සිංහල SNRV 2018
|
| 1 |
| ජේසුස් වහන්සේ ජොහන්ට වඩා ශ්‍රාවකයන් බඳවාගෙන බව්තීස්ම-ස්නාපනය කරති යි පරිසිවරුන්ට සැළ විය. |
| 2 |
| (ඇත්ත වශයෙන් උන් වහන්සේගේ ශ්‍රාවකයන් මිස, උන් වහන්සේ ම බව්තීස්ම-ස්නාපනය නොකළ සේක.) |
| 3 |
| ඒ බව දැනගත් කල, සමිඳාණන් වහන්සේ ජුදයෙන් පිට වී යළිත් ගලීලයට වැඩම කළ සේක. |
| 4 |
| සමාරිය පසු කොට යා යුතු ව තිබුණු බැවින් |
| 5 |
| උන් වහන්සේ, ජාකොබ් තම පුත් ජෝසෙප්ට දුන් ඉඩම ළඟ වූ සිකාර් නම් සමාරියේ නගරයකට පැමිණි සේක. |
| 6 |
| ජාකොබ්ගේ ළිඳ එහි විය. ගමන් විඩාවෙන් සිටි උන් වහන්සේ ළිඳ ළඟ හිඳගත් සේක. එය මධ්‍යාහ්න වේලාව පමණ විය. |
| 7 |
| එකල, සමාරීය ස්ත්‍රියක් වතුර අදිනු පිණිස පැමිණියා ය. “මට වතුර ටිකක් දෙන්නැ”යි උන් වහන්සේ ඇයට වදාළ සේක. |
| 8 |
| එවේලේ, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කෑම මිලයට ගනු පිණිස, නගරයට ගොස් සිටියෝ ය. |
| 9 |
| සමාරීය ස්ත්‍රිය ද, “ජුදෙව්වෙකු වන ඔබ, සමාරීය ස්ත්‍රියක වන මගෙන් බොන්නට ඉල්ලන්නේ, කෙසේ දැ”යි උන් වහන්සේගෙන් ඇසුවා ය. එසේ කීවේ, ජුදෙව්වරුන් හා සමාරියයන් අතර ගනුදෙනුවක් නුවූ බැවිනි. |
| 10 |
| ජේසුස් වහන්සේ ඇයට පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේගේ දීමනාවත්, ‘මට වතුර ටිකක් දෙන්නැ’යි ඔබට කියන්නේ කවරෙක් ද කියාත් ඔබ දැන සිටියෙහි නම්, ඔබ ඔහුගෙන් ඉල්ලනු ඇත; එවිට ඔහු ජීවන ජලය ඔබට දෙනු ඇතැ”යි වදාළ සේක. |
| 11 |
| ස්ත්‍රිය ද, “මහතාණෙනි, වතුර අදින්නට ඔබට භාජනයක් නැත; ළිඳත් ගැඹුරු ය; එබැවින් ඒ ජීවන ජලය ඔබට කොයින් ද? |
| 12 |
| මේ ළිඳ අපට දුන්නේ අපේ පියා වන ජාකොබ් ය. ඔහු ද, ඔහුගේ පුත්‍රයෝ ද ගවයෝ ද මෙයින් පානය කළෝ ය. ඔබ ඔහුට වඩා උතුම් දැ?”යි විචාළා ය. |
| 13 |
| ජේසුස් වහන්සේ ඇයට පිළිතුරු දෙමින්, “මේ වතුර බොන හැම කෙනෙකුට ම නැවත පිපාසය ඇති වන්නේ ය. |
| 14 |
| එහෙත් මා දෙන වතුර බොන කවර කෙනෙකුට වුවත් කිසි කලෙක පිපාසය ඇති නොවන්නේ ය. මා ඔහුට දෙන වතුර සදාතන ජීවනය පිණිස ඔහු තුළ දිය උල්පතක් වන්නේ ය”යි වදාළ සේක. |
| 15 |
| ස්ත්‍රිය කතා කරමින්, “මහතාණෙනි, මට තවත් පිපාසය ඇති නො වන පිණිසත්, වතුර ඇදීමට මෙපමණ දුර නැවත නොඑන පිණිසත් ඒ වතුර මට දුන මැනවැ”යි කීවා ය. |
| 16 |
| ජේසුස් වහන්සේ ඈ අමතා, “යන්න, ඔබේ ස්වාමි පුරුෂයා කැඳවාගෙන මෙහි එන්නැ”යි වදාළ සේක. |
| 17 |
| ස්ත්‍රිය පිළිතුරු දෙමින්, “මට ස්වාමි පුරුෂයෙක් නැතැ”යි කීවා ය. ජේසුස් වහන්සේ ද, “ ‘මට ස්වාමි පුරුෂයෙක් නැතැ’යි ඔබ කීවා හරි ය; |
| 18 |
| මන්ද, ඔබට පුරුෂයෝ පස් දෙනෙක් සිටියාහ; දැන් සිටින තැනැත්තේ ඔබේ පුරුෂයා නො වේ; මේ දේ ඔබ සැබෑ ලෙස පැවසුවෙහි ය”යි වදාළ සේක. |
| 19 |
| ස්ත්‍රිය උන් වහන්සේ අමතමින්, “මහතාණෙනි, ඔබ දිවැසිවරයකු බව මට පෙනේ; අපේ පියවරු මේ කන්ද මත නමස්කාර කළහ. |
| 20 |
| එහෙත්, මිනිසුන් නමස්කාර කළ යුතු ජෙරුසලමෙහි ය යි ඔබතුමන්ලා කියන්නහු ය”යි කීවා ය. |
| 21 |
| ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ස්ත්‍රිය, මා විශ්වාස කරන්න. මේ කන්දේ දී වත්, ජෙරුසලමේ දී වත් ඔබ පියාණන් වහන්සේට නමස්කාර නොකරන කාලයක් පැමිණෙන්නේ ය. |
| 22 |
| ඔබ නමස්කාර කරන්නේ ඔබ හරියට ම නො දන්නා කෙනෙකුට ය; අප නමස්කාර කරන්නේ අප දන්නා කෙනෙකුට ය. මන්ද, ගැළවීම පැමිණෙන්නේ ජුදෙව්වරුන්ගෙන් ය. |
| 23 |
| එහෙත්, නමස්කාර කරන්නන්, ආත්මානුභාවයෙන් ද අවංක සිතින් ද, පියාණන් වහන්සේට නමස්කාර කරන කාලයක් සැබැවින් ම පැමිණෙන්නේ ය; දැනටමත් පැමිණ ඇත. තමන් වහන්සේට නමදින පිණිස පියාණන් වහන්සේ සොයන්නේ එවැන්නන් ය. |
| 24 |
| දෙවියන් වහන්සේ ආත්මය ය; උන් වහන්සේට නමස්කාර කරන්නන් ආත්මයෙන් ද අවංක සිතින් ද නමස්කාර කළ යුතු ය”යි වදාළ සේක. |
| 25 |
| ස්ත්‍රිය පිළිතුරු දෙමින්; “ ‘ක්‍රිස්තුස් වහන්සේ’ ය යි කියන මෙසියස් තුමාණන් එන බව දනිමි; උන් වහන්සේ පැමිණි කල සියල්ල අපට දන්වා වදාරන සේකැ”යි කීවා ය. |
| 26 |
| “මේ ඔබ සමඟ කතා කරන මම, ඒ තැනැත්තා වෙමි”යි ජේසුස් වහන්සේ වදාළ සේක. |
| 27 |
| ඒ මොහොතේ දී, පැමිණි උන් වහන්සේගේ ශ්‍රාවකයෝ උන් වහන්සේ ස්ත්‍රියක සමඟ කතා කරනු දැක මවිත වූ හ. එහෙත් කිසිවෙක්, “ඔබ කුමක් සොයන්නෙහි ද” කියාවත්, “ඔබ ඈ සමඟ කතා කරන්නේ මන් ද?” කියාවත් ඇසුවේ නැත. |
| 28 |
| ස්ත්‍රිය ඇගේ වතුර කළය එතැන තබා, නුවරට ගොස්, |
| 29 |
| “එන්න ඇවිත් බලන්න, මා කළ සියල්ල මට කී මනුෂ්‍යයෙක් සිටියි. එතුමා ක්‍රිස්තුස් විය නොහැකි දැ”යි සෙනඟට කීවා ය. |
| 30 |
| ඔව්හු නුවරින් නික්ම ජේසුස් වහන්සේ වෙත එන්නට පටන්ගත්හ. |
| 31 |
| ඒ අතර ශ්‍රාවකයෝ, “ගුරුදේවයෙනි, වළඳනු මැනවැ”යි උන් වහන්සේගෙන් අයැද සිටියෝ ය. |
| 32 |
| එහෙත් උන් වහන්සේ, “ඔබ නො දන්නා භෝජනයක් වැළඳීමට මට ඇතැ”යි ඔවුන්ට වදාළ සේක. |
| 33 |
| “යම් කිසිවෙක් උන් වහන්සේට ආහාර ගෙනවුත් දුන්නේ දැ”යි එවිට ශ්‍රාවකයෝ තම තමන් අතරේ විමසූ හ. |
| 34 |
| ජේසුස් වහන්සේ ඔවුන් අමතා, “මාගේ භෝජනය නම්, මා එවූ තැනැන් වහන්සේගේ කැමැත්ත කිරීමත්, උන් වහන්සේගේ කාර්යය නිමාවට පත් කිරීමත් ය. |
| 35 |
| “තව හාරමාසයක් ගත වූ විට අස්වැන්න පැමිණේ යයි ඔබ කියන්නේ නැද් ද? එහෙත් මම ඔබට කියමි: බලන්න, ඔබේ ඇස් ඇර කුඹුරු නරඹන්න; මන් ද? ඒවා දැනට ම අස්වැන්න සඳහා පැසී ඇත. |
| 36 |
| ගොයම් කපන්නා කුලිය ලබා, සදාතන ජීවනය සඳහා අස්වැන්න එකතු කරයි; එසේ වන්නේ, වපුරන්නාත්, කපන්නාත් එක්ව ප්‍රීතිමත් වන පිණිස ය. |
| 37 |
| මෙයින්, ‘එක් කෙනෙක් වපුරයි, තව කෙනෙක් කපයි’ යන කීම සැබෑ වෙයි. |
| 38 |
| ඔබ වගා නො කළ කෙතක අස්වැන්න කැපීමට මම ඔබ යැවීමි. අන්‍යයෝ වගා කළහ. ඔබ ඔවුන්ගේ වගාවේ ප්‍රතිඵල භුක්ති විඳින්නහු ය”යි වදාළ සේක. |
| 39 |
| “මා කළ සියල්ල උන් වහන්සේ මට වදාළ සේකැ”යි සාක්ෂි දුන් ස්ත්‍රියගේ කීම නිසා, ඒ නුවර සමාරියයන්ගෙන් බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ. |
| 40 |
| එබැවින් සමාරියයෝ උන් වහන්සේ වෙතට පැමිණි කල, තමන් සමඟ නවතින ලෙස උන් වහන්සේගෙන් ඉල්ලූ හ. උන් වහන්සේ ද දෙදවසක් එහි නැවතුණ සේක. |
| 41 |
| තවත් බොහෝ දෙනෙක් උන් වහන්සේගේ ම වචනය නිසා අදහාගත්තෝ ය. |
| 42 |
| ඔව්හු ස්ත්‍රියට කතා කොට, “දැන් අප අදහන්නේ ඔබේ කීම නිසා නොවේ; අප ම උන් වහන්සේගේ බස් අසා, උන් වහන්සේ සැබැවින් ම ලෝකයේ ගැළවුම්කාරයාණන් බව දැනගත් නිසා ය”යි කී හ. |
| 43 |
| ඒ දෙදවසට පසු, උන් වහන්සේ එතැනින් නික්ම ගලීලයට වැඩම කළ සේක. |
| 44 |
| මන්ද, “ගමේ දිවැසිවරයා ගමට අගේ නැතැ”යි කීවේ උන් වහන්සේ ම ය. |
| 45 |
| එහෙත් ජෙරුසලමෙහි මංගල්‍යයේ දී උන් වහන්සේ කළ සියල්ල දුටු බැවින්, ගලීලයෝ උන් වහන්සේ උත්සවාකාරයෙන් හොඳින් පිළිගත්හ. |
| 46 |
| යළිත් උන් වහන්සේ ගලීලයේ කානා නම් ගමට වැඩම කළ සේක. උන් වහන්සේ විසින් වතුර මිදියුස බවට හරවන ලද්දේ එහි දී ය. එකල, එහි එක්තරා රාජ්‍ය නිලධාරියෙක් විය. ඔහුගේ පුත්‍රයා රෝගාතුර ව කපර්ණවුමෙහි සිටියේ ය. |
| 47 |
| ජේසුස් වහන්සේ ජුදයේ සිට ගලීලයට වැඩම කළ බව අසා, ඔහු උන් වහන්සේ වෙතට ගොස්, තම පුත්‍රයා මරණාසන්න ව සිටින බැවින්, අවුත් ඔහු සුව කරන මෙන් උන් වහන්සේගෙන් අයැද සිටියේ ය. |
| 48 |
| ජේසුස් වහන්සේ, “ඔබ ලකුණු ද අරුමපුදුම දේ ද දුටුවොත් මිස විශ්වාස නො කරන්නාහු ය”යි ඔහුට වදාළ සේක. |
| 49 |
| රාජ්‍ය නිලධාරියා ද, “මහතාණෙනි, මාගේ දරුවා මියයන්නට පෙර වැඩිය මැනවැ”යි අයැදී ය. |
| 50 |
| ජේසුස් වහන්සේ කතා කරමින්, “යන්න, ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ ය”යි ඔහුට වදාළ සේක. ඒ තැනැත්තා ජේසුස් වහන්සේ වදාළ වචනය විශ්වාස කරගෙන ගියේ ය. |
| 51 |
| ඔහු යන කල, ඔහුගේ දාසයෝ පෙරමඟට අවුදින්, “ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ ය”යි කී හ. |
| 52 |
| එවිට, “පුත්‍රයා සුවය ලබන්න පටන්ගත්තේ කොයි වේලාවේ දැ”යි ඔහු ඔවුන්ගෙන් විමසී ය. “ඊයේ පස්වරු එකට පමණ උණ බැස්සේ ය”යි ඔව්හු කී හ. |
| 53 |
| “ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ ය”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළේ, ඒ මොහොතේ දී යයි දැනගත් බැවින්, ඔහු ද, ඔහුගේ ගෙයි වැසි සියල්ලෝ ද එතුමන් අදහාගත්හ. |
| 54 |
| මේ වනාහි, ජේසුස් වහන්සේ ජුදයේ සිට ගලීලයට පැමිණි පසු, කළ දෙ වන දේව බල ප්රකාශනය වේ. |
|
| සටහන් සුරකින්න |
https://beblia.bible:81/BibleAudio/sinhalasnrv/john/004.mp3
21
4