|
| 1 |
|
| පේදුරු තුමා සහ ජොහන් තුමා සෙනඟට කතා කරමින් සිටිය දී, පූජකයෝ ද දේව මාලිගාවේ මුර සෙබළුන්ගේ ප්‍රධානියා ද සද්දුසිවරු ද ඔවුන් අබිමුවට කඩා වැදුණාහ. |
|
| 2 |
|
| ඔවුන් සෙනඟට අනුශාසනා කළ නිසා ද ජේසුස් වහන්සේගේ උත්ථානය මඟින් පුනරුජ්ජීවනය ඇති වන බව ප්‍රකාශ කළ නිසා ද ඔව්හු අතිශයෙන් උදහස් වූ හ. |
|
| 3 |
|
| ඔව්හු ඔවුන් අත්අඩංගුවට ගෙන, සවස් වී තිබුණු බැවින්, පසු දා වන තුරු හිර අඩස්සියේ තැබූ හ. |
|
| 4 |
|
| එහෙත් පණිවුඩය ඇසූ බොහෝ දෙනෙක් අදහාගත්හ. ඒ පිරිමින්ගේ ගණන පන්දහසක් පමණ විය. |
|
| 5 |
|
| පසුවදා ඔවුන්ගේ ප්‍රධානීහු ද ප්‍රජා මූලිකයෝ ද විනයධරයෝ ද යන මොවුහු, |
|
| 6 |
|
| උත්තම පූජක අන්නස් ද කායාපස් ද ජොහන් ද අලෙක්සන්දර් ද ඇතුළු උත්තම පූජක පරපුරට අයිති සියලු දෙනා ද සමඟ ජෙරුසලමේ රැස් වූ හ. |
|
| 7 |
|
| ඔව්හු අපෝස්තුළුවරුන් දෙදෙනා සභාව මැද සිටුවා, “ඔබ කුමන බලයකින්, කවරෙකුගේ නාමයෙන් මෙය කළහු දැ”යි විචාළහ. |
|
| 8 |
|
| එවිට පේදුරු ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව ඔවුන් අමතා මෙසේ කී ය: “ප්‍රධානියෙනි, ප්‍රජා මූලිකයෙනි, |
|
| 9 |
|
| කොර මිනිසෙකුට කරන ලද කාරුණික ක්‍රියාව ගැන හා ඔහු සුවපත් කරන ලද්දේ කෙසේ ද යන්න ගැන හා අද අපි විමසනු ලබමු නම්, |
|
| 10 |
|
| එයට අපේ පිළිතුර මෙසේ ය: ඔබ විසින් කුරුසියේ ඇණ ගසන ලද්දා වූ ද දෙවියන් වහන්සේ විසින් උත්ථාන කරන ලද්දා වූ ද නාසරෙත්හි ජේසුස් වහන්සේගේ අනුහසින් ඔබ ඉදිරියේ මේ මිනිසා සුව සම්පන්න ව සිටියි. ඒ බව ඔබ සියලු දෙනාත්, මුළු ඉශ්රායෙල් ජනයාත් දැන ගනිත් වා. |
|
| 11 |
|
| උන් වහන්සේ වනාහි ‘ගෘහ ශිල්පීන් වන ඔබ විසින් ප්‍රතික්ෂේප කරන ලද ගල ය. එහෙත් උන් වහන්සේ ම ප්‍රධාන ගල වූ සේක.’ |
|
| 12 |
|
| අන් කිසිවෙකු මඟින් ගැළවීමක් නැත; මන්ද, අපේ ගැළවීම සලසා දෙන ලද අන් කිසි නාමයක් මුළු ලොවෙහි ම මිනිසුන් අතර නැත.” |
|
| 13 |
|
| උගත්කමක් නැති සාමාන්‍ය මිනිසුන් වශයෙන් සිටි පේදුරුගේ ද ජොහන්ගේ ද නිර්භීතකම දුටු ඔව්හු මවිත වූ හ. ඔවුන් ජේසුස් වහන්සේ ඇසුරෙහි සිටියවුන් බව ද පෙනී ගියේ ය. |
|
| 14 |
|
| සුවපත් කරනු ලැබූ මිනිසා ඔවුන් සමඟ සිටි බැවින්, ඒ දෙදෙනාට විරුද්ධ ව කිසිවක් කියන්නට ඔවුන්ට නොහැකි විය. |
|
| 15 |
|
| එබැවින් මන්ත්‍රණ සභාවෙන් බැහැර යන්නට ඔවුන්ට අණ කර, ඔව්හු තම තමන් අතර සාකච්ඡා කරමින් මෙසේ කී හ: |
|
| 16 |
|
| “අපි මේ මිනිසුන්ට කුමක් කරමු ද? ඔවුන් විසින් විශිෂ්ඨ, අරුමපුදුම දෙයක් කරන ලද බව ජෙරුසලමෙහි සියලු වැසියන්ට පෙනී ගොස් ඇත. එවැන්නක් නැතැ යි කියන්නට අපට නොහැකි ය. |
|
| 17 |
|
| එබැවින්, ජනයා අතර එය තවදුරටත් පතළ නොවන පිණිස මින්පසු මේ නාමයෙන් කිසි ම කෙනෙකුට කතා නොකරන මෙන් අපි ඔවුන්ට තර්ජනය කරමු.” |
|
| 18 |
|
| ඉන්පසු ඔව්හු ඔවුන් කැඳවා ජේසුස් වහන්සේගේ නාමයෙන් කොහෙත් ම කතා නොකරන මෙන් ද නූගන්වන මෙන් ද ඔවුන්ට අණ කළහ. |
|
| 19 |
|
| එහෙත් පේදුරු ද ජොහන් ද පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේට කීකරු වීමට වඩා ඔබට කීකරු වීම හරි දැ යි, දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ ම විනිශ්චය කරගන්න. |
|
| 20 |
|
| මන්ද, අප ඇසූ දුටු දේ ගැන කතා නොකර සිටින්නට අපට නොහැකි ම ය”යි කී හ. |
|
| 21 |
|
| ඔව්හු ඔවුන්ට තවදුරටත් තර්ජනය කොට නිදහස් කර යන්නට හැරියෝ ය. සිදු වූ දේ ගැන සියලු දෙනා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළ බැවින්, ජනයා නිසා ඒ දෙදෙනාට දඬුවම් කිරීමට ඔවුන්ට මඟක් නො වී ය. |
|
| 22 |
|
| පුදුම ලෙස සුවපත් කරනු ලැබූ මේ මිනිසා අවුරුදු සතළිසක් ඉක්මවූවෙකි. |
|
| 23 |
|
| පේදුරු හා ජොහන් නිදහස් කරනු ලැබූ පසු, සිය මිතුරන් වෙතට ගොස්, නායක පූජකයන් ද ප්‍රජා මූලිකයන් ද තමන්ට කී දේ සැළ කළහ. |
|
| 24 |
|
| මෙය ඇසූ ඔව්හු, එක හඬින් දෙවියන් වහන්සේට මෙසේ යාච්ඤා කළහ: “මහෝත්තම ස්වාමීනි, අහසත්, පොළොවත්, මුහුදත්, එහි ඇති සියල්ලත් මැව්වේ ඔබ වහන්සේ ය. |
|
| 25 |
|
| ශුද්ධාත්මයාණන් කරණකොටගෙන, ඔබගේ දාසයා වූ ද අපගේ පියා වූ ද දාවිත් රජුගේ මුඛයෙන් කතා කරමින්, ‘විජාතීන් කෝප වූයේ කුමට ද? ජනයන් නිෂ්ඵල උපා යෙදූයේ කුමට ද? |
|
| 26 |
|
| සමිඳාණන් වහන්සේට ද සිය මෙසියස්වරයාණන්ට ද විරුද්ධ ව, පොළොවේ රජවරු සැරසී සිටියාහ, අධිපතියෝ ද එක්රැස් වූ හ’යි ඔබ වහන්සේ වදාළ සේක. |
|
| 27 |
|
| සැබැවින් ම, ඔබ ආලේප කළ ඔබගේ සුවිශුද්ධ සේවකයාණන් වූ ජේසුස් වහන්සේට විරුද්ධ ව හෙරොද් හා පොන්තියුස් පිලාත්, විජාතීන් ද, ඉශ්රායෙල් ජනයා ද සමඟ මේ නුවර රැස් වූ හ. |
|
| 28 |
|
| එසේ කෙළේ ඔබගේ බලයෙන් හා කැමැත්තෙන් සිදුවන්නට ඔබ පෙර නියම කළ සියල්ල ඉටුවන පිණිස ය. |
|
| 29 |
|
| දැන් ඉතින් ස්වාමීනි, ඔවුන්ගේ තර්ජන සලකා බලා ඔබගේ වචනය නිර්භීත ව ප්‍රකාශ කිරීමට ඔබගේ දාසයන්ට වර දුන මැනව. |
|
| 30 |
|
| සුව කිරීමට ඔබගේ හස්තය දිගු කළ මැනව; තවද, ඔබගේ සුවිශුද්ධ සේවකයාණන් වූ ජේසුස් වහන්සේගේ නාමානුභාවයෙන් ලකුණු ද අරුමපුදුම දේ ද සිදු කළ මැනව.” |
|
| 31 |
|
| මෙසේ යාච්ඤා කළ පසු, ඔවුන් රැස් ව සිටි ස්ථානය කම්පා විය. ඔව්හු සියල්ලෝ ම ශුද්ධාත්මයාණන්ගෙන් පිරී, දෙවියන් වහන්සේගේ වචනය නිර්භීත ලෙස ප්‍රකාශ කළහ. |
|
| 32 |
|
| එකල ඇදහිලිවතුන් සමූහයා එක්සත් ව, එක්සිත් ව සිටිය හ; තමන් සතු දෙයින් කිසිවක් තමාගේ ම යයි කිසිවෙක් නොකී හ; සියල්ල පොදුවේ තබාගත්හ. |
|
| 33 |
|
| ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරුජ්ජීවනය ගැන අපෝස්තුළුවරු ප්‍රබල ලෙස සාක්ෂි දුන්හ. ඔවුන් සියල්ලන් කෙරෙහි දේව වරප්‍රසාදය බහුල ව පැවැතිණි. |
|
| 34 |
|
| අගහිඟ ඇති කිසිවෙක් ඔවුන් අතර නොවූ හ. මන්ද, වතුපිටි හෝ ගෙවල් හෝ අයිතිකරුවෝ ඒවා විකුණා, එයින් ලත් මුදල් ගෙනැවිත්, |
|
| 35 |
|
| අපෝස්තුළුවරුන්ගේ පාමුල තැබූ හ. ඒ මුදල් එකිනෙකාගේ වුවමනාවේ හැටියට බෙදා දෙන ලදී. |
|
| 36 |
|
| එකල, ‘අනුශාසනාවේ පුත්‍රයා’ යන අර්ථය ඇති බාර්ණබස් යයි අපෝස්තුළුවරුන් විසින් නම් කරන ලද ලෙවීවරයෙක් වූ ද සයිප්‍රස් වැසියෙක් වූ ද ජෝසෙප් නම් මනුෂ්‍යයෙක් විය. |
|
| 37 |
|
| ඔහු තමා සතු කෙතක් විකුණා එයින් ලත් මුදල ගෙනවුත් අපෝස්තුළුවරුන්ගේ පාමුල තැබී ය. |
|
|
|
|