෙහි ද බලසම්පන්න දිවැසිවරයෙකු ව සිටි සේක. |
| 20 |
| නායක පූජකවරු ද අපගේ ප්‍රධානීහු ද උන් වහන්සේ මරණයට නියම කොට කුරුසියෙහි ඇණ ගැසූ හ. |
| 21 |
| එහෙත්, ඉශ්රායෙල් මුදාලීමට සිටි එක ම තැනැන් වහන්සේ උන් වහන්සේ ය යනු අපගේ බලාපොරොත්තුව විය. එපමණක් නොවේ. මේ දේ සිදුවී අදට තුන් දවසක් ගත වී ඇත. |
| 22 |
| තවද, අපේ කණ්ඩායමේ ඇතැම් ස්ත්‍රීහු අද හිමිදිරි උදයේ සොහොන් ගෙය ළඟට ගොස්, |
| 23 |
| උන් වහන්සේගේ සිරුර නොදැක අවුත්, ඔවුන්ට දර්ශනය වූ දේව දූතයන් ‘උන් වහන්සේ ජීවමාන ව සිටින සේකැ’යි පැවසූ බව කියා අප විස්මිත කළහ. |
| 24 |
| අප හා සමඟ සිටි අයගෙන් සමහරෙක් සොහොන් ගෙය ළඟට ගොස් ඒ ස්ත්‍රීන් කී ලෙස ම දුටුවෝ ය. එහෙත්, ඔව්හු උන් වහන්සේ නුදුටුවෝ ය”යි කී හ. |
| 25 |
| එවිට උන් වහන්සේ ඔවුන් අමතා, “බුද්ධිහීන වූ ද දිවැසිවරයන් පැවසූ සියල්ල විශ්වාස කිරීමට මැළි වූ ද තැනැත්තෙනි, |
| 26 |
| ක්‍රිස්තුන් වහන්සේ ඒ දුක් විඳ ඉක්බිති ස්වකීය තේජශ්‍රීයට පැමිණිය යුතු ව තිබුණා නොවේ ද” කියා, |
| 27 |
| මෝසෙස් හා සියලු දිවැසිවරයන්ගෙන් පටන්ගෙන, මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් කරුණු ඔවුන්ට පහදා දුන් සේක. |
| 28 |
| ඔව්හු යමින් සිටි ගමට ළං වූ හ. එහෙත් උන් වහන්සේ තවත් දුර යන බවක් දැක්වූ සේක. |
| 29 |
| එවිට ඔව්හු: “දවස ගෙවී සවස් වේගන එන බැවින්, අප සමඟ නතර වුව මැනවැ”යි උන් වහන්සේට පෙරැත්ත කළහ. උන් වහන්සේ ඔවුන් සමඟ නතර වීමට ගෙට ඇතුළු වූ සේක. |
| 30 |
| තවද උන් වහන්සේ ඔවුන් හා සමඟ කෑමට හිඳගත් කල්හි, රොටි ගෙන ආශීර්වාදය පවසා, කඩා ඔවුන්ට දුන් සේක. |
| 31 |
| එවිට ඔවුන්ගේ ඇස් ඇරී, ඔව්හු උන් වහන්සේ කවරෙක් දැ යි හැඳින ගත්හ. එවිට උන් වහන්සේ ඔවුන් කෙරෙන් අතුරුදහන් වූ සේක. |
| 32 |
| එකල ඔව්හු, “උන් වහන්සේ අප හා සමඟ මඟ දී කතා කරද්දීත්, ශුද්ධ ලියවිල්ල පහදා දෙද්දීත්, අපේ හදවත දැවී ඇවිළී ගියා නොවේ දැ”යි එකිනෙකාට කී හ. |
| 33 |
| ඔව්හු ඒ වේලේ ම නැඟිට ජෙරුසලමට පෙරළා ගොස්, එකොළොස් දෙනා ද ඔවුන් සමඟ සිටි අනෙක් අය ද, |
| 34 |
| “ඒකාන්තයෙන් ම සමිඳාණන් වහන්සේ නැඟිට සිටින සේක, සීමොන්ට ද පෙනුණු සේකැ”යි කියමින් සිටිනු දුටහ. |
| 35 |
| එවිට ඔව්හු ද මඟ දී තමන්ට සිදු වූ කාරණා සහ රොටි කැඩීමෙහි දී ඔවුන්ට උන් වහන්සේ ප්‍රකාශ වූ හැටි ද පැවසූ හ. |
| 36 |
| ශ්‍රාවකයන් මෙසේ කතා කරමින් සිටිය දී උන් වහන්සේ ඔවුන් මැදට වැඩම කර, “ඔබට ශාන්තිය වේ වා!”යි වදාළ සේක. |
| 37 |
| එහෙත් ඔව්හු ත්‍රස්ත ව භීතියට පත් ව, ඒ අවතාරයකැ යි සිතූ හ. |
| 38 |
| උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඔබ කැළඹී සිටින්නේ මන් ද? ඔබගේ සිත්වල සැක උපදින්නේත් මන් ද? |
| 39 |
| මාගේ අත් හා පා බලන්න; මේ මා ම බව තේරුම්ගන්න; මා ස්පර්ශ කොට, බලන්න; ඔබට පෙනෙන ලෙස ඇට මස් සහිත සිරුරක් මට ඇත. අවතාරයකට නම් ඒවා නැතැ”යි වදාළ සේක. |
| 40 |
| උන් වහන්සේ මෙවදන් කියා, තම අත් හා පා ඔවුන්ට පෙන්වූ සේක. |
| 41 |
| ඔවුන් ප්‍රීතිය නිසා විශ්වාස නොකොට පුදුම වෙමින් සිටිය දී, උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “කෑමට යමක් මෙහි ඔබ වෙත තිබේ දැ”යි ඇසූ සේක. |
| 42 |
| ඔව්හු බැදපු මාළු කෑල්ලක් උන් වහන්සේට පිළිගැන්වූ හ. |
| 43 |
| උන් වහන්සේ එය පිළිගෙන ඔවුන් ඉදිරිපිට දී වැළඳූ සේක. |
| 44 |
| තවද උන් වහන්සේ කතා කරමින්, “මා පිළිබඳ මෝසෙස්ගේ ව්‍යවස්ථාවලියෙහි ද දිවැසාවලියෙහි ද ගීතාවලියෙහි ද ලියා ඇති හැම දෙය ම ඉෂ්ට විය යුතු යයි මා ඔබ සමඟ සිටිය දී ඔබට පැවසූ වචනයෙහි තේරුම මේ ය”යි වදාළ සේක. |
| 45 |
| එවිට උන් වහන්සේ ශුද්ධ ලියවිල්ල ඔවුන්ට වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පහදවා කතා කොට, |
| 46 |
| “මෙසේ ක්‍රිස්තුන් වහන්සේ වද විඳින්ටත් තුන් වන දා මළවුන්ගෙන් නැඟිටින්ටත්, |
| 47 |
| ජෙරුසලමෙන් පටන්ගෙන සකල ලෝකවාසීන්ට පසුතැවී සිත් හරවා ගැනීම ද පව් කමාව ද, උන් වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනු ලබන්නට ද යුතු ම යයි ලියා ඇත. |
| 48 |
| ඔබ මේ දේවලට සාක්ෂිකාරයෝ වන්නහු ය. |
| 49 |
| බලන්න, මම මාගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව ඔබ වෙත ගෙනෙමි. එහෙත්, ඉහළින් වන බලපරාක්රමයෙන් ඔබ හැම සන්නද්ධ කරනු ලබන තුරු නගරයෙහි නැවතී සිටින්නැ”යි වදාළ සේක. |
| 50 |
| උන් වහන්සේ බෙතානිය දක්වා, ඔවුන් කැඳවාගෙන ගොස්, තමන්ගේ අත් ඔසවා ඔවුන්ට ආශීර්වාද කළ සේක. |
| 51 |
| එසේ ආශීර්වාද කරද්දී ම, උන් වහන්සේ ඔවුන් කෙරෙන් වෙන් ව, ස්වර්ගයට ඔසවාගනු ලැබූ සේක. |
| 52 |
| ඔව්හු උන් වහන්සේට නමස්කාර කොට, ඉමහත් ප්‍රීතියකින් ජෙරුසලමට හැරී අවුත්, |
| 53 |
| නිරතුරු දේව මාලිගාවෙහි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් කල් ගත කළහ. |
|
| සටහන් සුරකින්න |
https://beblia.bible:81/BibleAudio/sinhalanrsv/luke/024.mp3
24
24