|
| 1 |
|
| එවිට අග්‍රිපා රජු, “ඔබේ නිදහසට කරුණු කීමට දැන් අවසර තිබේ ය”යි පාවුලුට කී ය. එකල පාවුලු අත දිගු කොට තමාගේ නිදහසට මෙසේ කරුණු කියා පෑවේ ය: |
|
| 2 |
|
| “අග්‍රිපා රජතුමෙනි, ජුදෙව්වරුන් විසින් මට විරුද්ධ ව නඟන හැම චෝදනා ගැන ම අද ඔබ ඉදිරියේ උත්තර දීමට මා සිටින බැවින් මම භාග්‍යවන්තයෙකැ යි සිතමි. |
|
| 3 |
|
| විශේෂයෙන් ම මෙසේ සිතන්නේ ජුදෙව්වරුන් අතර පවතින සියලු සිරිත් ද මතභේද ද ඔබ හොඳාකාර දන්න නිසා ය. එහෙයින් මා කියන දේට ඉවසිල්ලෙන් සවන් දෙන මෙන් ඉල්ලමි. |
|
| 4 |
|
| “යොවුන් වියේ පටන් මාගේ රට වැසියන් අතර හා ජෙරුසලමෙහි ද මාගේ හැසිරීම ගැන මුල පටන් සියලු ජුදෙව්වරු දනිති. |
|
| 5 |
|
| අපේ ආගමේ ඉතා දැඩිතර නිකාය අනුව, මා පරිසිවරයෙකු ව ජීවත් වූ බව ඔව්හු බොහෝ කලෙක සිට දනිති; කැමැති නම් ඔවුන්ට ඒ ගැන සාක්ෂි දෙත හැකි ය. |
|
| 6 |
|
| එහෙත් දෙවියන් වහන්සේ අපේ පියවරුන්ට දුන් පොරොන්දුව කෙරේ විශ්වාසය තැබීම ගැන දැන් මම විනිශ්චය කරනු ලබන්නට සිටිමි. |
|
| 7 |
|
| අපගේ ගෝත්‍ර දොළොස රෑ දාවල් උද්යෝගිමත් ව දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ මේ පොරොන්දුව කෙරේ විශ්වාසයෙනි. රජතුමෙනි, ජුදෙව්වරුන් මට වරද තබන්නේ මේ බලාපොරොත්තුව නිසා ය. |
|
| 8 |
|
| දෙවියන් වහන්සේ මළවුන් උත්ථාන කරන බව විශ්වාස කළ නොහැකි යයි ඔබ අතරෙන් කිසිවෙකු සිතන්නේ මන් ද? |
|
| 9 |
|
| “නාසරෙත්හි ජේසුස් වහන්සේගේ නාමයට විරුද්ධ ව බොහෝ දේ මා විසින් කළ යුතු යයි වරක් මමත් සිතුවෙමි. |
|
| 10 |
|
| ජෙරුසලමේ දී මා කළේත් එයම ය. නායක පූජකයන්ගෙන් බලය ලැබ, ඇදහූ අයගෙන් බොහෝ දෙනෙකු සිරගෙවල දැමුවෙමි; ඔවුන් මරණ දඬුවමට පත් කරන කල්හි ඊට එකඟ ව ඡන්දය ද දුනිමි. |
|
| 11 |
|
| තවද සියලු ධර්මශාලාවල දී නොයෙක් විට ඔවුන්ට දඬුවම් කරමින්, ඔවුන් ලවා දේවාපහාස කරවන්නට උත්සාහ කෙළෙමි; මම ඔවුන් ගැන කෝපයෙන් දිළිහෙමින්, අන් නුවරවලට ද ගොස් ඔවුන්ට පීඩා කෙළෙමි.” |
|
| 12 |
|
| “ඒ සඳහා නායක පූජකයන්ගෙන් බලය ද අවසරය ද ලැබ, දමස්කයට මා ගමන් කරද්දී, |
|
| 13 |
|
| රජතුමෙනි, ඉර මුදුන් වේලෙහි මා ද මා සමඟ ගියවුන් ද වට කර සූර්ය තේජසට වඩා දීප්තිමත් එළියක් බබළනවා දුටිමි. |
|
| 14 |
|
| අප සියල්ලන් ම බිම වැටුණු කල, ‘සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන් ද? කෙවිටට පයින් ගැසීම ඔබට අන්තරායදායක ය’යි හෙබ්‍රෙව් භාෂාවෙන් මට කියන හඬක් ඇසිණි. |
|
| 15 |
|
| මම ද, ‘ස්වාමීනි, ඔබ කවරෙක් දැ’යි ඇසුවෙමි. සමිඳාණන් වහන්සේ ද; ‘මම නම් ඔබ පීඩා කරන ජේසුස් වෙමි. |
|
| 16 |
|
| නැඟිට කෙළින් සිටින්න. මන්ද, මා ඔබට දර්ශනය වූයේ මේ නිසා ය. එනම්, ඔබ දුටු දර්ශනය ගැන ද, තවත් ඔබට ප්‍රකාශ කරන්නට යන දේවල් ගැන ද ඔබ සේවකයෙකු හා සාක්ෂිකරුවෙකු කිරීමට ය. |
|
| 17 |
|
| මේ සඳහා ජුදෙව් සෙනඟගෙන් ද විජාතීන්ගෙන් ද මම ඔබ ගළවන්නෙමි. |
|
| 18 |
|
| මා අදහාගැනීමෙන් ඔවුන් පව් කමාව ද, දෙවියන් වහන්සේගේ ම ජනතාව අතරෙහි උරුමයක් ද ලබන පිණිස ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයට ද, සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේ වෙතට ද හැරෙන ලෙස ඔවුන්ගේ ඇස් පැහැදවීමට ඔවුන් වෙතට ඔබ යවමි’යි වදාළ සේක. |
|
| 19 |
|
| “එහෙයින්, අග්‍රිපා රජතුමෙනි, ස්වර්ගීය දර්ශනයට අකීකරු වීම මට නොහැකි විය. |
|
| 20 |
|
| පළමුකොට දමස්කයේ හා ජෙරුසලමේ ද පසුව ජුදා රට මුළුල්ලෙහි ද වැසියන්ටත්, විජාතීන්ටත්, පසුතැවී සිත් හරවා ගෙන දෙවියන් වහන්සේ වෙත හැරී, පසුතැවී සිත් හරවා ගත් බව දක්වන ක්‍රියා කරන්නැ යි ප්‍රකාශ කෙළෙමි. |
|
| 21 |
|
| මේ කාරණය නිසා ජුදෙව්වරු දේව මාලිගාවේ දී මා අල්ලා මරන්නට තැත් කළහ. |
|
| 22 |
|
| එසේ වුව ද දේව වරප්‍රසාදයෙන් අද දක්වා ලොකු කුඩා කාටත් සාක්ෂි දෙමින් මම මෙහි සිටිමි. මා කියන්නේත් අනාගතයේ දී සිදුවනු ඇතැ යි දිවැසිවරුන් හා මෝසෙස් කී දේ ම ය. |
|
| 23 |
|
| එනම්, ක්‍රිස්තුන් වහන්සේ දුක් විඳින්නට ඕනෑ බවත්, සෙනඟට හා විජාතීන්ට ආලෝකය ප්‍රකාශ කිරීම සඳහා, සියල්ලනට පළමුවෙන් උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වෙන්නට ඕනෑ බවත් ය.” |
|
| 24 |
|
| ඔහු මෙසේ තමාගේ නිදහසට කාරණා කියද්දී: “පාවුලු, ඔබට පිස්සු ය; බොහෝ උගත්කම ඔබ පිස්සෙකු කර ඇතැ”යි ෆෙස්තුස් මහා හඬින් කී ය. |
|
| 25 |
|
| එහෙත් පාවුලු, “ගරුතර ෆෙස්තුස් තුමෙනි, මට පිස්සු නැත; මා කියන්නේ නියම ඇත්ත ය. |
|
| 26 |
|
| මේ දේවල් ගැන රජතුමාට මනා දැනුමක් ඇත. එබැවින් නොබිය ව එතුමාට කතා කරමි. මන්ද, මේ දේවලින් කිසිවක් අස්සක මුල්ලක සිදු නොවූ බැවින් ඒවා එතුමාගෙන් සැඟවී නැතැ යි විශ්වාස කරමි. |
|
| 27 |
|
| අග්‍රිපා රජතුමෙනි, ඔබ දිවැසිවරුන් විශ්වාස කරන්නෙහි ද? ඔබ විශ්වාස කරන බව මම දනිමි”යි කී ය. |
|
| 28 |
|
| එවිට අග්‍රිපා රජ කතා කොට: “ඔබ පහසුවෙන් මා ක්‍රිස්තියානිකාරයෙකු කරන්නට සිතනවා වගේ ය”යි පාවුලුට කී ය. |
|
| 29 |
|
| පාවුලු කතා කොට, “ඔබ පමණක් නොව, අද මාගේ වචනය අසන සියල්ලන් ද, පහසුවෙන් හෝ අපහසුවෙන් හෝ මාගේ මේ යදම් නැති ව, මා වාගේ ම වන ලෙස දෙවියන් වහන්සේට යාච්ඤා කරමි”යි කී ය. |
|
| 30 |
|
| එවිට රජ ද ආණ්ඩුකාරයා ද බර්නිස් ද ඔවුන් සමඟ සිටි අය ද නැඟිට, |
|
| 31 |
|
| පිටතට ගොස්, “මේ මිනිසා මරණයට වත් යදම්වලින් බඳිනු ලැබීමට වත් සුදුසු කිසි දෙයක් කර නැතැ”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ. |
|
| 32 |
|
| අග්‍රිපා තෙමේ ෆෙස්තුස්ට කතා කොට, “මේ මිනිසා සීසර් අධිරාජයාගේ විනිශ්චය නොඉල්ලුවා නම් ඔහු මුදා හැරීමට හැකි ව තිබුණේ ය”යි කී ය. |
|
|
|
|