|
| 1 |
|
| තවද අපොල්ලොස් කොරින්තියෙහි සිටිය දී, පාවුලු ඉහළ පළාත් මැදින් ගමන් කොට, එපීසයට පැමිණියේ ය. එහි දී ඔහුට සමහර ශ්‍රාවකයෝ හමු වූ හ. |
|
| 2 |
|
| පාවුලු ඔවුන් අමතා: “ඔබ අදහා ගත් කල ශුද්ධාත්මයාණන් වහන්සේ ලැබුවහු දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු, “නැත, ශුද්ධාත්මයාණන් වහන්සේ ඇති බවක් වත් නොඇසීමු”යි කී හ. |
|
| 3 |
|
| “එසේ වී නම්, ඔබ කුමන බව්තීස්ම-ස්නාපනයක් ලැබුවහු දැ”යි ඔහු ඇසී ය. “ජොහන්ගේ බව්තීස්ම-ස්නාපනය”යි ඔව්හු කී හ. |
|
| 4 |
|
| පාවුලු කතා කොට, “ජොහන් පසුතැවී සිත් හරවා ගැනීමේ බව්තීස්ම-ස්නාපනයෙන් බව්තීස්ම-ස්නාපනය කොට සෙනඟට කතා කරමින්, තමන්ට පසු ව එන තැනැන් වහන්සේ කෙරෙහි, එනම් ජේසුස් වහන්සේ කෙරෙහි අදහාගන්නා ලෙස සෙනඟට කී ය”යි පැවසී ය. |
|
| 5 |
|
| ඔව්හු ඒ අසා ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. |
|
| 6 |
|
| පාවුලු ඔවුන් පිට අත් තැබූ කල ශුද්ධාත්මයාණන් වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණි සේක. ඔව්හු අන්‍ය භාෂාවලින් කතා කරමින් දිවැස් වැකි පැවසූ හ. |
|
| 7 |
|
| ඒ මනුෂ්‍යයෝ දොළොස් දෙනෙක් පමණ වූ හ. |
|
| 8 |
|
| පාවුලු ධර්මශාලාවට ඇතුළු වී තුන් මසක් අතරතුරේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන නිර්භීත ලෙස තර්ක කරමින් ද සිත් දිනාගැනීමට උත්සාහ කරමින් ද සාකච්ඡා කෙළේ ය. |
|
| 9 |
|
| එහෙත් සමහරුන් මුරණ්ඩු ව, අකීකරු ව, සමූහයා ඉදිරියෙහි ඒ ධර්ම මාර්ගය හෙළා දකිමින් කතා කළ කල්හි ඔහු ඔවුන්ගෙන් ඈත් වී, ශ්‍රාවකයන් වෙන් කරගෙන, තුරානස්ගේ ශිල්පශාලාවෙහි දවස්පතා තර්ක කරමින් සිටියේ ය. |
|
| 10 |
|
| මෙය දෙවසක් කෙරීගෙන ගියේ ය. මෙසේ ආසියාවේ විසූ සියලු ජුදෙව්වරු ද ග්රීක්වරු ද සමිඳාණන් වහන්සේගේ වචනය ඇසූ හ. |
|
| 11 |
|
| දෙවියන් වහන්සේ පාවුලුගේ අත්වලින් පුදුම හාස්කම් සිදු කළ සේක. |
|
| 12 |
|
| ඔහුගේ ශරීර ස්පර්ශය ලැබූ තුවායක් වත් රෙදිකඩක් වත් ලෙඩුන් ළඟට ගෙන ගිය කල රෝග ඔවුන්ගෙන් දුරු විය, නපුරු ආත්මයෝ ද පහ ව ගියහ. |
|
| 13 |
|
| එහෙත් සමහර සංචාරක ජුදෙව් යකැදුරෝ අශුද්ධාත්ම වැහී සිටි අය කෙරෙහි ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමය කියන්නට පටන් ගෙන, “පාවුලු දේශනා කරන ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට අණ කරමි”යි කී හ. |
|
| 14 |
|
| නායක පූජකයෙකු වූ ස්කේවා නම් ජුදෙව්වරයෙකුගේ පුත්‍රයෝ සත් දෙනෙක් මෙසේ කළහ. |
|
| 15 |
|
| එහෙත් අශුද්ධාත්මය උත්තර දෙමින්, “මම ජේසුස් වහන්සේ අඳුනමි, පාවුලු ද දනිමි, එහෙත් ඔබ කවුරු දැ”යි ඔවුනට කීවේ ය. |
|
| 16 |
|
| අශුද්ධාත්මය වැහී සිටි මිනිසා ඔවුන් වෙතට පැන සියලු දෙනා ම දමනය කොට අඩන්තේට්ටම් කෙළේ ය. ඔව්හු තුවාළ වී, නග්න ව, ඒ ගෙයින් පලා ගියහ. |
|
| 17 |
|
| මෙය එපීසයෙහි විසූ සියලු ජුදෙව්වරුනට ද ග්‍රීකයනට ද සැළ විය. ඔව්හු බොහෝ සේ බියපත් වූ හ. ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයට ද ගෞරවය ඇති විය. |
|
| 18 |
|
| අදහාගත්තවුන්ගෙන් බොහෝ දෙනෙක් අවුත් තමන් ද මන්ත්‍රගුරුකම්වල යෙදී සිටි බව ප්‍රකාශ කළහ. |
|
| 19 |
|
| යන්ත්‍ර මන්ත්‍ර අභ්‍යාස කළ බොහෝ දෙනෙක් ද, තමන්ගේ පොත් එක් කොට ගෙනැවිත් සියල්ලන් ඉදිරියෙහි පුළුස්සාදැමූ හ. ඒවායේ මිල ගණන් බලා, රිදී මිල පණස් දහසක් බව දැන ගන්නා ලදී. |
|
| 20 |
|
| මෙසේ සමිඳාණන් වහන්සේගේ වචනය බලවත් සේ වැඩී පැතිරී ගියේ ය. |
|
| 21 |
|
| මේ සියල්ල නිම වූ කල, පාවුලු කතා කරමින්, “මා ජෙරුසලමට ගිය පසු, රෝමය ද දකින්න ඕනෑ ය” කියා, මසිදෝනිය සහ ග්‍රීසිය මැදින් ගොස්, ජෙරුසලමට යන්නට අධිෂ්ඨාන කරගත්තේ ය. |
|
| 22 |
|
| ඔහු තමාට සේවය කළ අයගෙන් දෙදෙනෙකු වන තිමෝතියස් ද එරස්තස් ද මසිදෝනියට යවා තමා ම කලක් ආසියාවෙහි නැවතී සිටියේ ය. |
|
| 23 |
|
| ඒ කාලයේ මේ ධර්ම මාර්ගය ගැන මහත් කැළඹීමක් හටගත්තේ ය. |
|
| 24 |
|
| මන්ද, අර්තෙමිස්ගේ දේවාලයයේ රිදී රූප සාදන දෙමෙත්‍රියස් නම් රිදී කලාකරුවෙක් කර්මාන්තකාරයන්ට බොහෝ ලාභ උපදවා දුන්නේ ය. |
|
| 25 |
|
| ඔහු, ඔවුන් ද එබඳු වූ වෙනත් කම්කරුවන් ද රැස් කරවා “භවතුනි, අපට වස්තුව ලැබෙන්නේ මේ කර්මාන්තයෙන් බව ඔබ දන්නහු ය. |
|
| 26 |
|
| මේ පාවුලු වනාහි ‘අත්වලින් සැදූ දෙවිවරු, දෙවිවරු නොවෙති’යි කියමින් එපීසයේ පමණක් නොව මුළු ආසියාවේ හැම තැන ම පාහේ බොහෝ සෙනඟට උගන්වා ඔවුන් හරවා ගත් බව ඔබට දකින්නට ද අසන්නට ද ලැබී ඇත. |
|
| 27 |
|
| ඒ නිසා අපේ මේ කර්මාන්තය අපකීර්තියට පත් විය හැකි ය. එපමණක් නොව, මුළු ආසියාවත් ලෝකයත් නමස්කාර කරන උත්තරීතර දේවතාවිය වූ අර්තෙමිස්ගේ දේවාලය අභාවයට පත් වීමට ද ඇගේ අභිමානය පවා නැති වී යාමට ද ඉඩ තිබේ ය”යි කී ය. |
|
| 28 |
|
| ඔව්හු ඒ අසා කෝපයෙන් පිරී, “එපීසයන්ගේ අර්තෙමිස් අති උසස් ය”යි කියමින් මොරගැසූ හ. |
|
| 29 |
|
| එවිට මුළු නුවර කැළඹිණ. ඔව්හු, පාවුලු සමඟ ගමන් කළ ගායස් ද අරිස්තාර්කස් ද යන මසිදෝනිවරුන් දෙදෙනා අල්ලා ගෙන නෘත්‍ය ශාලාවට වේගයෙන් දිවූ හ. |
|
| 30 |
|
| පාවුලු සෙනඟ මැදට යන්නට සිතූ නමුත් ශ්‍රාවකයෝ ඔහුට ඉඩ නුදුන්හ. |
|
| 31 |
|
| ඔහු සමඟ මිත්‍ර ව සිටි ආසියාතික අධිපතීන්ගෙන් සමහරෙක් ද, නෘත්‍ය ශාලාවට කොයි ආකාරයකින් වත් ඇතුළු නොවන සේ ඉල්ලමින් කන්නලව් කළහ. |
|
| 32 |
|
| සභාව වියවුල් වූ බැවින්, සමහරෙක් එකක් ද, අන් සමහරෙක් තවත් එකක් ද කියමින් මොරගැසූ හ. ඔවුන්ගෙන් වැඩි කොටස තමන් රැස්වුණේ කුමන කරුණක් නිසා දැ යි නොදත්හ. |
|
| 33 |
|
| ජුදෙව්වරුන් විසින් අලෙක්සන්දර් ඉදිරිපත් කරනු ලැබූ බැවින්, සමූහයාගෙන් සමහරෙක්, වගකිවයුත්තා ඔහු යයි නිගමනය කළහ. අලෙක්සන්දර් අතින් සංඥා කොට, සමූහයාට පිළිතුරු දෙන්නට කැමැත්ත දැක්වී ය. |
|
| 34 |
|
| එහෙත් ඔහු ජුදෙව්වරයෙකු බව දැනගත් විට: “එපීසයන්ගේ අර්තෙමිස් අතිඋතුම් ය”යි කියමින් දෙපැයක් පමණ ඔව්හු සියල්ලෝ ම එක හඬින් මොරගැසූ හ. |
|
| 35 |
|
| නගර සභා ලේකම් තැන සමූහයා සන්සිඳුවා, “එපීසයේ මනුෂ්‍යයිනි, එපීසවරුන්ගේ නුවර වනාහි ශ්‍රේෂ්ඨ අර්තෙමිස්ගේ මාලිගාවේ ද ස්වර්ගයෙන් පතිත වූ රූපයේ ද රැකවලී බව නොදන්නා මනුෂ්‍යයා කවරෙක් ද? |
|
| 36 |
|
| මෙසේ මේ දේවලට විරුද්ධ ව යමක් කියන්නට කවරෙකුට වත් බැරි හෙයින් ඔබ ඉක්මන් වී සැහැසිකමක් නොකළ යුතු ය. |
|
| 37 |
|
| මන්ද ඔබ මෙහි ගෙනා මේ මනුෂ්‍යයෝ දේවාලවලින් සොරකම් කරන්නෝ වත්, මේ දේවතාවියට අපහාස කරන්නෝ වත් නොවෙති. |
|
| 38 |
|
| එසේ හෙයින්, යමෙකුට විරුද්ධ ව දෙමෙත්‍රියස්ගේ ද ඔහු සමඟ සිටින කර්මාන්තකාරයන්ගේ ද පැමිණිල්ලක් ඇත් නම්, නඩු දවස් තිබේ, අධිපතියෝ ද සිටිති. ඔව්හු එකිනෙකාට විරුද්ධ ව පැමිණිලි කරත් වා. |
|
| 39 |
|
| එහෙත්, ඔබ එයට වැඩි යමක් සොයන්නහු නම්, එය නීත්‍යනුකූල සභාවේ දී තීරණය කරනු ලැබේ. |
|
| 40 |
|
| මන්ද අපට මේ කලබලයට යුක්තිසහගත හේතුවක් ඉදිරිපත් කළ නොහැකි බැවින්, අද ඇති වූ මේ කෝලාහලය ගැන අපට විරුද්ධ ව චෝදනාවක් ඉදිරිපත් වෙන්නට ඉඩ තිබේ”යයි කී ය. |
|
| 41 |
|
| ඔහු මෙසේ කියා සභාව විසුරුවා හැරියේ ය. |
|
|
|
|