සිංහල NRSV
|
| 1 |
| ඉතාලියට නැව් නැඟී යන්නට තීරණය කරනු ලැබූ විට, පාවුලු සමඟ තවත් සිරකාරයෝ සමහර දෙනෙක්, අගොස්තීනු නම් බලඇණියේ, ජුලියස් නම් ශතාධිපතියාට භාර දෙන ලද්දෝ ය. |
| 2 |
| අපි ආසියාවේ මුහුදුබඩ වරායවලට යාත්‍රා කරන්නට සූදානම් ව තිබුණු අද්‍රාමුත්තියේ නැවකට නැඟී පිටත් වුණෙමු. තෙසලෝනිකයේ මසිදෝනි වැසියෙක් වූ අරිස්තාර්කස් අප සමඟ සිටියේ ය. |
| 3 |
| පසුවදා අපි සීදොනට ළඟා වීමු. ජුලියස් පාවුලුට කරුණාව දක්වමින් ඔහුගේ මිත්‍රයන් හමු වීමට යන්නටත්, ඔවුන්ගෙන් සත්කාර ලබන්නටත් ඔහුට ඉඩ දුන්නේ ය. |
| 4 |
| එතැනින් පිටත් වී යන විට, සුළඟ අපට විරුද්ධ ව හැමූ බැවින් සයිප්‍රසයේ වෙරළාසන්නයෙන් යාත්‍රා කෙළෙමු. |
| 5 |
| සිලිසිය සහ පම්පිලියාවේ වෙරළාසන්න මුහුද මැදින් යාත්‍රා කර, මුරා නම් ලිසියාවේ නුවරකට පැමිණියෙමු. |
| 6 |
| එහි දී ශතාධිපතියා ඉතාලියට යන අලෙක්සන්ද්රියාවේ නැවක් දැක අප එහි නැංවී ය. |
| 7 |
| කීප දිනක් ම හෙමින් යාත්‍රා කිරීමට සිදු වූ බැවින්, බොහෝ අමාරුවෙන් කනීදස ඉදිරියට පැමිණියෙමු. සුළඟ නිසා ගොඩබසින්නට නොහැකි වූ හෙයින්, අපි ක්‍රීතයේ වෙරළට ළං ව සල්මොන් තුඩුව වෙතට ගියෙමු. |
| 8 |
| අමාරුවෙන් එය ද පසු කර ලසේය නුවර අසල පිහිටි සුන්දර වරාය නම් තැනකට පැමිණියෙමු. |
| 9 |
| බොහෝ කල් ගත වී, උපවාස කාලය ද ගෙවී ගිය බැවින්, මුහුදු ගමන අන්තරාය සහිත වූයෙන්, පාවුලු ඔවුන්ට දැනමුතුකම් දෙමින්, |
| 10 |
| “භවතුනි, මේ ගමන බඩුවලට සහ නැවට පමණක් නොව, අපේ ජීවිතවලටත් අන්තරායදායක වූ, බොහෝ අලාභ හානි පමුණුවන්නක් බව මට පෙනේ ය”යි කී ය. |
| 11 |
| එහෙත් ශතාධිපතියා පාවුලු කී දේවලට වඩා නැව්පතියාගේ ද නැව් අයිතිකාරයාගේ ද කීම් සැලකුවේ ය. |
| 12 |
| ශීත කාලයේ නැවතී සිටීමට ඒ වරාය අහිතකර වූයෙන්, එතැනින් පිටත් වී පුළුවන් නම් ඊසානට හා ගිනිකොණට මුහුණ දුන් ක්‍රීතයේ වරායක් වූ පෙනීකියට පැමිණ එහි ශීත කාලය ගත කරන ලෙස වැඩිදෙනා කැමැත්ත දැක්වූ හ. |
| 13 |
| දකුණෙන් මඳ සුළඟක් හැමූ කල, ඔව්හු තමන්ගේ අදහස ඉටු වී යයි සිතා නැංගුරම් ඔසවා ක්‍රීතයේ වෙරළ ළඟින් ම ගියහ. |
| 14 |
| එහෙත් නොබෝ වේලාවකින් ‘එව්රකුලොන්, නම් චණ්ඩ මාරුතයක් දිවයින හරහා හැමුවේ ය. |
| 15 |
| නැව ඊට අසු වී, සුළඟට මුහුණ පා යන්නට බැරි වූ බැවින්, අපි එය සුළඟට ගසාගෙන යන්නට ඉඩ හැරියෙමු. |
| 16 |
| තවද, ක්ලෞද නම් සුළු දිවයිනක මුවාවට දුව ගොස් අමාරුවෙන් නැවේ ඔරුව රැකගත්තෙමු. |
| 17 |
| ඔව්හු එය නැවට ඔසවා, ආධාර කඹ නැව යටින් දමා බැන්දාහ; සර්ටිස්හි වැලි කණ්ඩිවල ගැටේ ය යන බියෙන් ඔව්හු කුඹදැව බා, නැව ගසා ගෙන යන්නට ඉඩ දුන්හ. |
| 18 |
| තද කුණාටුවකට අසු වී සිටි බැවින් පසුවදා ඔව්හු නැව සැහැල්ලු කරන්නට පටන්ගත්හ. |
| 19 |
| තුන් වන දා ඔව්හු තමන්ගේ ම අත්වලින් නැවේ බඩු බාහිරාදිය මුහුදට වීසි කළහ. |
| 20 |
| බොහෝ දවස් ඉර වත් තාරකා වත් නොපෙනුණ බැවින් ද, තද කුණාටුවක් පැවතුණ බැවින් ද අපේ ආරක්ෂාව ගැන තිබුණු සියලු බලාපොරොත්තු එතැන් පටන් සුන් වී ගියේ ය. |
| 21 |
| අප බොහෝ දිනක් කෑම නොගෙන සිටි බැවින්, පාවුලු ඔවුන් මැද සිට, “භවතුනි, ක්‍රීතයෙන් පිටත් නොවන ලෙස මා දුන් අවවාදයට ඇහුම්කන් දිය යුතු ව තිබිණි. එසේ කෙළේ නම් මෙවැනි අන්තරාවක් හා අලාභයක් පැමිණෙන්නේ නැත. |
| 22 |
| කෙසේ වෙතත් දැන් ඉතින් ධෛර්යවත් ව සිටින ලෙස ඔබට අවවාද කරමි. මන්ද, නැවට මිස ඔබ අතර ජීවිතහානියක් නොවන්නේ ය. |
| 23 |
| මා වැඳුම්පිදුම් කරන මාගේ ම දෙවියන් වහන්සේගේ දුතයෙක් ඊයේ රාත්‍රියේ මා ළඟ සිට, |
| 24 |
| ‘පාවුලු බිය නොවන්න; ඔබ අධිරාජයා ඉදිරියෙහි සිටින්නට ම ඕනෑ ය. මෙන්න, ඔබ සමඟ නැවෙන් යන සියල්ලන්ගේ ද ආරක්ෂාව දෙවියන් වහන්සේ ඔබට දුන් සේකැ’යි කී ය. |
| 25 |
| එබැවින්, භවතුනි, ධෛර්යවත් වන්න. මන්ද, මම දෙවියන් වහන්සේ විශ්වාස කරමි; මට කී ලෙස ම සිද්ධ වන්නේ යයි විශ්වාස කරමි. |
| 26 |
| එසේ වුවත් අප යම් දිවයිනකට ගසා ගෙන යා යුතු ය”යි කී ය. |
| 27 |
| දසසතර වන රාත්‍රියේ දී අප මධ්‍යධරණි මුහුදේ ඔබමොබ ගෙනයනු ලබන කල, මධ්‍යම රාත්‍රිය පමණේ දී නැව්කාරයන් අප වෙරළකට ළං වෙති යි සිතා, ගැඹුර බලා, මීටර් සතළිසක් බව දැනගත්හ. |
| 28 |
| තව ටිකක් ඈතට ගොස් නැවතත් ගැඹුර බලා මීටර් තිහක් බව දැනගත්හ. |
| 29 |
| එකල අප ගල්පරවල හැපේ ය යන බියෙන් ඔව්හු අවරෙන් නැංගුරම් සතරක් දමා, පහන් වන තෙක් ආශාවෙන් බලා සිටියහ. |
| 30 |
| නැවියන් නැවෙන් පලා යන්නට මඟක් සොයමින් ඇණියෙන් නැංගුරම් දමන්නට යන්නාක් මෙන් ඔරුව මුහුදට පහත් කළ විට පාවුලු කතා කර, |
| 31 |
| “මොවුන් නැවේ සිටියොත් මිස නැත්නම් ඔබට ගැළවෙන්නට නොපිළිවනැ”යි ශතාධිපතියාට ද හේවායනට ද කී ය. |
| 32 |
| එකල හේවායෝ ඔරුවේ යොත් කපා ඔරුව පාවී යන්නට ඇරියහ. |
| 33 |
| පහන් වේගන එන විට පාවුලු ඔවුන් සියල්ලන්ට ම කෑම කන්නට අවවාද කරමින්, “ඔබ කිසිත් නොකා නිරාහාර ව බල බලා සිට අදට දසසතරවෙනි දවස ය. |
| 34 |
| එබැවින් කෑම කන මෙන් ඔබට අවවාද කරමි. මන්ද, ඔබගේ දිවි රැකගැනීම සඳහා එසේ කිරීම අවශ්‍ය ය. ඔබ කිසිවෙකුගෙන් ඉසකේ ගහක් තරමට වත් කිසිත් නැති නොවන්නේ ය”යි කී ය. |
| 35 |
| ඔහු මෙසේ කියා රොටි රැගෙන සියල්ලන් ඉදිරියෙහි දෙවියන් වහන්සේට ස්තුති කොට කඩා කන්නට පටන් ගත්තේ ය. |
| 36 |
| එවිට ඔව්හු සියල්ලෝ ම ධෛර්යවත් වී, තුමූ ද කෑම කෑහ. |
| 37 |
| නැවේ සිටි අපි සියල්ලෝ ම දෙසිය සැත්තෑසදෙනෙකි. |
| 38 |
| කෑම කා සෑහීමට පැමිණි ඔව්හු ධාන්‍ය මුහුදට දමා නැව සැහැල්ලු කළහ. |
| 39 |
| පහන් වූ කල ඒ දේශය කිමෙක් දැ යි බැලූ නැවියන්ට එය හඳුනාගත නොහැකි විය. එහෙත් වෙරළක් ඇති මුහුදු බොක්කක් දැක, |
| 40 |
| පුළුවන් නම්, නැව එහි ගෙන යන්නට තීරණය කරගත්හ. නැංගුරම් පහ කර මුහුදේ තිබෙන්නට හැර, ඒ සමඟ ම සුක්කානම්වල බැඳුම් මුදා, ඉස්සරහ රුවල සුළඟට නඟා වෙරළ බලා ගියෝ ය. |
| 41 |
| එහෙත් සැඩ පහරින් ගසාගන ගිය නැව වැලි කණ්ඩියක හැපුණේ ය. එවිට ඇණිය එරී තද වුණේ ය, රැළ වේගය නිසා අවරය බිඳෙන්න පටන් ගත්තේ ය. |
| 42 |
| තවද හිරකාරයන්ගෙන් කිසිවෙකු පීනා පැන නොයන පිණිස ඔවුන් මැරීමට හේවායෝ අදහස් කළහ. |
| 43 |
| එහෙත් ශතාධිපතියා පාවුලු ආරක්ෂා කරනු කැමැති ව ඒ අදහසින් ඔවුන් වළක්වා පීනන්නට පුළුවන් අය පළමුකොට මුහුදට පැන ගොඩට යන්නටත්, |
| 44 |
| සෙස්සන්ට ලෑලිවල ආධාරයෙන් හෝ නැවේ කැබලි ආධාරයෙන් හෝ ගොඩට යන්නටත් අණ කෙළේ ය. මෙසේ සියල්ලෝ ම ගැළවී ගොඩට පැමිණියහ. |
|
| සටහන් සුරකින්න |
https://beblia.bible:81/BibleAudio/sinhalanrsv/acts/027.mp3
28
27