|
| 1 |
|
| ඉන්පසු ජේසුස් වහන්සේ ගලීලයේ සැරිසරමින් සිටි සේක. ජුදෙව්වරුන් තමන් මරන්නට සෙවූ බැවින්, උන් වහන්සේ ජුදයෙහි සැරිසරන්ට නොකැමැති වූ සේක. |
|
| 2 |
|
| එකල ජුදෙව්වරුන්ගේ කූඩාරම් මංගල්‍යය ළං ව තිබිණි. |
|
| 3 |
|
| එබැවින් උන් වහන්සේගේ සහෝදරයෝ කතා කොට, “ඔබ කරන ක්‍රියා ඔබේ ශ්‍රාවකයන් ද දකින පිණිස මෙතැනින් පිටත් ව ජුදයට යන්න. |
|
| 4 |
|
| එසේ කියන්නේ, ප්‍රසිද්ධ වන්නට කැමැති කිසිවෙකු රහසින් කිසිත් නොකරන බැවිනි. ඔබ මේ දේවල් කරන්නෙහි නම්, ලෝකයාට ප්‍රකාශ වුව මැනවැ”යි කී හ. |
|
| 5 |
|
| මන්ද, සිය සහෝදරයෝ පවා උන් වහන්සේ අදහාගත්තේ නැත. |
|
| 6 |
|
| ජේසුස් වහන්සේ ඔවුන් අමතා, “මගේ නියමිත මොහොත තව ම පැමිණ නැත. එහෙත් ඔබට නම් කොයි වේලාවත් සුදුසු ය. |
|
| 7 |
|
| ඔබට ද්වේෂ කරන්නට ලෝකයාට නොහැකි ය. එහෙත්, ලෝකයා මට ද්වේෂ කරති. මන්ද, ‘ලෝකයාගේ ක්‍රියා නපුරු ය’යි මා සාක්ෂි දරන බැවිනි. |
|
| 8 |
|
| ඔබ කැමැති නම් මංගල්‍යයට යන්න. මාගේ නියමිත මොහොත තව ම පැමිණ නැති බැවින් මම නම් නොයමි”යි වදාළ සේක. |
|
| 9 |
|
| උන් වහන්සේ මෙසේ වදාරා ගලීලයෙහි ම නැවතී සිටි සේක. |
|
| 10 |
|
| එහෙත්, තමන්ගේ සහෝදරයන් මංගල්‍යයට ගිය පසු, උන් වහන්සේ ද ප්‍රසිද්ධියේ නොව, රහසින් මංගල්‍යයට වැඩිය සේක. |
|
| 11 |
|
| එකල ජුදෙව්වරු මංගල්‍යයේ දී උන් වහන්සේ සොය සොයා “ඔහු කොහේ දැ”යි විමසූ හ. |
|
| 12 |
|
| සමූහයා අතර උන් වහන්සේ ගැන මහා කසුකුසුවක් ඇති විය. සමහරුන් “උන් වහන්සේ සත්පුරුෂයෙකැ”යි කී අතර, සමහරු, “එසේ නොවේ, ඔහු මහජනයා මුළා කරති”යි කී හ. |
|
| 13 |
|
| එහෙත්, ජුදෙව්වරුන්ට බියෙන් කිසිවෙක් උන් වහන්සේ ගැන එළිපිට කතා නොකළහ. |
|
| 14 |
|
| මංගල්‍යයේ මැද හරියේ දී ජේසුස් වහන්සේ දේව මාලිගාවට වැඩම කර අනුශාසනා කරන්නට පටන්ගත් සේක. |
|
| 15 |
|
| ඒ ගැන ජුදෙව්වරු මවිත ව “කිසිකලෙක ඉගෙන නොගත් මේ මිනිසාට මේ සා උගත්කමක් කොයින් දැ”යි කී හ. |
|
| 16 |
|
| එහෙයින් ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ ඉගැන්වීම මාගේ ම නොව, මා එවා වදාළ තැනැන් වහන්සේගේ ය. |
|
| 17 |
|
| යමෙක් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නට කැමැති වන්නේ නම්, ඔහු ඒ ඉගැන්වීම දෙවියන් වහන්සේගෙන් වූවක් ද නැතහොත් මාගෙන් ම වූවක් දැ යි දැනගන්නේ ය. |
|
| 18 |
|
| තමාගේ ම අධිකාරී බලයෙන් අදහස් පවසන තැනැත්තේ තමාගේ ම ගෞරවය සොයන්නෙකි. එහෙත්, තමන් එවා වදාළ තැනැන් වහන්සේගේ ගෞරවය සොයන්නා අවංක තැනැත්තෙකි. වංක බවක් ඔහු තුළ නැත. |
|
| 19 |
|
| “මෝසෙස් ඔබට ව්‍යවස්ථාවලිය දුන්නා නොවේ ද? එහෙත් ඔබගෙන් කිසිවෙක් ව්‍යවස්ථාවලිය නොපිළිපදිති. ඔබ මා මරන්නට සොයන්නේ මන්දැ”යි ඇසූ සේක. |
|
| 20 |
|
| සෙනඟ පිළිතුරු දෙමින්, “ඔබට දුෂ්ටාත්මයක් වැහී සිටියි; ඔබව මරන්න සොයන්නේ කවරෙක් දැ”යි ඇසූ හ. |
|
| 21 |
|
| ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මම එක් ක්‍රියාවක් සබත් දවසේ දී කෙළෙමි; ඊට ඔබ සියල්ලෝ ම තවමත් මවිත වී සිටිති. |
|
| 22 |
|
| මෝසෙස් චර්මඡේදන නීතිය ඔබට දී ඇත. (එය මෝසෙස්ගෙන් පැවත එන්නක් නොව, පියවරුන්ගෙන් පැවත එන්නකි). එහෙත්, ඔබ සබත් දවසේ වුව ද චර්මඡේදනය කරන්නහු ය. |
|
| 23 |
|
| ඉදින්, මෝසෙස්ගේ ව්‍යවස්ථාව කඩ නො වන පරිදි, මිනිසෙක් සබත් දවසේ දී චර්මඡේදනය ලබන්නේ නම්, සබත් දවසේ දී මා මිනිසෙකු සම්පූර්ණයෙන් ම සුවපත් කළ බැවින්, ඔබ කෝප වන්නේ මන් ද? |
|
| 24 |
|
| බැලූ බැල්මට විනිශ්චය නොකරන්න; සාධාරණ විනිශ්චයක් ම කරන්නැ”යි වදාළ සේක. |
|
| 25 |
|
| එබැවින්, ජෙරුසලම් වැසි ඇතැමෙක්, “ඔවුන් මරන්නට සොයන්නේ මේ මිනිසා නොවේ ද? |
|
| 26 |
|
| එසේ වුව ද ඔහු එළිපිට ම කතා කරයි. එහෙත්, ඔව්හු කිසිවක් ඔහුට නොකියති. මේ ක්‍රිස්තුවරයාණන් බව ප්‍රධානීන් දැන සිටිනවා විය හැකි ද? |
|
| 27 |
|
| කෙසේ වෙතත්, මොහු පැමිණියේ කොහෙන් දැ යි අපි දනිමු. එහෙත් ක්‍රිස්තුවරයාණන් පැමිණි විට උන් වහන්සේ කොතැනින් වඩින සේක් දැ යි කිසිවෙක් දැන නොගනිති”යි කී හ. |
|
| 28 |
|
| එවිට ජේසුස් වහන්සේ දේව මාලිගාවේ දී හඬනඟා අනුශාසනා කරමින් මෙසේ වදාළ සේක: “ඔබ සැම මා දන්නහු ය, මා පැමිණියේ කොතැනින් ද කියාත් දන්නහු ය. එහෙත් මා පැමිණියේ, මාගේ ම කැමැත්තෙන් නොවේ. මා එවා වදාළේ සත්‍යය ම වන තැනැන් වහන්සේ ය. ඔබ උන් වහන්සේ නොදන්නහු ය. |
|
| 29 |
|
| එහෙත් මම උන් වහන්සේ දනිමි; කුමක් හෙයින් ද, මම උන් වහන්සේ කෙරෙන් පැමිණියෙමි; මා එවා වදාළේ උන් වහන්සේ ය.” |
|
| 30 |
|
| මෙසේ වදාළ විට, ඔව්හු උන් වහන්සේ අල්ලාගන්නට උත්සාහ කළහ. ඒ නමුත්, උන් වහන්සේගේ නියමිත මොහොත නොපැමිණි බැවින් කිසිවෙක් උන් වහන්සේ පිට අත් නොතැබූ හ. |
|
| 31 |
|
| එසේ වුව ද, සෙනඟගෙන් බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගෙන, “ක්‍රිස්තුවරයාණන් වැඩම කළ විට, මේ මිනිසා කර ඇති හාස්කම්වලට වඩා යමක් එතුමාණන් කරනු ඇද්දැ”යි ඇසූ හ. |
|
| 32 |
|
| සමූහයා උන් වහන්සේ ගැන මේ දේ කියමින් කොඳුරනු ඇසූ පරිසිවරු ද නායක පූජකයෝ ද උන් වහන්සේ අල්ලාගන්නට මුර සේවකයන් යැවූ හ. |
|
| 33 |
|
| ජේසුස් වහන්සේ ඔවුන් අමතා, “තව ටික කලක් මම ඔබ සමඟ සිටිමි; ඉන්පසු මා එවා වදාළ තැනැන් වහන්සේ වෙතට යමි. |
|
| 34 |
|
| ඔබ මා සොයන්නහු ය; එහෙත් ඔබට මා සම්බ වන්නේ නැත. ඔබට මා සිටින තැනට පැමිණිය නොහැකි ය”යි වදාළ සේක. |
|
| 35 |
|
| එබැවින් ජුදෙව්වරු ඔවුනොවුන් අතර කතා කරමින්, “මොහු අපට සම්බ නොවන පරිදි, කොතැනට යන්නේ ද? ග්‍රීකයන් අතර විසිර සිටින ජුදෙව්වරුන් වෙත ගොස් ග්‍රීකයන්ට උගන්වනු ඇද් ද? |
|
| 36 |
|
| ‘ඔබ මා සොයන්නහු ය, එහෙත් ඔබට මා සම්බ වන්නේ නැත; ඔබට මා සිටින තැනට පැමිණිය නොහැකි ය’යි ඔහු කී කියමනේ තේරුම කුමක් දැ”යි ඇසූ හ. |
|
| 37 |
|
| මංගල්‍යයේ අවසාන මහා දවසේ දී, ජේසුස් වහන්සේ නැඟිට, හඬනඟා, “යමෙක් පිපාසයෙන් සිටිත් නම්, ඔහු මා වෙතට පැමිණ පානය කෙරේ වා! |
|
| 38 |
|
| ශුද්ධ ලියවිල්ලෙහි කියා තිබෙන පරිදි මා කෙරෙහි අදහන්නා තුළින් ජීවනදායක ජලධාරා ගලන්නේ ය”යි ප්‍රකාශ කළ සේක. |
|
| 39 |
|
| උන් වහන්සේ මෙසේ වදාළේ තමන් වහන්සේ කෙරෙහි අදහාගත්තවුන් මතු ලබන්නට සිටි ශුද්ධාත්මයාණන් වහන්සේ පිළිබඳ ව ය. ශුද්ධාත්මයාණන් ඒ තාක් නොදෙන ලද්දේ ය; මන්ද, ජේසුස් වහන්සේ ඒ තාක් මහිමයට පත් නොවූ බැවිනි. |
|
| 40 |
|
| මේ වචන ඇසූ කල සෙනඟගෙන් සමහරු, “මොහු, සැබැවින් ම ඒ දිවැසිවරයාණෝ ය”යි කී හ. |
|
| 41 |
|
| අන් සමහරු, “මේ ක්‍රිස්තුස් ය”යි කී හ. තවත් සමහරු “ක්‍රිස්තුවරයාණන් වඩින්නේ ගලීලයෙන් ද? |
|
| 42 |
|
| ක්‍රිස්තුවරයාණන් දාවිත්ගේ වංශයෙන්, දාවිත් විසූ ගම වන බෙත්ලෙහෙමෙන්, වඩින බව ශුද්ධ ලියවිල්ලෙහි ලියා නැද්දැ”යි ඇසූ හ. |
|
| 43 |
|
| මෙසේ උන් වහන්සේ නිසා සමූහයා අතර භේදයක් හටගත්තේ ය. |
|
| 44 |
|
| ඔවුන් අතරෙන් සමහරෙක් උන් වහන්සේ අල්ලාගන්නට සිතූ හ. එහෙත්, කිසිවෙක් උන් වහන්සේ පිට අත නොතැබූ හ. |
|
| 45 |
|
| ඉක්බිති, මුර සේවකයෝ නායක පූජකයන් ද පරිසිවරුන් ද වෙතට පෙරළා පැමිණියහ. ඔව්හු ද, “නුඹලා ඔහු නොගෙනාවේ මන්දැ”යි ඇසූ හ. |
|
| 46 |
|
| “කවර මිනිසෙක් වත් මෙසේ කතා නොකෙළේ ය”යි මුර සේවකයෝ පිළිතුරු දුන්හ. |
|
| 47 |
|
| පරිසිවරු පිළිතුරු දෙමින්, “නුඹලාත් මුළා වූවාහු ද? |
|
| 48 |
|
| ප්‍රධානීන්ගෙන් වත් පරිසිවරුන්ගෙන් වත් කිසිවෙක් ඔහු අදහාගත්තෝ ද? |
|
| 49 |
|
| ව්‍යවස්ථාව නොදත් මේ සෙනඟ සාප ලද්දෝ ය”යි කී හ. |
|
| 50 |
|
| ඔවුන්ගෙන් එක් කෙනෙක් වූ, මීට පෙර උන් වහන්සේ වෙත ගිය නිකොදේමුස් කතා කොට, |
|
| 51 |
|
| “පළමුකොට යම් මිනිසකුගෙන් කරුණු නොවිමසා, ඔහු කරන්නේ කුමක් දැ යි තේරුම් නොගෙන, අපේ ව්‍යවස්ථාව අනුව ඔහු විනිශ්චය කළ හැකි දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. |
|
| 52 |
|
| ඔව්හු පිළිතුරු දෙමින්, “ඔබත් ගලීලයෙක් ද? ගලීලයෙන් දිවැසිවරයෙක් එන්නේ ද කියා සොයා බලන්නැ”යි කී හ. |
|
| 53 |
|
| එවිට සියල්ලෝ ම තම තමන්ගේ ගෙවලට ගිය හ. |
|
|
|
|